ජනවාර්ගික ප්‍රජාවන් අතර පවතින බලය බෙදාගැනීමේ ගැටලුව විසඳීමේ කොටසක් ලෙස දිස්ත්‍රික් කමිටු පිළිබඳව සලකා බැලිය හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය දෙමළ ප්‍රජාව තුළ සැලකිව යුතු කෝපයක් ජනිතකර තිබේ. ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා කතා කරමින් සිටින බැවින් එය කම්පනයක් මෙන්ම බලාපොරොත්තු සුන්වීමක් ද වේ. වියදම් කපා හැරීමේ පියවරක් ලෙස පළාත් සභා යටතේ දිස්ත්‍රික් සභා පිහිටුවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළ අවස්ථාවකදී, දිස්ත්‍රික් සංවර්ධන සභා යළි හඳුන්වාදීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි පැවැසේ. “හිටපු ජනාධිපතිතුමනි, දිස්ත්‍රික් සංවර්ධන සභා ගැන ඔබගේ අදහස්වලට මම සවන් දුන්නා. මම එය කිරීමට සූදානම්” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව සඳහන් වේ. කෙසේවෙතත්, ‘ජනාධිපතිවරයා අදහස් කරන ලද්දේ පළාත් සභා තුළ දිස්ත්‍රික් සංවර්ධන කමිටු (DDC) පිහිටුවන බව’, යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඉන් අනතුරුව එය තවදුරටත් පැහැදිලි කරනු ලැබීය.
සියලුම විධායක තීරණ සඳහා රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු වේදිකාවක් සපයනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැහැදිලි කළේය. මෙම ක්‍රියාවලිය පෙර පැවැති ක්‍රමයේ අනු පිටපතක් නොවන බවට සහතික වන අතර, එමගින් පැහැදිලිවම මූල්‍ය නාස්තිය අවම කරනු ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. බලය බෙදීමේ ඒකකය ලෙස ‘දිස්ත්‍රික්කය’ යන සංකල්පය පිළිබඳව මීට පෙර 1981දී, උත්සාහ කරනු ලැබුවේ වත්මන් ජනාධිපතිවරයාගේ මාමා වූ, දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී ය. ඒ අනුව, දිනෙන් දින උග්‍ර වෙමින් තිබූ ජනවාර්ගික ගැටුමට යෝජනාවූ විසඳුමේ කොටසක් ලෙස රජය විසින් දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවන ලදී. එවකට වර්ධනය වෙමින් පැවැති දෙමළ සටන්කාමීත්වය පාලනය කරන ලෙස ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශවලට නියෝග කර තිබිණි. එදා ආරක්ෂක අංශ, තුවක්කුවලින් පමණක් නොව ත්‍රස්තවාදය වැළක්වීමේ පනතින් ද සන්නද්ධව සිටියේ, වර්තමානයේ ඒවා භාවිත කරන ආකාරයට බොහෝ සෙයින් සමාන ලෙසිනි.
දිස්ත්‍රික් සංවර්ධන සභා පැවැති කෙටි කාලය පිළිබඳ මතකය දෙමළ ප්‍රජාවට සතුටුදායක එකක් නොවේ. දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණවලට ජනාධිපතිවරයා අයත් දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය තරඟ කරනු ලැබීය. එම මැතිවරණ දූෂිත කර, ඒවා ජය ගැනීමට රජය දැරූ උත්සාහය අතරතුර, 1981 දී යාපනය මහජන පුස්තකාලයද විනාශකාරී ලෙස ගිනි තැබීමට එය හේතු විය. රටේ අනෙකුත් ප්‍රදේශවල ඊර්ෂ්‍යාවට ලක් වූ, රටේ උතුරු පළාත් අධ්‍යාපනයේ ඉහළ ගුණාත්මක බව සංකේතවත් කළ මෙම අධ්‍යාපනික මධ්‍යස්ථානය දෙමළ ශිෂ්ටාචාරයේ අති පූජනීය ආයතනයක් විය. එබැවින් ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන්, ප්‍රතිචාර ලෙස ඉදිරියට ආ ඉතා සෘණාත්මක නිගමනයන් ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය ඉක්මන් වීම පුදුමයක් නොවේ.
