Breaking News

ජන බලයක් ගොඩනගන්න විපක්ෂයේ සහ ආණ්ඩුවේ පක්ෂ සමග සාකච්ඡා කරන්න සූදානම් – පෙ.ස.ප.

වත්මන් ආණ්ඩුව විසින් ජනතාව මත ඇතිකර තිබෙන පීඩාව තවත් බලලෝභී දේශපාලන ක්‍රීඩාවකට පාවිච්චි කිරීමට ඉඩ නොදී සැබෑ ජනතා ජයග්‍රහණ අත්පත් කරගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා මාලාවක් ආරම්භ කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

අද(21) නුගේගොඩ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ පෙ.ස.ප. ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසිනි.
මේ වනවිට ආණ්ඩුවේ අසාර්ථකභාවය සලකුණු කර ඇත්තේ පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ නවලිබරල් ධනවාදී ප්‍රතිසංස්කරණ හේතුවෙන් නිසා ජනතාව වෙනුවෙන් විකල්ප සොයන දේශපාලන ජයග්‍රහණ කරා යායුතු බව ඔහුගේ අදහස විය. පැන නගිමින් තිබෙන ආණ්ඩු විරෝධයේ රැල්ලක් මගින් හුදු බලමාරුවකට එහා ගිය ජනතා බලයක් ගොඩනැඟීමේ අරමුණින් විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ තෝරාගත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කිරීමට සූදානම්වන බව මෙහිදී පෙ.ස.ප. ප්‍රධාන ලේකම්වරයා පැවසීය. ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේද කියි සිටියේය.

“ආණ්ඩුවලට මගහැර යා නොහැකි, එවැනි බලයක් ගොඩනැඟිමේදී ජනතා ප්‍රශ්න වෙනුවෙන් මැදි‍හත්වන සියලු දේශපාලන බලවේග සමඟ අදහස් හුවමාරු කරගැනීමට අපි අපේක්ෂා කරනවා. ජනතාව මුහුණ දෙන ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දීමට ආණ්ඩුවට අවධානයක් නැති තත්වය තුළ විරෝධතා රැල්ල විපක්ෂයේ බලලෝභී අරමුණුවලට පමණක් භාවිතා වීම සාමාන්‍ය තත්වයයි. මේ නිසා ජනතා ගැටලු සම්බන්ධ විසඳුම් වෙනුවෙන් දේශපාලන ව්‍යාපාර විසින් ගෙන එන යෝජනා අවධානයට ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ තත්වය තුළ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රිලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසාමජ පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට අපි අදහස් කරනවා.

අවධාරනය කළ යුතු කාරණය තමයි, හැමදාම සිදුවන ආකාරයෙන් ආණ්ඩු විරෝධයක් හරහා හුදු බලමාරුවකින් කෙළවර නොකරන ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුණ සහ ඒ් සම්බන්ධ ඔවුන්ට ඇති යෝජනා මොනවද කියන කාරණය සම්බන්ධයෙන් අපේ අදහස් ඉදිරිපත් කිරීමත් ඒ පක්ෂවල අදහස් හා යෝජනා සම්බන්ධ සාකච්ඡාවක් ගැනීමත් වෙනුවෙන් අපි සාකච්ඡා කරන්න කැමතියි.”

මෙම විශේෂ මාධ්‍ය හමුවට පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහභාගි වූහ.

leave a reply