පහුගිය සාහිත්‍ය මාසයේ පොත් ප්‍රදර්ශනයෙන් අපේ පුංචි දුට ගත්ත පොතක් ගැන කියන්නයි මේ හදන්නෙ.
කොරෝනා අනතුරු ඇඟවීම් අස්සේ වාර දෙකක්ම මම පවුලේ අයත් සමඟ පොත් ප්‍රදර්ශනයට ගියෙ, ඉන් එක වරුවක්ම පුංචි දුවට පොත් තෝරන්න වෙන් කරගෙන හිටපු නිසයි. මොකද දරුවන්ට පොත් ගනිද්දි පිටකවරය දිහා විතරක් බලලා පොත් තෝරන එක ප්‍රමාණවත් නොවන බව අප අත්දැකීමෙන්ම දැන ගෙන හිටි හින්දා. උඩින් පල්ලෙන් කියවලා බලලා කුඩා දරුවන්ට පොත් අරගෙන ආවොත්, සමහර විට කුඩා දරුවා ඉස්සරහ අපට අමාරුවෙ වැටෙන්න සිද්ධ වෙනවා. අකුරු කියවන්න තරම් වැඩි වයසට නොපැමිණි කුඩා දරුවන් පොත් කියවන්නෙ වැඩිහිටියන්ගේ උදව්වෙන්. ඒත් භාෂාව සරල නැති වෙද්දි, ප්‍රමාණවත් තරම් චිත්‍ර නැති වෙද්දි, විශේෂයෙන්ම ළමයින්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තරම් චිත්‍ර විස්තරාත්මක නැති වෙද්දි, ඒවගේම දරුවන් පිනවන ලස්සන කතාවක් නැති වෙද්දි බොහෝ විට එයාලා වැඩිහිටියන්ගෙන් ඒ පොත් කියවන්න කියලා කරන ඉල්ලීම නවත්තලා දානවා. ඒ නිසා පොත් සාප්පුවේදීම කියවලා බලලා, චිත්‍ර සිත්ගන්නා සුළුද, භාෂාව සරලද, කතාව ළමයට තේරෙනවද, සුදුසු ද, කියලා තීරණය කරලා තමයි මම නම් පොත් ගන්න පුරුදු වෙලා ඉන්නෙ. එහෙම නොවුනොත් ටික කාලෙකින් කියවන්න ආසා කරන පොත් වලට වඩා, දරුවන් අකමැති පොත් ගෙදර අහුමළුවල ගොඩ ගැහෙන්න ඉඩ තියනවා .
“බෝනික්කාගේ යාළුවෝ” කියන්නෙ එතැනදීම කියවලා බලලා මිලදී ගන්න තීරණය කරපු පොතක්. ඒ පොත ලියලා තියෙන්නෙ චම්මි ඉරේෂා නැන්දා. චිත්‍ර ඇඳලා තියෙන්නේ පවිත්‍රා වනමලී නැන්දා. ඒක පුංචි හුරුබුහුටි පොතක්. කුඩා දරුවෙකුගේ අතට ගැලපෙනම ප්‍රමාණයක පොතක්. මම ඒක පොත් සාප්පුවෙම ඉඳගෙන කියෙව්වා. පුංචි දරුවෙක් ආසම කරන විෂයක් තවරලා, දරුවා තේරුම් ගත යුතු බැරූරුම් කාරණයක් එයා තුළ රෝපණය කරන්න දරපු උත්සාහය ගැන මම මුලින්ම අමන්දානන්දයට පත්වුණා. කොටින්ම කිව්වොත් මගේ ඇඟේ හිරිගඩු පිපුණා වගේ දෙයක් සිද්ධ වුණා. මේ පොත මරු! මට හිතුණෙ එහෙමයි. මොකද චුටි දුව මීට කලින් කියවපු පොත් වල තිබුනේ පරිසරය, සතුන් වගේ දේවල් ගැන දැනුවත් වෙන සහ සමාජයේ දකින්නට ඇති මිනිස් වටිනාකම්, දුෂ්ඨකම් ගැන කියා දෙන සරල කතාන්දර, නැතිනම් යථාවෙන් ඈත් වුණු සුරංගනා කතා. ඒත් මේ පොත ඊට වඩා වෙනස්ම ප්‍රස්තූතයක් සහිත පොතක්.
අපි එකිනෙකාට විවිධයි. එකිනෙකාට වෙනස් අකාරයෙන් ජීවත් වෙන, වෙනස් විදියෙ ඇඳුම් අඳින අය මේ ලෝකේ ඉන්නවා.අපි සිංහල කතා කරනවා වගේ තවත් කෙනෙක් දෙමළ කතා කරනවා, තවත් කෙනෙක් ඉංග්‍රීසි කතා කරනවා. භාෂාව වෙනස් වුණාට ඇඳුම වෙනස් වුණාට එයාලාත් අපි වගේම තමයි. ඉතින් මේ පොතේ හැටියට විවිධ භාෂා කතා කරන යාළුවෝ ඔක්කෝටම ඕනෑ බෝනික්කාව නළවන්න, ඒත් ඒ බෝනික්කා නැළවෙන්නේම නැහැ. ඉතින් එයාලා අන්තිමේදි එකතු වෙලා හරි අපූරු වැඩක් කරනවා. එයාලාගේ ඒ අපූරු වැඩේ නිසා බෝනික්කා සංතෝෂයෙන් නිදා ගන්නවා. ඉතින් ඊට පස්සේ බෝනික්කා ආයෙ කවදාවත් ඇඬුවේ නැහැ.
