Breaking News

හිරු නාලිකාව ආණ්ඩුවට රෙද්ද කඩන් කඩේ යෑම නිරෝධායන නීති පිලිනොපැදීමට වලංගුද?

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් හිරු නාලිකාව විවිධ ප්‍රදේශවලින් ජනතාව එක්රැස් කරමින් රියැලිටි වැඩසටහනක් කිරීම සම්බන්ධයෙන් සමාජ කතා බහක් නිර්මාණය වී තියෙනවා . සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්පො ,ලිසිය , හමුදාව රටේ සාමාන්‍ය ජනතාවට නිතර දෙවේලේ නිරෝධායන නීති රකින්නට කියමින් දෙන උපදෙස් හිරු නාලිකාව වලංගු නොවන්නේ මන්දැය බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීමට විරෝධය පළකරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට වැඩ බලන පොලිස්පතිවරයාට ලිපියක් යවා ඇත .

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා,
සෞඛ්‍ය අමාත්‍යංශය,

අධ්‍යක්ෂ ජනරාල්තුමනි,‍

හිරු රියැලිටි වැටසටහන්වලට නිරෝධායන නියෝග ක්‍රියාත්මක නොවීම ගැනයි.
covid -19 රෝගය පාලනය කිරීම සඳහා 1897 අංක තුන දරණ නියෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනත අනුව නිරෝධායන නියෝග සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ගැසට් කරනු ලැබුවාය. ඒ්වායේ නීතිමය තත්ත්වය ගැන මතබේදයක් තිබුණ ද මෙවැනි වටපිටාවක ඒ්වා පිළිපැදීම සියලුම ජනතාවගේ සෞඛ්‍යට හිතකර බැව් අපේ අදහසයි. කෙසේවෙතත් ඒවාට මුවාවෙමින් අයිතිවාසිකම් කප්පාදු කිරීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැති බව ද සඳහන් කරමු.

රෝගය පාලනය කිරීම සඳහා යැයි කියමින් පසුගිය බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිල වශයෙන් ප්‍රසිද්ධ නොකළ ද යුද හමුදාපතිවරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශයට පත් කළහ. බස්නාහිර පළාතට ඇතුළුවීම හෝ පිටවීම ද, පළාත ඇතුළේ ගමනාගමනය ද තහනම් බව පොලිසියේ නිවේදනවලින් කියැවිණි.
මෙම නියෝග කඩ කරන පුද්ගලයන්ට ඒරෙහිව නීතිමය පියවර ගන්නා අවස්ථා රැසක් පසුගිය දින කිහිපයේ මාධ්‍ය මගින් විකාශය කළේය. ඒ්වායේ පුද්ගලයන්ගේ අනන්‍යතාවයට හානිකරන අයුරින් කළ වාර්තා කිරීම් ගැන අපි පසුව වෙනම පැමිණිල්ලක් මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. කෙසේ වෙතත් මේ පැමිණිල්ල වෙනත් කාරණයක් ගැනයි.

නිරෝධානය නියෝග පැවැතිය ද, රටේ ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය ඒමගින් කිසිසේතම හීන කළ නොහැක. ‍‍‍මේ අනුව ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවල ඇතැම් සේවකයන්ට ඇිරිනීතිය පැවැතියද රාජකාරි සඳහා යාම් ඊම් කිරීමට පහසුකම් තිබිය යුතුය. පොලිසිය ජනමාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ආයතනවල සේවකයන්ගේ රාජකාරි හැඳුනුම්පත ඇඳිරිනීතිය බලපත්‍රයක් ලෙස සැලකීමට තීරණය කර ඇති අතර ඒය බෙහෙවින්ම පැසසිය යුතුය. ඒය භාවිත කළ යුත්තේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහාම පමණක් බව අපගේ විශ්වාසයයි.

අධ්‍යක්ෂ ජනරාල්තුමනි,
කරුණු මෙසේ තිබෙද්දී හිරු රූපවාහිනී නාලිකාව මගින් ඊයේ තලවතුගොඩ ප්‍රදේශයේ හිරු ලයිෆ් ස්ටුඩියෝහිදී රියැලිටි වැටසටහනක් සංවිධානය කර ඒය සජීවීව විකාශය කළේය. ‘හිරුස්ටාර්’ නම් ඒම වැඩසටහන සඳහා ජනමාධ්‍යවේදීන් හෝ ජනමාධ්‍ය සේවකයන් නොවන , ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමට කිසිසේත්ම අදාලන නොවන පිරිසක් කොළඹට කැදවා මෙම වැඩසටහන පැවැත්විණි. ඊට පෙර දින කොළඹ පැවැති මංගල සාදයක් පවා පොලිසිය සහ සෞඛ්‍ය අංශ විසින් නතර කර දැමූ පසුබිමක මෙවැනි වැඩසටහනක් පැවැත්වූයේ කෙසේද යන්න බරපතල ප්‍රශ්නයකි. ඊටත් වඩා බරපතල ප්‍රශ්නය මෙම වැඩසටහන සඳහා පිරිස් කොළඹට පැමිණියේ කෙසේද යන්නයි. සාමාන්‍ය පුරවැසියන්ට බලපාන නීතිය ඔවුන්ට බලනොපාන්නේ ඇයිද යන්න සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසක් ප්‍රශ්න කර තිබිණි.

