ශ්‍රී ලංකාවේ වනාන්තර වල ජීවත්වන අලි පැටවුන් නීති විරෝධී ලෙස අල්ලා මුදලට විකිණීමේ ජාවාරම පිළිබඳව සිදුකළ ප්‍රථම විද්‍යාත්මක අධ්‍යනයේ ප්‍රතිපල සහිත පර්යේෂණ පත්‍රිකාව පසුගියදා දෙස් විදෙස් පර්යේෂණ කණ්ඩායමක් විසින් එළිදක්වන ලදී. ‘Illegal capture and internal trade of wild Asian elephants (Elephas maximus) in Sri Lanka’ යන හිසින් පළකර ඇති එම පර්යේෂණ පත්‍රිකාව ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන Nature Conservation හි 42 කලාපයේ 2020 නොවැම්බර් 03 දිනැතිව පළකර ඇත. 2008 ජනවාරි මස සිට 2018 දෙසැම්බර් දක්වා කාලසීමාව තුල මෙරට තුලින් වාර්තාවූ වන අලි පැටවුන් වනාන්තර වලින් ඇල්ලු බව වාර්තාවූ සහ එසේ අල්ලාගෙන පුද්ගලික භාරකරීත්වයේ රඳවාගෙන සිටි බවට සැක කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලයලත් ආයතන මගින් අත්අඩංගුවට ගනු ලැබූ අලින් 55 දෙනෙකු පිළිබඳව පර්යේෂකයින් මෙම අධ්‍යනයේදී කරුණු අනාවරණය කර ඇත.
ආසියානු අලි ඇතුන් ජීවත්වන රටවල් අතරින් තායිලන්තය, මියන්මාරය සහ ලාඕසය වැනි රටවල වනාන්තර වලින් අලි පැටවුන් අල්ලා මුදලට විකිණීමේ ජාවාරම පිළිබඳව පුළුල් විද්‍යාත්මක පර්යේෂණ සිදුකර තිබුනත් අසල්වැසි ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එම පර්යේෂණ මෙතෙක් සිදුකර නැත. ඒ අනුව මෙම පර්යේෂණය මගින් ශ්‍රී ලංකාවේ ඊට අදාළ පර්යේෂණ ක්ෂේත්‍රයට සැළකියයුතු දායකත්වයක් ලැබෙන බවයි පර්යේෂකයින් පවසන්නේ. දැනට ජාවාරම් කරන ලද බවට සැක කෙරෙන අලි ඇතුන්ගේ ජෛවමිතිය හා නීතිමය ලියකියවිලි ක්‍රියාවලිය විශ්ලේෂණය කිරීමට අමතරව ශ්‍රී ලංකාවේ වන අලි ඇල්ලීමේ හා ජාවාරම් කිරීමේ ක්‍රම, ඒවා සිදුවන ප්‍රදේශ, වෙළඳ මාර්ග, සම්බන්ධ පාර්ශවකරුවන් සහ වෙළඳපල වටිනාකම පිළිබඳව මෙහිදී පර්යේෂකයින් විසින් අධ්‍යනය කර ඇත. ඒ සඳහා අධිකරණයේ විභාගවන නඩුවල වාර්තා, අලි ජාවාරම පිළිබදව සෙවීමට පත්කළ කමිටු වාර්තා, විගණකාධිපති වාර්තා, පරිසරවේදීන් විසින් ඉදිරිපත්කළ විමර්ශන වාර්තා, සහ මාධ්‍ය වාර්තා මෙන්ම මීට සම්බන්ධ විවිධ පාර්ශව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡා ඇතුළු මුලාශ්‍ර රැසක් උපයෝගීකරගෙන තිබේ.
