කණාමැදිරියා ඔබ කව්රුත් කුඩා කල පටන් හඳුනන කෘමි සතෙකි. අප කව්රුත් කුඩා කල උන් ගැන ඇති වුයේ කුතුහලයකි. ඊට ප්‍රධාන හේතුව උන් නිකුත් කරන එළියයි. ඒ නිසාම අපි කුඩා කල උන් අල්ලා බෝතල් වල දමා සෙල්ලම් කල අයුරු මේ ලියන මොහොතේත් මගේ මතකයට එයි. නමුත් කීයෙන් කී දෙනාද මොවුන් ගැන නිවැරදි තොරතුරු දන්නේ. මේ ලිපියෙන් මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ කණාමැදිරියාගේ අසිරිමත් ජීවන තතුයි.
ලොව පුරා කණාමැදිරියන් විශේෂ 2,000 ක් පමණ සිටින අතර සියලුම කුරුමිණියන් මෙන්, කණාමැදිරියන් ඔවුන්ගේ ජීවන චක්‍රයේ අදියර හතරක් සහිත සම්පූර්ණ රූපාන්තරණයකට භාජනය වේ. එනම්, බිත්තර, කීටයන්, පිළවා සහ සුහුඹුලා ලෙසයි.
බිත්තර අවධිය (කළල අවධිය)
කණාමැදිරියන්ගේ ජීවන චක්‍රය ආරම්භ වන්නේ බිත්තරයකිනි. සංසර්ගයේ යෙදෙන ගැහැණු සතුන් ගෝලාකාර බිත්තර 100 ක් පමණ තනි හෝ පොකුරු ලෙස පසෙහි හෝ පසෙහි මතුපිට තැන්පත් කරයි. කණාමැදිරියන් තෙතමනය සහිත පස් වලට වැඩි කැමැත්තක් දක්වන අතර බොහෝ විට ඔවුන්ගේ බිත්තර, වසුන් හෝ කොළ රොඩු යට තැන්පත් කිරීමට තෝරා ගනී, එහිදී පස වියළීමට ඇති ඉඩකඩ අඩුය. සමහර කණාමැදිරියන් බිත්තර කෙලින්ම පසෙහි නොව කුඩා පැල මත තැන්පත් කරනු ඇත. මේ බිත්තර වලින් සාමාන්‍යයෙන් සති තුනක් හෝ හතරක් තුළ පැටවුන් බිහි වේ. සමහර කණාමැදිරියන්ගේ බිත්තර Bioluminescent වන අතර පසෙහි ඒවා සොයා ගැනීමට ඔබ වාසනාවන්ත නම් ඒවා අඳුරු ලෙස දිලිසෙන බව ඔබට පෙනෙනු ඇත.
කීට අවධිය
බොහෝ කුරුමිණියන් මෙන්, කණාමැදිරි කීටයන් පණුවන් මෙන් පෙනේ. මෙම කීටයන් අප රෑබදුල්ලා ලෙස හඳුන්වයි. සැබවින්ම මෙය ඔබ දැන ගෙන සිටියාද? රෑබදුල්ලා යනු වෙනමම ජීවී විශේෂයක් නොවේ. පෘෂ්ඨීය ඛණ්ඩක සමතල ස්වරූපයක් ගන්න අතර එම ඛණ්ඩක එකිනෙක අතිච්ඡාදනය වෙමින් පිටුපසට හා පාර්ශවිකව විහිදේ. කණාමැදිරි කීටයන් ආලෝකය නිපදවයි. ජීවීන් තුල මෙම ආලෝකය නිපද වීම Bioluminescent ලෙස හැඳින්වේ. මෙම ආලෝකය නිපදවීම වෙනත් ජීවීන් තුලද දක්නට ලැබේ. කණාමැදිරි කීටයන් සාමාන්‍යයෙන් පස තුල කොළ රොඩු අතර වාසය කරයි. රාත්‍රියේදී ඔවුන් හම්බෙල්ලන්, ගොළුබෙල්ලන්, පණුවන් සහ වෙනත් කෘමීන් දඩයම් කරයි. ඔවුන් ගොදුර ග්‍රහණය කර එයට ජීරක එන්සයිම විදිනු ලැබේ. එවිට ගොදුරු වූ සතා අඩපණ වන අතර මරණයට පත්වීමත් ඉන්පසු ජීරක එන්සයිම නිසා ද්‍රවයක් බවට පත් වීමත් සිදු වේ. එම ජීරණය වූ ද්‍රවය ඔවුන් ආහාර ලෙස ගනියි. සමහර විශේෂ වල කීට අවධිය වසරකට වඩා වැඩි කාලයක් පවතින අතර කීටයන් වර්ධනය වන විට පිටත සැකිල්ල එනම් බහිෂ්සැකිල්ල (Exoskeleton) හැව හරිනු ලබයි. මෙසේ පිළා අවධිය තෙක් කීපවරක් සැව හැලීම සිදු කරන අතර නව බහිෂ්සැකිල්ලක් හට ගනී. කීටයන් පිළා අවධියට පෙර අඟලෙන් හතරෙන් තුනක් පමණ දිගින් යුක්ත වේ. (දිග ප්‍රමාණය විශේෂය අනුව වෙනස් වේ).