මෙහි බරපතලම කාරණය නම් මෙවැනි අත්තනෝමතික වැඩ නිසා ජනමාධ්‍යවේදීන්ට ද සිය වෘත්තීය කටයුතු හරිආකාරව කරගෙන යාමට අවකාශය නැතිවීමයි.

මීට පෙර ඒනම් පසුගිය අප්‍රේල් මාසයේ ද, ඇඳිරිනීතිය තිබියදී සහ දිස්ත්‍රික් අතර ගමනාගමනය සීමා කර තිබිය දී හිරු නාලිකාව විසින් අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබිණි.. ඒම උත්සවයේ පුහුණුවක් බව කියන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූු අතර ඒම වීඩියෝව සමාජ මාධ්‍යවලට මුදා හැරියේයැයි කියමින් හිරු මාධ්‍යවේදියකු, වේෂ නිරූපන ශිල්පියකු ඇතුළු පිරිසක් කිසිම විනය පරීක්ෂණයක් නොපවත්වාම සේවයෙන් පහ කරනු ලැබීය. ඒවර ද නිරෝධායන නියෝග උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් පැවැත්වූයේ නැත.

මෙවර හිරු රූපවාහිනිය ඒම වැඩසටහන ඊයේ රාත්‍රී සජීවීව විකාශය කරද්දී මාධ්‍යවේදීන් විසින් ඒ ගැන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දැනුම් දී තිබිණි. නමුත් අදාල වැඩසටහන පැවැත්වීම ගැන නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණේ නැත.
මෙම වැඩසටහනේ ඊළඟ අදියර අද දිනයේ පැවැත්වීමට නියමිත බව දැනගන්නට ඇත. නීතිය නොතකා හෝ නීතිය වෙනසක් කර හෝ මෙවැනි දෑ කිරීම බරපතල තත්ත්වයකි. ඒමගින් නිරෝධායනය ගැන රජයේ ප්‍රතිපත්තිය ජනතාවගේ ප්‍රශ්න කිරීමට ලක්වනු ඇත. රජයේ ප්‍රතිපත්ති ජනතාව විසින් ප්‍රශ්න කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් ලක්ෂණයක් වුවද මෙම අවස්ථාවේ නිරෝධායනය ගැන නීති දෙකක් පැවැතීම ප්‍රශ්න කිරීම බරපතල තත්ත්වයකට තල්ලුවිය හැකිය. ඒ් මෙලෙස නීතිය දෙආකාරයකට ක්‍රියාත්මක කිරීම නිසා ජනතාව නිරෝධායන නියෝග නොතකා හැරීමට ලක් කළ හැකිය. ඒමගින් මෙම රෝග සීඝ්‍රයෙන් පැතිරීම මගින් ජන ජීවිධ අවධානමට ලක්වනු ඇත.

නිරෝධායන නියෝග පැවැතිය යුත්තේ ජනතාව මර්දනය කිරීමට නොව ජනතාවගේ ආරක්ෂාව සඳහාය. නිරෝධායනය යැයි කියමින් ජනතාව ඒ්කරාශීවන විරෝධතා මර්දනය කරනා අතරතුර මෙවැනි රියැලිටි වැඩසටහන් කිරීමට අවස්ථාව දීම බරපතල කාරණයකි. ඒබැවින්, මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමු. මේ කිසිවකින් ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව රැස්වීමට ඇති ඇයිතිය හීන කරනු නොලැබිය යුතු බව ද අවසානයේ අවධාරණය කරමු.

ස්තූතියි.
මෙයට විශ්වාසී,

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

පිටපත්
1) චන්දන වික්‍රමරත්න මහතා – වැඩබලන පොලිස්පති
2) අජිත් රෝහණ මහතා – නියෝජ්‍ය පොලිස්පති, නීති දිසාව
3) රුවන් ගුණසේකර මහතා – අධ්‍යක්ෂ, පොලිස් නීති කොට්ඨාසය.
4) ජගත් පී විජේවීර මහතා – ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යංශය
5) නාලක කළුවැව මහතා – ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
6) සභාපති, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය.
7) සභාපති, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.
8) සභාපති, ජාතික පොලිස් කොමිෂන් සභාව.
9) සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
10) සභාපති, රාජ්‍ය සේවා කොමිෂන් සභාව

leave a reply