Breaking News

කාබනික පොහොර වංචාවේ ලාභය යුරෝ මිලියන 12 යි

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ රටේ කෘෂිකර්මාන්තය සහ අනිකුත් වැවිලි බෝග සඳහා රසායනික පොහොර භාවිතය ක්‍රමානුකූලව අත්හිටවා කාබනික පොහොර භාවිතය සඳහා වසර 10ක කාලයක් ඇතුලත කෘෂිකර්මාන්තය හැඩගස්වන බව ප්‍රකාශ කර තිබුණ ද හිටි අඩියේම, කඩිමුඩියේම, මේ වසර මුලදී රසායනික පොහොර ගෙන්වීම නවත්වා දමනු ලැබුවා. දෙවන කන්නයේ සිට කාබනික පොහොර ගොවි ජනතාවට ලබාදීමට රජය කටයුතු කරන බවත් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කටයුතු කරන බවත් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ජනතාවට කියන අතර මේ හදිසි තීරණය හේතු කරගෙන කෘෂිකර්මාන්තය සහ අනෙකුත් වැවිලි කර්මාන්තයේ නියැලී සිටින ගොවියන් තමන්ගේ වගාවන් කර ගැනීමට නොහැකිව ගැටළු ගණනාවකට මුහුණ පා සිටිනවා.

ආණ්ඩුව මේ කාබනික පොහොර භාවිතය ගොවියන්ට හුරු කරන්න බර කියන්නේ පුදුම උනන්දුවකින්. ගෙවුණු වසර 40 ක 50 ක කාලයේ අපේ රටේ පසට රසායනික පොහොර එකතු කිරීමෙන් විශාල හානියක් කර ඇති බව පුන පුනා ඔවුන් පවසනවා. මේක අප ඉදිරියට හදිස්සියෙන් පහළ වුණු ආශ්චර්යමත් දැනුවත් වීමක් නෙවෙයි. මේ ගෙවී ගිය කාලයෙන් වැඩි කාලයක් මහින්ද රාජපක්ෂ අගමැති ලෙසත් ජනාධිපති ලෙසත් ආණ්ඩු කරණයේ යෙදී සිටියා . එක්සත් ජාතික පක්ෂය සහ මේ සියලු දෙනාම මේ විනාශයට වගකියන්න ඕන. කාබනික පොහොර භාවිතය හොඳ වෙන්නේ ඒක හොඳ ආකාරයෙන් කරොත් පමණයි. එක නරක ආකාරයෙන් කලොත් රසායනික පොහොර භාවිතය සේම අපේ පොළොවට, අපේ ජාලයට අපද්‍රව්‍ය එකතුවීම සහ ගොවි ජනතාව අපහසුතාවයට පත්වීම සිදු වෙනවා .

මේ කියන්න යන කතාව කාබනික පොහොර භාවිතය හොඳ වුනොත් හොඳ ප්‍රතිඵලත් නරකින් වැඩේ කලොත් නරක ප්‍රතිඵලත් අත්වෙන බවට අදාල උදාහරණයක් පිළිබඳවයි. විස රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බහු ජාතික සමාගම් අයත් වෙන්නේ බහුතරයක් දියුණු ධනපති රටවල් වලට. හැබැයි මේ විස රසායන ,කෘෂිරසායන නිෂ්පාදනය කරන රටවල් තමන්ගේ පොළොවට ඒ විස එකතු කරන්නේ නැහැ. ඔවුන් වැඩිම බරක් තියන්නේ කාබනික පොහොර සඳහායි. ගොවිබිම්වලට වැඩිපුරම එකතු කරන්නේ කාබනික පොහොර . සුළු වශයෙන් වල්නාශක කෘමිනාශක මුසු කරනවා . මේවා එකතු කරන්නෙත් දැඩි අධීක්ෂණයක් යටතේ. ප්‍රාදේශීය සභා වල සිටින අදාල නිලධාරීන් වාර්ෂිකව ගොවිබිම් පරික්ෂා කරනු ලබනවා. පොළොවේ රසායනික සංයුතිය පිළිබඳව විමසා බලනවා. යම් හෙයකින් පොළොවේ රසායනික සංයුතිය වෙනස් වෙලා තිබුනොත් ඒ බිම වගාවෙන් ඉවත් කරනවා. සමහර විට වසරක් වසර දෙකක් නිදැල්ලෙ වල්පැළ වැවෙන්න ඉඩ හැර තියෙනවා. එහෙම කරන්නේ ඒ පොළොව නැවත ප්‍රතිනිර්මාණය වෙන්න, යථා තත්ත්වයට පත්වෙන්න.