පිළා අවධිය
කීටයා පිළා අවධියට ළගා වන විට පස තුලට වැදී මඩ වලින් කුටියක් සාදා ගෙන ඒ තුල ජීවත් වීමට පටන් ගනී. සමහර විශේෂ වල කීටයන් ගසක පොත්තකට සම්බන්ධ වන අතර උඩු යටිකුරු ලෙස එල්ලී පිළා කෝෂය සාදා ගනී (සමනලයන්ගේ දළඹුවන් මෙන්).
කීටයන්ගේPupal අවධියේදී කැපී පෙනෙන පරිවර්තනයක් සිදු වේ. හිස්ටොලයිසිස් (Histolysis) නම් ක්‍රියාවලියේදී කීටයන්ගේ ශරීරය බිදෙන අතර අතරTransformative සෛල සක්‍රීය වේ. මේ සෛල ආකාරය හිස්ටොබ්ලාස්ට්(Histoblast) ලෙස හැඳින්වෙන අතර මෙම සෛල කාණ්ඩය මගින් කීටයන් සුහුඹුල් ස්වරූපයට පරිවර්තනය කරන ජෛව රසායනික ක්‍රියාවලිය ආරම්භ කරයි. රූපාන්තරණය සම්පුර්ණ වූ විට, සුහුඹුල් සතා එලියට පැමිණේ.මේ සඳහා දින10 සිට සති කීපයක් ගත වේ. එය විශේෂය අනුව වෙනස් වේ.
සුහුඹුල් අවධිය
සුහුඹුල් කණාමැදිරියා ලෙස බාහිර පරිසරයට පැමිණෙන විට ඔවුන්ගේ ඊළග කාර්ය වන්නේ ප්‍රජනනයයි. විරුද්ධ ලිංගිකයන් තමා වෙතට ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් එළි දල්වමින් පියඹා යයි. සාමාන්‍යයෙන් පිරිමි සතා බිමට ආසන්නයේ පහත් ලෙස පියාසර කරන අතර උදරයේ ඇති විශේෂිත ඉන්ද්‍රිය මගින් සංඥා එළි දල්වයි. පඳුරු මත රැඳී සිටින ගැහැනු සතුන් පිරිමි සතාගේ මෙම විශේෂ ආරාධනාව බලාපොරොත්තුවෙන් සිටියි. මෙම විශේෂ සන්නිවේදන හුවමාරුව අවසන් වන්නේ පිරිමි සතා සහ ගැහැණු සතා එකිනෙක හමු වී සංසර්ගයේ යෙදීමෙන් පසුය. ඇතැම් විට කණාමැදිරි සුහුඹුල් සතුන් ආහාර නොගනී. ඔවුන් ප්‍රජනනය කිරීමෙන් පසුව මිය යයි. ඔවුන් ආහාර ගන්නේ නම් එවිට වෙනත් කෘමි සතුන් දඩයම් කර ගනී.
ගැහැණු කණාමැදිරියන් සමහර විට අමුතුම දඩයම් උපක්‍රම භාවිතා කරමින් වෙනත් විශේෂවල පිරිමි සතුන් ආකර්ෂණය කර ඔවුන්ව මරා අනුභව කරති. කෙසේවෙතත්, වැඩිහිටි කණාමැදිරියන්ගේ ආහාර පුරුදු ගැන වැඩි යමක් නොදන්නා අතර සමහර කණාමැදිරියන් පරාග හෝ පැණි වලින් පෝෂණය වේ යැයි සිතනු ලැබේ.