වචන නැවත අර්ථ දැක්වීම
දිස්ත්‍රික් සභා ක්‍රමය නැවත පණ ගැන්වීමට ඇති කැමැත්ත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අපැහැදිලි ප්‍රකාශය නිවැරදිව නිරූපණය කිරීමට ජනාධිපති මාධ්‍ය ඒකකය කටයුතු කර ඇතැයි සිතිය හැක. කෙසේ වෙතත්, සියලු විධායක තීරණ සඳහා මධ්‍යම රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සම්බන්ධීකරණය කිරීමේ සංකීර්ණ වේදිකාවක් නිර්මාණය කිරීමේ අදහසම දුෂ්කර කාර්යයක් බව පෙනෙන්නට තිබේ. බහුවිධ කමිටු හරහා තීරණ ගැනීම හේතුවෙන් අදාළ ආයතනවල සැබෑ ක්‍රියාකාරිත්වය අවදානමට ලක්කරනු ලබයි. ආණ්ඩුවේ එක මට්ටමක් තුළ පවා සම්බන්ධීකරණ කටයුතු සිදුවන්නේ සැබෑ දුෂ්කරතාවකින් යුක්තවය. ඒ අනුව බහු මට්ටම් අතර සම්බන්ධීකරණය වඩාත් අපහසු වනු ඇත. රියදුරන් දෙදෙනෙකු රියදුරු අසුනේ වාඩි වී සිටින විට ගැටළු ඇති වී තිබෙන බවට සාධක පවතී. දිස්ත්‍රික් ලේකම්වරයා ලෙසද කටයුතු කරන බැවින්, ඒ ඒ දිස්ත්‍රික්කවල දිසාපතිවරයා වාර්තා කරන්නේ කාහටද? මධ්‍යම රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සහ පළාත් අමාත්‍යවරයෙකු විධිමත් රැස්වීමකට සහභාගී වන විට ක්‍රියාත්මක ප්‍රොටෝකෝලය කුමක්ද?
ඉහත සඳහන් කළ ප්‍රශ්න අතීතයේ දී මතු විය. ඒ අතරින් බොහෝ ඒවා මෙතෙක් නොවිසඳී පවතින අතර, තවදුරටත් බලය බෙදීමේ ඒකක ක්‍රියාත්මක කිරීමෙන් තත්වය වඩාත් ව්‍යාකූල වනු ඇත. ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා යෝජිත දිස්ත්‍රික් කමිටුවල අනනුකූලත්වය තවත් ගැටලුවක් හරහා හඳුනාගත හැකිය. ජනවාර්ගික ගැටුමට විසඳුම ලෙසත්, ඒ ඒ පළාත්වල ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කිරීම සඳහාත් නිර්මාණය කරන ලද පළාත් සභා වර්තමානයේ අදාළ අරමුණු ක්‍රියාත්මක කරන්නේ නැත. මන්ද ඒවායේ මහජන නියෝජනය මේ වන විට ක්‍රියාකාරී තත්වයේ නොපවතින බැවිනි. පසුගිය වසර හතර පුරාවටම පළාත් සභා යනු, පළාතේ ජනතාවගේ අදහස් විමසීමකින් තොරව, අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක වන සහ ක්‍රියා කළ හැකි, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයකු විසින් පාලනය කරනු ලබන පරිපාලන ආයතන පමණි. මේ කාලසීමාව තුළ පළාත් සභා මැතිවරණ පවත්වා නැත. විමධ්‍යගත කරන ලද, බලය පවතින ආයතනයකට වඩා වෙනස් ආකාරයෙන්, පළාත් සභා දැන්, අවාසනාවන්ත ලෙස මෙන්ම විනාශකාරී ලෙස, රාජ්‍යයේ මධ්‍යගත බලය නියෝජනය කරමින් සිටී.
වසර 04ක් තිස්සේ මැතිවරණ පැවැත්වීමට ඉඩ නොදීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේදය මගින් පළාත් සභා උදාසීන කිරීමට රජයට ඇති හැකියාව ප්‍රදර්ශනය කර ඇති අතර, එමගින් දෙමළ ප්‍රජාවට පළාත් සභා ප්‍රතික්ෂේප කිරීම සඳහා පෙළඹවීමක් ලබා දෙනු ලබයි. 1987 දී පළාත් සභා ගෙන එන ලද්දේ, ජනවාර්ගික ගැටුමට යෝජනාවූ විසඳුමේ ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී කොටස ලෙසයි. පළාත් සභාවලින් අරමුණු කරන ලද්දේ, ප්‍රාදේශීය වශයෙන් අදාළ කාරණා සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය ඒ ඒ පළාත්වල ජනතාවට ලබාදීමයි. එහෙත් මෙම අයිතිය ඔවුන්ට අහිමි කර ඇත. ෆෙඩරල් ඉල්ලීම නැවත වරක් කරලියට පැමිණීමට මෙය ප්‍රධාන හේතුව වනු ඇත. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් 2017 අගෝස්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය සුවිශේෂී තීන්දුවක් දෙමින් “පවතින පළාත තුළ ෆෙඩරල් පාලන ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීමක් ලෙස සැලකිය නොහැකි” බව ප්‍රකාශ කළේය. එහිදී, ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (හෝ ෆෙඩරල් පක්ෂය) එක් “අරමුණක්” සහ “වෛෂයිකව” වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ පෙත්සම උසාවිය විසින් නිෂ්ප්‍රභ කෙරිණි.