සැක කටයුතු අලින්ගේ ලියාපදිංචි ලේඛනවල දක්වා ඇති වයස සහ වනජීවී පශුවෛද්‍යවරුන් විසින් නිර්ණය කරන ලද වයස අතර සංඛ්‍යාන විද්‍යාත්මකව කැපී පෙනෙන වෙනසක් ඇති බව මෙම අධ්‍යනයේදී අනාවරණය කරගෙන ඇති විශේෂ කරුණකි. ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අලි ඇතුන් පිළිබඳ සැකය තවදුරටත් තීව්‍ර වේ. දිවයිනේ වනාන්තර වල ජීවත්වූ වන අලි පැටවුන් අල්ලා ගැනීම සඳහා වනජීවී අපරාධකරුවන් විසින් මව් ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීමට, නිර්වින්ද බෙහෙත් විද මව් ඇතින්න අකර්මන්‍ය කිරීමට හෝ අලි පැටියාට නිර්වින්ද බෙහෙත් විදීමෙන් අකර්මන්‍ය කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. ඊට අමතරව උඩවලව ඇත් අතුරු සෙවණින් පුනුරුත්ථාපනය කිරීමෙන් පසුව වනයට මුදාහැරෙන අලි පැටවුන් ද වනජීවී ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇත. තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව හෝ නොමැතිව පුනුරුත්ථාපනය කිරීමට ඇත් අතුරු සෙවණ වැනි රැඳවුම් මධ්‍යස්ථාන වලට රැගෙන එන ලද අලි පැටවුන්ද අලි හොරුන් විසින් පැහැරගෙන ඇති බව හෙළිවී ඇත. එමෙන්ම වනයේ අතරමං වන අලි පැටවුන් සම්බන්ධ තොරතුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඇත් අතුරු සෙවණ වෙත වාර්තා වීමට ප්‍රථම එම අලි පැටවුන් තම ග්‍රහණයට ගෙන ජාවාරම් කිරීමට ද ජාවාරම්කරුවන් විසින් කටයුතුකර ඇත. එසේම මෙසේ ජාවාරම් කරනු ලබන අලින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි දුෂිත පුද්ගලයන්ගේ මාර්ගයෙන් වංචා සහගත ලෙස ලියාපදිංචි කරගෙන ඇති බව පසුගිය විශ්ලේෂණ වාර්තා පදනම් කරගනිමින් පර්යේෂකයින් අනාවරණය කරයි. උඩවලව සහ රුහුණු (යාල) ජාතික උද්‍යාන, කටගමුව අභයභූමිය, හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය, ගල්ගමුව, මහව සහ වීරවිල යන ප්‍රදේශ වලින් මෙසේ ජාවාරම්කරුවන් විසින් අලින් අල්ලා ඇති බවට සෘජු සාක්ෂි ඇති බව පෙන්වාදෙන පර්යේෂකයින් ඊට අමතරව හබරණ ප්‍රදේශයේ වනජීවී රක්ෂිත වලින්ද අලින් අල්ලා ඇති බවට සම්මුඛ සාකච්ඡා මගින් හෙළිවී ඇති බව පවසයි.
ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සභාපති සහ තරුණ වනජීවී පර්යේෂකයෙකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් මෙම පර්යේෂණ කණ්ඩායමේ මූලිකත්වය ගෙන ක්‍රියාකර ඇති අතර මෙරට වන අලි අල්ලා මුදලට විකිණීමේ ජාවාරම නීතියේ රැහැනට හසුකර ගැනීමට සුවිශේෂී කාර්යභාරයක් සිදුකළ උපුල් ඉන්දර්ජිත් සහ චමින්ද අත්තනායක යන වනජීවී නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඊට දායකත්වය ලබාදී ඇත. එමෙන්ම වනජීවී වෙළඳාම පිළිබඳව ලොව පුරා අධ්‍යන රැසක් සිදුකර ඇති එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් බ්රුක්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වින්සන්ට් නිජ්මන්, ඇමරිකාවේ ලෝන්ග්වුඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුජාන් හේන්කනත්තෙගෙදර, මෙරට ප්‍රමුඛපෙළේ වනජීවී පර්යේෂකයෙකු වන ස්වභාව ගවේෂණ සහ අධ්‍යාපන කණ්ඩායමේ ප්‍රධානී සමීර සුරන්ජන් කරුණාරත්න සහ ජෛවවිවිධත්ව සංරක්ෂණ සංගමයේ පර්යේෂක මාධව බොතේජු යන මහත්වරුන් මෙම පර්යේෂණ කණ්ඩායම නියෝජනය කරති.
