Breaking News

ගාල්ලට සංචරණ සීමා නැහැ – සෞඛ්‍ය නීති පිළිපදිනවද හොයන්න හමුදා යතුරුපැදි කණ්ඩායමක්

මේවනවිට ගාල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව කොවිඩ් රෝගීන් බහුල ලෙස වාර්තා වෙමින් පවතියි. පහත දැක්වෙන්නේ ඊයේ සහ අද දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් වසංගතයට අදාළව ගෙන ඇති තීරණ සම්බන්ධ පුවත් කිහිපයකි. ඒ හරහා කොවිඩ් වසංගතය මැඩලීමේදී ආණ්ඩුව ජනතාවගේ ජිවිත ගැන කිසිදු වගකීමක් ගැනීමට සූදානම් නොමැති ආකාරය පෙනේ.

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂ අවසාන නිවාඩුව ආරම්භ වන 23 වැනිදින දක්වා වසා තැබීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.

අද (18) පස්වරුවේ ලබුදුව දක්ෂිණ පායේ පැවති ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්විමේ දි මෙම තින්දුව ගත් බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් පාසල් 26ක් අද (18) දින දක්වා වසා තැබීමට මීට පෙර තීරණය කොට තිබුණි.

ඒ අනුව එළඹෙන සතියේ සදුදා, අගහරුවාදා සහ බදාදා දින ද ගාල්ල කොට්ඨාශයේ පාසල් වසා දැමීමට තීරණය කළ බවද පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

නව පාසල් වාරය ජනවාරි 04 වැනිදින ආරම්භ වීමට නියමිතව ඇත.

දෙසැම්බර් 18 ලංකාදීප

…………………………………………………………………………………………

ගාල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම නිලධාරී වසම් 03ක දැඩි සංචරණ සීමා පැනවීමටත් තවත් වසම් 05 සංචරණ සීමා ලිහිල්කර පවත්වාගෙන යාමටත් ඊයේ තීරණය කළ ද ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසන්නේ තමන් එම යෝජනාව ක්‍රියාත්මක නොකළ බවයි.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් නගරාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය,

“සෞඛ්‍ය අංශ කියනවා සංචරණ සීමා දාන්න කියලා. නමුත් මට තේරෙනවා දැන් ගාල්ලෙන් කොරෝනා ආසාදියන් වාර්තාවීම අඩුවෙලා. දැන් අවදානමක් නැහැ. අපීට සංචරණ සීමා දාලා ඒ මිනිස්සුන්ට රුපියල් 5000.00 ගෙවන්න හැකියාවක් නැහැ. සංචරණ සීමා දානවා නම් ඒ අයට කන්න බොන්න දෙන්න ඕන, මේකට අවශ්‍ය ප්‍රතිපාදන නැහැ. ඉතින් සංචරණ සීමා දාන්න බැහැ. මීට පෙර සංචරණ සීමා දාපු වෙලාවේ ඒ ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණය නොකර තියාගත්තේ බොහොම අමාරුවෙන්. අදත් සංචරණ සීමා දානවා කියලා ආරංචි වූ වෙලාවෙත් උද්ඝෝෂණය කරන්න සූදානම් වෙලා අපි මැදිහත් වෙලා නැවැත්තුවා. අපි සංචරණ සීමා දානවානම් කොළඹත් එක්ක කතා කරලා මේ අයට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීමේ ක්‍රමවේදයක් යොදා සංචරණ සීමා යොදන්න වෙනවා. ඒ නිසා මම සංචරණ සීමා පැනවීමේ ලිපි නිකුත් නොකරන්න තීරණය කළා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාටත් මා කීවා සංචරණ සීමා නොදාන බව.”

මෙලෙස තවදුරටත් සංචරණ සීමා පවත්වාගෙන යාමට තීරණය කළේ ඊයේ (18) ගාල්ල ලබුදූව දක්ෂිණ පායේ දී දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කමිටු රැස්වීමේ දී ය.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඊයේ දහවල් 12.00 වනවිට කොරෝනා ආසාදිතයන් 120කට වඩා වාර්තා වී තිබූ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ මිලිද්දුව පොකුර නමින් හඳුන්වා ඇති එම රෝගීන් සමූහයෙන් තවදුරටත් කොරෝනා පැතිරීමේ සක්‍රීය මට්ටමක පවතින බවයි.

එබැවින් ඒ වනවිට දැඩි සංචරණ සීමා පනවා තිබූ ග්‍රාම නිලධාරී වසම් පහක සංචරණ සීමා ලිහිල් කිරීමටත් කටුගොඩ, මිලිද්දුව හා තලාපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසවල දැඩි සංචරණ සීමා තවදුරටත් පවත්වාගෙන යාමටත් කොවිඩ් කමිටුවේ දී ලැබුණු සෞඛ්‍ය උපදෙස් මත තීරණය කෙරිණි. නගර සභා ආඥා පනතේ ඇති බලතල අනුව මෙම සංචරණ සීමා පැනවීමේ ලිපිය පොලිසිය වෙත නිකුත් කිරීම නගරාධිපතිවරයාට පැවරිණි.