පුංචි දරුවෙකුගේ සිත ඇද බැඳ ගන්නා එවැනි සරල නමුත් සුන්දර කතාවක් තියෙන, (ඒ වගේම වැඩිහිටියන් තේරුම්ගත යුතු යටි පෙළ කතාවක්ද තියෙන) මේ පොත කියවන හෝ කතාව අසා සිටින පුංචි දරුවා තේරුම් ගන්නවා එයා දැනටමත් කතාකරන සිංහල, සමහරවිට ඉංග්‍රීසි භාෂාවලට වඩා වෙනස් තවත් භාෂා වලින් සමහර අය කතා කරනවා කියලා. බෝනික්කාත් ඒ කතා කරන වෙනස් වෙනස් විධි වලට කැමතියි, ඒ භාෂාවලින් කියන ගීත වලටත් කැමතියි කියලා එයා තේරුම් ගන්නවා. අපේ පුංචි දූ වගේ, අවුරුදු හතරකට ලං වුනු කුඩා දරුවෙකුට, ඔව්! තමන්ගේ භාෂාව තමයි ලෝකෙ තියෙන හොඳම සහ ඉස්තරම්ම භාෂාව සහ අනෙක් භාෂා තමන්ගේ භාෂාවට වඩා පහළයි කියන ස්වෝත්තමවාදය වගේම, තමන්ගේ භාෂාවට වඩා වෙනත් සමහර භාෂාවන් ඉහළයි කියන හීනමානය වැනි විෂබීජ, ඇතුලු නොවුණු කුඩා දරුවෙකුගේ මනසේ, සියළුම භාෂාවන් එකවගේම සුන්දරයි, වටිනාකම් සමානයි සහ එම භාෂාවලින් කරන්නෙ එක සමාන දෙයක්ය කියන එක රෝපණය කරන්න මේ පොත කදිම ඉඩ කඩක් හදලා දෙනවා.
‘බෝනික්කාගේ යාළුවෝ’ පොතට යොදලා තියෙන චිත්‍රත් හරිම හෘදයාංගමයි. කාටූන් ස්වරූපයෙන් ඇඳලා තියෙන එම චිත්‍ර කුඩා දරුවෙකුට, පොතේ වචන වලින් කියැවෙන දේටත් ඔබ්බට ගිහින් කිසියම් විඳීමක් ලබා ගන්න ඉඩ සලසා දෙනවා. ඒ නිසා කුඩා දරුවෙකුට වදන් රහිතව ඒ චිත්‍ර දෙස බලමින් එයාගේම පරිකල්නයක් ගොඩ නඟාගන්න ලේසියෙන්ම පුළුවන්.
ඉතින් අපේ පුංචි දූ ඒ පොත අපිත් එක්ක කියෙව්වා. එතකොට තමයි මුලින්ම දෙමළ වචන එයාට මතක හිටින තරම් සමීපව පළවෙනි වරට එයා ඇහුවෙ.”බෝනික්කාගෙ යාළුවෝ” පොතේ දෙමළ, සිංහල, ඉංග්‍රීසි වගේ භාෂා කිහිපයක ගීත ඇතුළත් කරලා තියෙනවා. ඒ වෙද්දි එයා සිංහල ඉංග්‍රීසි ගීත අහලා තිබුණ නිසා දෙමළ ගීතයක පදවැල් ඇසීම එයාට අලුත්ම අත්දැකීමක් වුණා. එයා හරි ආසාවෙන් ඒ පොත කියවනවා අහගෙන හිටියා. ඒ අහගෙන ඉන්න අතරේ ඉතා ශූර විදියට පොතේ විචාරකයත් එයාම බවට පත් උනා. මම පොත කියවගෙන යද්දි පොතේ අඩුපාඩු එයාම පෙන්නලා දෙන්න පටන් ගත්තෙ මේ විදියට. මම පොතේ තිබුණු ගීතවල පදවැල් සරල නාද මාලාවකට අනුව කියවා ගෙන යද්දි එයා මට මෙහෙම කියනවා“ අනේ තාලෙට කියන්නකො.” ඉතින් මම මගේ තාලෙකට ඒ ගීත කියන්න උත්සාහ කළා. ඒත් ඒක ඒ තරම් සාර්ථක නැහැ. එයා ඒ නුහුරු ශබ්ද අසාවෙන් අහගෙන හිටියා වුනත් අපි ඒ ගීත වල මූලික තාල දැනගෙන උන්න නම් අපිට ඒ ගීත නිවැරදිව එයාට කියලා දෙන්න තිබුනා නේද කියලා මට හිතුනෙත් එවෙලෙයි.(ඒ ගීත වල තාල ඇතුළත් සීඩී තැටියක් පොතත් එක්කම ලබා දුන්නා නම් පුංචි දරුවාට ලේසියෙන්ම ඒ ගීත සමීප කරවන්න තිබුණා)
ඉන් පස්සේ පොත කියවාගෙන යද්දි එයා සාමාන්‍යයෙන් අහන සුලභ ප්‍රශ්නය ඉදිරියේ මට බොහෝවිට නිරුත්තර වෙන්න සිද්ධ වුනා..