සමහර විශේෂ වල ගැහැණු වැඩිහිටි කණාමැදිරියන්ට පියාසර කිරීමට නොහැකිය. එම ගැහැණු සතුන් කණාමැදිරි කීටයන්ට සමාන වන අතර විශාල, සංයුක්ත ඇස් ඇත. සමහර කණාමැදිරි විශේෂ ආලෝකය නිපදවන්නේ නැත. උදාහරණයක් ලෙස, එක්සත් ජනපදයේ, බටහිර කැන්සාස් වලින් හමු වූ විශේෂ දිලිසෙන්නේ නැත.
මිත්‍යා මත
රෑබදුල්ලන් දෂ්ඨ කල විට ප්‍රතිකාර සඳහා අහසේ තරු සහ මුහුදේ මඩ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය බව. මින් ප්‍රකාශ කරනුයේ ඉතාමත් විෂ සහිත සතෙකු බවයි. මෙහි කිසිදු සත්‍යතාවයක් නොමැත.
අවසාන වශයෙන් මෙය කිව යුතුමය. ඔබට මතක ඇති අප කුඩා කාලයේ කණාමැදිරියන් ඉතා බහුල ලෙස පරිසරයේ දැක ගැනීමට හැකි වුනා. නමුත් අද වන විට මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඔවුන් කලාතුරකින් දැක ගැනීමටයි ලැබෙන්නේ. මීට ස්ථීරව කුමන සාධක බලපාන්නේ දැයි කිව නොහැකි නමුත් ඍජුවම මේ සඳහා මිනිස් ක්‍රියාකාරකම් හේතු වී ඇති බව කිව හැකිය. මොවුන් කෘෂි කර්මයට ඉතාමත් වැඳගත් කෘමි සතුන්ය. ස්වාභාවික පලිබෝධනාශක සතුන්ය. වගාවට හානිකර ගොළුබෙල්ලන්, හන්ගොල්ලන්, පනුවන් විශේෂ සහ වෙනත් හානිකර කෘමීන් මොවුන් විසින් දඩයම් කර ඔවුන්ගේ ගහන ඝනත්වය පාලනය කරයි. මේ ගැන පැරණි මිනිසුන් දන්නා නිසා ඔවුන් මේ සතුන් විනාශ කලේ නැත. රෑබදුල්ලන් හමුවන තැනක නිරීක්ෂණය කරන්න ඔබට මිය ගිය ගොලුබෙල්ලන්ගේ කටු සොයා ගත හැකිය. මොවුන්ගේ විනාශයට කුඹුරු ඇතුළු වෙනත් වගාවන්ට කෘමි නාශක සහ වල්නාශක භාවිත කිරීම මේ තත්වයට හේතු වුනා විය හැකිය. මේ නිසා පරිසරයේ සමතුලිතතාවය බිඳ වැටී වඩාත් හානිකර පලිබෝධකයින්ගේ ගහනය වැඩි වීම අපේක්ෂා කල හැකිය. දිනෙන් දින පෘථිවිය මිනිසා වනසමින් සිටියි. මිනිසා ස්වභාව ධර්මයට විරුද්ධව ක්‍රියා කිරීමේ විපාක අප අද විඳිමින් සිටිමු. මේ තත්වය තේරුම් ගෙන තණ්හාව සහ බලය කෙරෙහි ඇති ලෝභය නැති කර ගත් දිනෙක ලෝකය වඩාත් සතුටුදායක වනු ඇත. කෘතීම ජීවියෙක් නොවී ස්වාභාවික ජීවියෙක් ලෙස ස්වභාව ධර්මයට ආදරය කරමු, රැක ගනිමු.
විද්‍යාත්මක වර්ගීකරණය- Scientific Classification
Domain : Eukaryota
Kingdom : Animalia
Phylum : Arthropoda
Class : Insecta
Order : Coleoptera
Suborder : Polyphaga
Infraorder : Elateriformia
Superfamily : Elateroidea
Family : Lampyridae
Latreille, 1817