Breaking News

වසංගතය හමුවේ ආණ්ඩුව නිදි වැදුණු හැටි හෙළිව තිබියදීත් ජනාධිපති ජනතාවට වරද පටවයි

ජනතාවට ලොකු වගකීමක් ඇති බවත් ජනතාව තම වගකීම් ඉෂ්ඨ නොකළ නිසා මෙම වසංගත තත්ත්වයට මුහුණ දීමට සිදුවූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.

“මේක රජයෙන් දාපු වෛරසයක් නෙවෙයි. මේක ලෝකයටම බලපාන සෞඛ්‍ය ප්‍රශ්නයක්. ජනතාව වගකීම ඉෂ්ඨ නොකල නිසා තමයි මේ තත්ත්වෙට මුහුන දෙන්න වෙලා තියෙන්නෙ යැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.”

දින 03 ක කාලයක් සඳහා ඇඳිරි නිතිය පැනවූ අවස්ථාවේදී බොහෝ පිරිස් ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවත් එලෙස වගකීම් විරහිත ලෙස ක්‍රියා නොකරන ලෙසට දැනුම් දිය යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියා.

ජනාධිපතිවරයා මේ අදහස් පළකර ඇත්තේ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකාය සමඟ අද පැවති සාකච්ඡාවක් අතරතුරයි.

ජනාධිපතිවරයා රටේ ජනතාවට දෙහි කැපුව නමුත් ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස සහ රටේ ජනාධිපතිවරයා ලෙස පැවරී ඇති වගකීම් ඔහු හරි හැටි ඉටු නොකළ ආකාරය අද මාධ්‍ය වාර්තා කර තිබුණි.

ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූ 2020 මාර්තු 11 වන දා සිට මේ දක්වාම, එකම එක ස්වසන ආධාරක යන්ත‍්‍රයක් වත් සෞඛ්‍ය සේවා පද්ධතියට අලුතින් මිලදී ගෙන නැති බව The Sunday Morning පුවත්පතේ ප්‍රධාන සිරස්තල පුවතින් හෙළිදරව් කර ඇත.

එම වාර්තාවට අනුව ලංකාවේ මිලියන 22ක ජනගහනයක් සඳහා දැඩි සත්කාර ඇඳන් ඇත්තේ 630ක් පමණක් වන අතර ඒවායෙන් කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කළ හැක්කේ ඇඳන් 146ක් පමණි.

ඊට අමතරව පසුගිය මේ දින කිහිපයේ දැනට පවතින PCR යන්ත්‍රය ක්‍රියාවිරහිත වී තිබීම නිසා විශාල පරීක්ෂණ ප්‍රමාණයක් සිරවී ඇති බව වාර්තා විය. පසුගිය මාර්තු මාසයේ අත්දැකීම් තිබියදී වුවත් වැඩිපුර PCR යන්ත්‍ර මිලදී ගැනීමට ආණ්ඩුව කටයුතු කර නොතිබුණි.

දරුනු වසංගතයක් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් තිබියදී සෞඛ්‍ය සේවයට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම හෝ අවශ්‍ය මිලදී ගැනීම්වලට ප්‍රමුකතා නොදී ආණ්ඩුව නිදාවැටුනු ආකාරය වරින්වර මෙරට සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල විසින් අනාවරණය කරන ලදී. මේ වනවිට සෞඛ්‍ය සේවයේ තොරතුරු අනුව, රෝහල්වල සේවක පුරප්පාඩු මෙන්ම උඵකරණ හිගයද උග්‍ර වන අතර අත්‍යවශ්‍ය ඖෂධ හිගයද වරින්වර අනාවරණය වේ. සෞඛ්‍ය කාර්යමණ්ඩල හිගය 30000ක් බව වෘත්තිය සමිති පෙන්වා දෙන අතර සෞඛ්‍ය බලධාරින්ගේ මට්ටමින් ඒ සම්බන්ධ කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැත.

මෙවැනි විශාල අඩුපාඩු සෞඛ්‍ය සේවයේ තිබියදී 2021 විසර්ජන පනතින් සෞඛ්‍ය සේවයට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 158ක් පමණි. 2019 වසරට සාපේක්ෂව සෞඛ්‍ය වැය ශීර්ෂය රුපියල් බිලියන 20කින් කප්පාදුවකි. එහෙත් ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 335ක් හා මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 330ක් වෙන් කර තිබේ. ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාවය නොදී ජනතාව මර්දනය කිරීමේ කටයුතු හා අධික කොමිස් ගැසීමේ අවස්ථා ඇති කොන්ත්‍රාත් කටයුතු හරහා වැය කිරීම් සඳහා ප්‍රතිපාදන වැඩියෙන් වෙන්කර ඇති බව මෙයින් පැහැදිලි වේ.

 

leave a reply