“ ඒ කියන්නෙ මොකක්ද?”
එක දෙමළ අකුරක්වත් අඳුනන්නෙ නැති මට, දෙමළ භාෂා දැනුම වචන කීපයකට සීමා වුනු කෙනෙකු වන මට, ඒවාට දෙන්න උත්තර තිබුණෙ නැහැ. මම ඉතින් එයාට කිව්වා, ඒ කියන්නෙ මොනවද කියලා අපි හොයා ගමු පුතේ කියලා.
ඉතින් අපේ පුංචි දූ, චම්මි ඉරේෂා නැන්දාට කිව්වේ මෙන්න මෙහෙම දෙයක්. එයා මේ පොතට ගොඩක් ආසයි, ඒ පොත ආයෙ ආයෙ කියවන්න, වෙනත් භාෂාවලින් තියෙන ගීතවල පදවැල් ආයෙ ආයෙ අහගෙන ඉන්න එයා හරි ආසයි. ඒත් ඒ පුංචි අඩුපාඩුත් සම්පූර්ණ කළා නම් එයා තවත් ගොඩක් ඒ පොතට ආසා වෙනවා කියලයි.
මට නම් හිතෙන්නෙ මේ කුඩා පොත තනිවම පුංචි දරුවෙකු කියවනවාට වඩා, වැඩහිටියෙකු ලං වෙලා සීරුවෙන් දරුවාට ඒ පොත කියවලා දෙනවා නම් ප්‍රථිපලය වඩා යහපත් කියලයි. මොකද එතකොට විවිධ භාෂාවලින් තියෙන ගිත වල පදවැල් සහ අදාළ තැන් වලදී ඒ විවිධ සංස්කෘතින් ගැන පුංචි දරුවාට කියලා දෙන්න අවස්ථාවක් ලැබෙන නිසා. ළමා කාලය කියන්නෙ අලුත් දේවල් ඉතා උවමනාවෙන් උකහා ගන්න පුල පුලා බලා ඉන්න කාලයක්. ඉතින් භාෂාව සම්බන්ධයෙනුත් පුංචි ළමයි එහෙමයි.
අරාරෝ අරිරරෝ.. අරාරෝ අරිරරෝ
යාරෙ ඩිච්ච නි අලෙර..අන්ජන කයි මරය
ගෙදර කවුරුත්ම නොදන්න භාෂාවක පද වැලක් පුංචි දූ ලේසියෙන්ම දැන් කියන්නෙ අපි කියලා දීලා නෙමෙයි. පොතක් දිහා බලාගෙන අපි කියවනවා අහගෙන ඉඳලා.. එයා, ගෙදර පරිසරය ඇතුළෙම සිංහල, ඉංග්‍රිසි භාෂාවන් ඉගෙන ගනීවි. ඒ වගේම අපි කවුරුත් නොදන්න මේ බිමේ තියෙන දෙමළ භාෂාවත් ඉතා හොඳින් ඉගෙන ගනීවි. එයා ඒ භාෂා, එකක්වත් අනෙකට වඩා උසස් හෝ පහත් හෝ නැති බව තේරුම් අරන් එයාගේ මව් භාෂාවට වගේම අනික් භාෂාවලටත්, ඒ සංස්කෘතීන්ටත් ආදරය කරන්නත් ගරු කරන්නත් හොඳින් ඉගෙන ගනීවි.
ඉතින් චම්මි ඉරේෂා නැන්දා ට ගොඩක් ස්තූතියි අපේ පුංචි දුට දෙමළ භාෂාව එයාටත් නොදැනීම අඳුන්නලා දුන්නට. ඉතින් මම සිංහල කියවන නැන්දලා මාමලාට ආරධනා කරනවා, අපි කතා කරන භාෂාව තවත් කිසියම් භාෂාවකට වඩා උසස් හෝ පහත් කියලා හිතන්න පුරුදු වෙන්න කලින්, අපේ කුඩා දරුවන්ට මේ ලෝකෙ වෙනස් භාෂා ගොඩක් තියෙනවා, ඒවලිනුත් අපේ භාෂාව තරම්ම ලස්සනට කතා කරන්න, කතා කියන්න, සිංදු කියන්න පුළුවන් කියලා තේරුම්කරවන්න කියලා. ඉතින් චම්මි ඉරේෂා නැන්දාගේ ‘බෝනික්කාගේ යාළුවෝ’ එකට හොඳ ආරම්භයක්.