එසේ වුව ද නගරාධිපති ප්‍රියන්ත සහබන්දු පවසන්නේ තමන් සංචරණ සීමා පැනවූයේ නැති බවයි. ඒ අනුව මේ වනවිට ගාල්ල මහ නගර සභා බල සීමාවේ කිසිදු ස්ථානයක සංචරණ සීමා නැතැයි ද හෙතෙම කීවේය.

දෙසැම්බර් 19 ලංකාදීප

…………………………………………………………………………………………..

කොරෝනා වසංගතය තවදුරටත් ගාල්ල නගරය හා ඒ අවට ප්‍රදේශවල පැතිරීම වැළැක්වීම සඳහා යතුරුපැදි 10 කින් යුත් හමුදා කණ්ඩායමක් යෙදවීමට අද (18) පැවැති ගාල්ල දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුවේ දී තීරණය කළ බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද සොයිසා පවසයි.

පුද්ගලයන් අනවශ්‍ය ලෙස ඒකරාශීවීම, අනවශ්‍ය ගමන්බිමන්වල යෙදීම, සෞඛ්‍ය නීති පිළිපැදීම පිළිබඳව මෙම යතුරුපැදි බල ඇණිය විසින් සොයා බලන අතර මඟ හමුවන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය අහඹුු ලෙස පරීක්ෂා කිරීමට ද නියමිතය.

මෙම යතුරුපැදි බල ඇණිය සඳහා අවශ්‍යකරනු ලබන වියදම් දකුණු පළාත් සභාවෙන් ලබාදෙන බව ද ප්‍රධාන ලේකම්වරයා කීවේය.

දෙසැම්බර් 18 ලංකාදීප

කෝවිඩ් සෞඛ්‍යය ගැටළුවක් මිස ආරක්ෂාව පිලිබඳ ගැටළුවක් නොවේ. එම නිසා අවශ්‍ය වන්නේ හමුදා යතුරපැදි නොව සෞඛ්‍යය නිලධාරීන්ට, වෛද්‍යවරුන්ට සහ වසංගත පිලිබඳ විශේෂඥයින්ගේ මුලික මැදිහත් වීමෙන් පාලනය වන විසඳුම් සෙවීම සහ ඊට අවශ්‍යය ප්‍රතිපාදන ආණ්ඩුව මගින් සැලසීමයි. උදාහරණයකට නගරාධිපතිවරයාම කියන පරිදි ලොක්ඩවුන් නොකරන්නේ අවදානම පහවී තිබීමට වඩා එවැනි අවස්ථාවක ජනතාවට සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති නිසයි. සහන නොමැතිව ලොක්ඩවුන් කළහොත් ආදායම් අහිමි ජනතාව විරෝධය දක්වන බව දන්නා නිසයි. එහිදී ආණ්ඩුවේ බලධාරීන් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සළකනු ලබන්නේ දෙවැනි තැනටයි.

මෙය ගාල්ලේ පමණක් නොව කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භයේ පටන් ලංකාව පුරා දක්නට ලැබෙන තත්ත්වයකි. කෝවිඩ් වසංගතය සෞඛ්‍ය අනතුරක් ලෙස සලකා එය මැඩපැවැත්වීමට අවශ්‍යය සෞඛ්‍ය පහසුකම්, පීසීආර් යන්ත්‍ර, රෝහල් පහසුකම් වැඩි දියුණු කිරීම මෙන්ම කෝවිඩ් සඳහා නිර්දේශිත එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමට උත්සුක වෙනවා වෙනුවට රජය කරන්නේ කෝවිඩ් පිහිටක් කරගෙන සෑම අස්සක් මුල්ලක් නෑරම හමුදා නිලධාරීන් යොදා ගෙන හමුදාමය මැදිහත්වීම් ශක්තිමත් කිරීමයි. දැනට ඇති අල්ප වූ ප්‍රතිපාදන යොදා ඩ්‍රෝන තාක්ෂනය ඉහළ නංවමින් සංචරණ සීමා කඩකරන්නන් අත්අඩංගුවට ගනිමින්,නඩු පවරමින්, බිය වද්දමින් මර්දන යාන්ත්‍රණය ශක්තිමත් කිරීමයි. මෙයට අමතරව සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වයට හානි නොවන ලෙස වසංගතයට මුහුණ දීමට වැඩපිළිවෙලක් හෝ දැක්මක් ආණ්ඩුවට නොමැති නිසා පැණි වෙද්දුන් මෙන්ම පිරිත් පැන් වලට අනුග්‍රහය දැක්වීමයි.

 

leave a reply