මේ ගෙවෙන්නේ යුරෝපයේ වසන්ත කාලය. ගොවිබිම් වල පැල හිටවන ,පස සකසන කාලයයි. සමහර වගාවන් ආරම්භ කරන කාලයයි.වගා කටයුතු ආරම්භ කරන්නට කලින් ගොවිබිම් පරීක්ෂාව කරනවා. මෙන්න මේ බිම් පරීක්ෂාවේ දී හෙළි වෙනවා ඉතාලියේ කෘෂිකාර්මික ප්‍රදේශ කිහිපයක ගොවිබිම් වල බැර ලෝහ සහ හයිඩ්‍රොකාබන් සංයුතිය වැඩිවෙලා තිබෙන බවත් දූෂිත අපද්‍රව්‍ය ගොවිබිම් වලට එකතු වී තිබෙන බව. මෙසේ පරීක්ෂණයේදී බැර ලෝහ සහ හයිඩ්‍රොකාබන් සංයුතිය වැඩි වෙච්ච ගොවි බිම් 3000 සොයාගනු ලබනවා. විටින් විට ගොවි ජනතාවගෙන් මැසිවිලි නැගුනත් තමන්ගේ ඵලදාවේ අඩුවක් පෙන්නුම් කරන බවට බලධාරීන් වැඩි උනන්දුවක් ඒ පිළිබඳව නොදක්වපු නිසා තමයි අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ ගමන යන්න මේ කියන සමාගමට හැකියාව ලැබෙන්නේ. කෙසේ වෙතත් මීට හේතුව කුමක්ද කියා ඔවුන් සොයා බලන අවස්ථාවේදී තමයි දැනගන්නේ මේ සියලුම ගොවිබිම් වලට එකම ආයතනයකින් මිලදී ගත් කාබනික පොහොර යොදා තිබෙන බව. ඉන් අනතුරුව ව්‍යසනකාරී තත්ත්වයට හේතුව කාබනික පොහොර නිෂ්පාදන සමාගම විය හැකියි කියන අනුමානයට එනවා.

ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ කාබනික පොහොර නිෂ්පාදනය කරන WTE ආයතනය තමයි මේ වංචනික ක්‍රියාවලිය සිදු කර තිබෙන්නේ. 2018 ජනවාරියේ සිට 2019 අගෝස්තු මාසය දක්වා ගෙවුණු වසර එක හමාරක කාලය තුළ මොවුන් රොන්මඩ මිශ්‍ර අපද්‍රව්‍ය කාබනික පොහොරවලට මිශ්‍රකර විකිණීම කර තිබෙන අතර ඔවුන් උපයා ඇති මුදල යුරෝ මිලියන 12 කට අධිකයි. මෙසේ ගොවිබිම් වෙත කාබනික පොහොර ලෙස මුදා හැර ඇති රොන්මඩ ප්‍රමාණය ටොන් 150 000 ට අධික බව තමයි පවසන්නේ. කාබනික පොහොර සමග මිශ්‍ර කර ඇති අපද්‍රව්‍ය වල ආසනික්, සයනයිඩ්, ක්ලෝරයිඩ්, ෆීනෝල්, හයිඩ්‍රොකාබන්, බැර ලෝහ, නිකල්, තඹ, සෙලේනියම්, සල්ෆේට්, ටින්, සින්ක් සහ තවත් බොහෝ “විෂ” අපද්‍රව්‍ය ඇති බව පරීක්ෂණ වලින් හෙළි කර ගෙන තිබෙනවා.