අධ්‍යනයට භාජනයවූ දස වසරක කාලසීමාව තුල ජාවරම්කර ඇති බවට මෙම අධ්‍යනය මගින් අනාවරණය වී ඇත්තේ අලින් පනස් පස් දෙනෙකු පමණක් වුවත් එය බොහෝ විට ඊට වඩා ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති බවයි පර්යේෂකයින්ගේ අදහස. සාමාන්‍යයෙන් උඩවලව ඇත් අතුරු සෙවණ වෙත යොමු කරෙන අලි පැටවුන්ගෙන්ද සියයට හතළිහක් පමණ මරණයට පත්වන බව පෙන්වාදෙන පර්යේෂකයින් සඳහන් කරන්නේ එවැනි පශුවෛද්‍ය සත්කාර රහිත ජාවරම්කරනු ලබන අලි පැටවුන් අකාලයේ මරණයට පත්වීමට වැඩි ඉඩක් ඇති බවයි. තවද මෙවැනි නීතිවිරෝධී සහ සංවිධානාත්මක වනජීවී ජාවාරමකට අදාළ දත්ත රැස් කිරීමට ඇති ප්‍රායෝගික අපහසුවද එසේ අඩු අලින් ප්‍රමාණයක් වාර්තා වීමට හේතු විය හැකි තවත් කරුණකි.
දූෂණය, අකාර්යක්ෂම නීති, දුර්වල අධිකරණ පද්ධති, වනජීවී නීතිය බලාත්මක නොවීම සහ සැහැල්ලු දඬුවම් හේතුවෙන් ජාවාරම්කරුවන්ට වනජීවී සම්පත් කොල්ලකෑමට පහසුවී ඇති බව ලොව පුරා සිදුකර ඇති අධ්‍යන වලින් පැහැදිළිවේ. මෙම සාධක නීති විරෝධී වනජීවී වෙළඳාම ඉහළ ප්‍රතිලාභ සහිත අඩු අවදානම් ව්‍යාපාරයක් බවට පත්වීමට හේතුවී තිබේ. නීතිවිරෝධී වනජීවී ජාවාරම් පිටුපස සිටින මහ මොළකරුවන්ට නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදීම වෙනුවට බොහෝ විට සිදුවන්නේ එම ජාලයේ සිටින පහළ පුරුක් වලට පමණක් නීතිය ක්‍රියාත්මක වීමය. ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඊට අඩු වැඩි වශයෙන් සමාන විය හැකි බව පවසන පර්යේෂකයින් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජාවාරම්කරුවන් බෞද්ධ සංස්කෘතිය මෙම ජාවාරමට දඩමීමා කරගැනීම විශාල ගැටළුවක් බව අවධානරණය කරයි. එසේම රජය විසින් මෙම අලි පැටවුන් විවිධ උපක්‍රම මගින් නැවතත් සැකකරුවන් වෙතම පැවරීමටද උත්සාහ දරා ඇති බව පර්යේෂකයින් අවධාරණය කරයි. ඒ යටතේ පවත්නා නීතියේ හිදැස් යොදා ගනිමින් මෙම අලි පැටවුන් නැවතත් සැකකරුවන් වෙත ලබාදීමට හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුට ඉහළ දේශපාලකයෙකු විසින් බලපෑම් කර ඇති බව පර්යේෂකයින් සඳහන් කරයි. තවද තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයෙකු විසින් ඉදිරිපත්කළ අංක 16/2204/708/017-1 සහ 2016 ජූලි 4 දිනැති සහ අග්‍රාමාත්‍යවරයා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත්කළ අංක PMO/CM/44/2019 සහ 2019 සැප්තැම්බර් 10 දිනැති කැබිනට් පත්‍රිකාද මීට නිදසුන් වශයෙන් පර්යේෂකයින් ඉදිරිපත් කරයි.