කර්මාන්ත ශාලාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර කර්මාන්තශාලාව සීල් තබා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි එම කර්මාන්ත ශාලාවට අනුබද්ධව ක්‍රියාත්මක වුණු ප්‍රාදේශීය ශාඛා 39 සහ දේපල, මව් ආයතනයට සහ ඒ වෙනුවෙන් සේවය සැපයූ කුඩා ආයතන වලට හිමි බැංකු ගිණුම් 36 ක් සහ වගකිවයුතු ඉහළ පෙළේ පුද්ගලයන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පුවත ලෝක පරිමාණයෙන් බරපතළ අවධානයක් යොමු වෙච්ච පුවතක් නෙවෙයි. නමුත් ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට මේක හරි වැදගත්. ඊට ප්‍රධානම හේතුව තමයි මේ ගෙවෙන මේ මොහොතේ අපේ වර්තමාන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම ලංකාවේ කෘෂිකර්මාන්තයට නැවත කාබනික පොහොර හඳුන්වා දෙන්න විශාල උනන්දුවක් ඇතුව කටයුතු කිරීම. විවෘත ආර්ථික ක්‍රියාවලිය ජේ. ආර් හඳුන්වා දෙනවාත් සමඟම කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා හරිත විප්ලවයෙන් රසායන පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය රටට හඳුන්වා දෙනවා. ඒ හරහා මුල්කාලීනව එතෙක් පැවති තත්ත්වය වෙනස් වෙමින් දැවැන්ත පරිවර්තනයක් ලෙස හුවා දක්වමින් කෘෂිකර්මාන්තයෙ යම් වෙනස් වීමක් සිද්ධ වුණත් පසුකාලීනව අපට පෙනී ගොස් තිබෙනවා මේ රසායනික පොහොර භාවිතය නිසා අපේ රටේ කෘෂිකර්මාන්තය පමණක් නෙවෙයි ගොවියා ද විනාශ වී ඇති බව.

රසායනික පොහොර භාවිතය අතහැර කාබනික පොහොර භාවිතයට යෑම හොඳයි. තවමත් දියුණු ධනපති රටවල් වැඩිම බරක් යොදන්නේ කාබනික පොහොර නිෂ්පාදනයට සහ භාවිතයට.නමුත් අපට තිබෙන ප්‍රශ්නය නම් නැවත අපේ ගොවිබිම් වලට කාබනික පොහොර ගෙන ඒම නෙවෙයි. මේ දූෂිත, වංචනික, මං කොල්ලකාරී,රාජ්‍ය පාලකයෝ සහ රාජ්‍ය යාන්ත්‍රණය මෙය හිතකරව කරයිද කියන ප්‍රශ්නය. කොමිස් මුදල් වලට රටම පාවා දී තිබෙන තත්ත්වයක් යටතේ. විදේශීය කුණුගොඩවල් කාබනික පොහොර නමින් අපේ රටට ඇවිත් මහ පොළොවට එකතු වෙයිද කියන බය තියෙන්නේ.

ලාභය ප්‍රධාන අරමුණ කරගත් මේ නිෂ්පාදන ආයතන දැඩි නීති රීති යටතේ , නිරතුරු පරීක්ෂාව යටතේ, ගොවිබිම පවත්වාගෙන යන ඉතාලිය වැනි රටකටත්, වංචා කරන්නේ නම් ඉහත සඳහන් කළ ආකාරයට සියලු වංචාවන් දූෂණයන් රාජ්‍ය පාලනයේ සහ පාලකයාගේ සමීපතම මිතුරෙක් බවට පත් කරගෙන සිටින ලංකාව වැනි රටක දී අපට දකින්නට වන්නේ දරුණු ඛේදවාචකයක අත්දැකීමක් පමණයි.

මේ කියන කතාව විශ්වාස කරගන්න අපහසු නම්. මීට මසකට ඉහත සාගර පරිසර පද්ධතිය විනාශ කරමින් ගිනිගෙන මුහුදු බත් වුණු X Press Pearl නෞකාවේ කතාව උදාහරණයක් ලෙස මතක් කරගෙන අපේ රටේ පාලකයෝ රටට මොනතරම් විනාශයක් අත්පත් කර දෙන නරුමයන් ද කියන එක තේරුම් ගන්න පුළුවන්.

හිල්මි සුපුන්

leave a reply