මෙම ජාවාරම වැලැක්වීම සඳහා කෙටිකාලීන පියවර වශයෙන් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් ලබාදීමට පර්යේෂකයින් නිර්දේශ කරයි. සැකකරුගේ සමාජ තත්වය, දේශපාලන සම්බන්ධතා හෝ සමාජ භූමිකාව නොසලකා මෙය සාධාරණ හා අපක්ෂපාතී ආකාරයකින් සිදුවිය යුතුබව ඔවුන් අවධාරණය කරති. ජාවාරම්වලට සහාය වීම ඇතුළුව ඊට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවූ වනජීවී සංරක්ෂණ නිලධාරීන් සම්බන්ධයෙන්ද වහාම නීතිමය සහ / හෝ විනය ක්‍රියාමාර්ග ගත යුතුය. අනාගතයේදී මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් සිටින අයට අවවාද කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරක් ප්‍රසිද්ධියට පත්කළ යුතු බවද ඔවුන්ගේ අදහසයි. උඩවලාව ඇත් අතුරු සෙවණට සහ පින්නවල අලි අනාථාගාරයට එම ආයතන භාරයේ සිටින ජාවාරම් කළ බවට සැක කෙරෙන අලි ඇතුන් නැවත වනයට මුදා හැරීමට තරම් සුදුසු දැයි තක්සේරු කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන, විශේෂඥ සම්පත් සහ ප්‍රමාණවත් කාලය ලබා දීමටද ඔවුන් යෝජනා කරති. තවද ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම සඳහා විද්‍යාත්මක හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් සහිත ගෘහාශ්‍රිත අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් බලාත්මක කරන ලෙසද පර්යේෂකයින් නිර්දේශ කරයි. ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් සංස්කෘතික, ආගමික හා සංචාරක අරමුණු සඳහා භාවිතා කිරීම සීමා කිරීමට මෙමගින් කටයුතු කල යුතු බව ඔවුන්ගේ අදහසයි. 2016 දී පැවැත්වුණු වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ (CITES) දාහත්වන සාමාජික මහා සමුළුවේදී සහ 2017 වසරේ පැවැත්වූ ආසියානු අලි ජීවත්වන රාජ්‍යයන්ගේ සැසිවාරයේදී යෝජනා කරන ලද ප්‍රමිතිගත ගෘහාශ්‍රිතකරණය කල අලි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද සහ යහ පිළිවෙත් ඒ සඳහා යොදාගැනීමට හැකියාව පවතී. ඩීඑන්ඒ ලියාපදිංචි කිරීම, ගෘහාශ්‍රිතකරණය කල අලින් සඳහා වන අධීක්ෂණ ක්‍රමවේද, කළමනාකරණ හා සුභසාධන මාර්ගෝපදේශ, සතුන් මගින් බෝවන රෝග ඇතුළු රෝග කළමනාකරණය, කාර්ය මණ්ඩලය සහ ඇත්ගොව්වන් පුහුණු කිරීම සහ ධාරිතාව ප්‍රවර්ධනය සහ ගෘහාශ්‍රිතකරණය කල අලි ගහනය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කරුණු එහි අඩංගු වන අතර මෙරට ගෘහාශ්‍රිතකරණය කල අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිට එකී කරුණු අන්තර්ගත කිරීමෙන් නීති විරෝධී වන අලි ජාවාරම වළක්වා ගැනීමට හැකිවෙතැයි පර්යේෂකයින් අපේක්ෂා පළකරති.