ධනාත්මක ප්‍රතිචාරය
75 වැනි නිදහස් සංවත්සරය වන විට ජනවාර්ගික ගැටලුවට විසඳුමක් සෙවීමට අදහස් කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විශාලතම දෙමළ පක්ෂය වන (ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඇතුලත්) දෙමළ ජාතික සන්ධානය (TNA) ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇත. ගැටලුවට ෆෙඩරල් පදනමින් විසඳුමක් සොයන බව ඔවුන් පවසා ඇත. දෙමල ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් පෙන්වා දී ඇත්තේ ලෝකයේ ෆෙඩරල් ක්‍රමය පවතින රටවල් 25කට අධික සංඛ්‍යාවක් ඇති බවත්, ඔවුන් ඉතා එකමුතු බවත්, ලෝක ජනගහනයෙන් සියයට 40කට වැඩි පිරිසක් එම රටවල වාසය කරන බවත්ය. එක්සත් ජනපදය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ මැලේසියාව ෆෙඩරල් රාජ්‍යයන් සඳහා උදාහරණ වේ. ෆෙඩරල් රාජ්‍යයක ප්‍රධාන ලක්ෂණය වන්නේ පළාත් සභාවක් පාලනය වන ආකාරය වෙනස් කිරීමට මධ්‍යම රජයට නොහැකි වීමයි. පැහැදිලිවම ආණ්ඩුවට, අත්තනෝමතික ලෙස පළාත් සභාවක මැතිවරණය වසර 04ක් තිස්සේ කල් දමා, පසුව තමන් කැමති ආණ්ඩුකාරවරයකු හරහා එය මධ්‍යගතව පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැත.
අනෙක් අතට, 1950 ගණන්වල පටන් දෙමළ දේශපාලනය විසින් ‘ෆෙඩරල්’ ඉල්ලා සිටි කාලයේ සිටම, එය රටේ ජාතික ස්වෛරීභාවයට සහ ආරක්ෂාවට හානියක් ලෙස හඳුන්වමින් සිංහල දේශපාලනය විසින් එය ප්‍රතික්ෂේප කෙරිණි. ෆෙඩරල්වාදය වෙන්වීමේ පළමු පියවර විය හැකි බවට වැරදි වැටහීමක් ඇත. පැරණි සෝවියට් සංගමයේ සහ යුගෝස්ලාවියාවේ ෆෙඩරල් ඒකක බෙදීයෑම් ෆෙඩරල් රාජ්‍යයන් සඳහා උදාහරණ ලෙස පෙන්වාදී තිබේ. ඒකීය ආණ්ඩු ක්‍රමයකින් රට මේ ආකාරයට බෙදීමෙන් ආරක්ෂා වන බව සිංහලයාගේ ස්ථාවරයයි. කෙසේ වෙතත්, සුඩානයේ (දකුණු සුඩානයට බෙදීයෑම) සහ සර්බියාවේ (කොසෝවෝ) සිදු වූ පරිදි, රටේ වාර්ගික සබඳතා සාධනීය ආකාරයෙන් කළමනාකරණය නොකළහොත් ඒකීය රාජ්යයන් පවා බෙදී යෑමට හැකියාවක් ඇත. 2017 දී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වාදුන් ප්‍රබුද්ධ තර්කනය සහ එහිදී ලබාදුන් තීන්දුව දේශපාලන පක්ෂවලට සහ සාමාන්‍ය ජනතාවට පැහැදිලි කළ යුතුව ඇත.
18 වැනි සියවසේ සිටි ඉංග්‍රීසි කවියෙකු වූ ඇලෙක්සැන්ඩර් පෝප් සඳහන් කර ඇත්තේ,”ආණ්ඩුකරණයේ ආකෘති තෝරාගැනීම වෙනුවෙට, වැදගත් වන්නේ රජය ඉන් යහපත් ප්‍රතිඵල අත්කර ගනීද යන්නයි”(“For Forms of Government let fools contest whatever is best administered is best.”) යනුවෙනි. ශ්‍රී ලංකාවෙන් එපිට, මුහුදින් එපිට, විවිධත්වයෙන් යුත් දැවැන්ත රටක්, එකාබද්ධව එකට සිටින ආකාරය පිළිබඳව ලෝකයට හොඳ උදාහරණයක් ඇත. මේ වන විට එය ආර්ථික ශක්තියෙන් පමණක් නොව අන්තර්ජාතික මට්ටමෙන් ද ශක්තිමත් වෙමින් පවතී. ඉන්දියානු ආණ්ඩුකරණය සම්පූර්ණයෙන්ම ෆෙඩරල් හෝ සම්පූර්ණයෙන්ම ඒකීය නොවේ. එහෙත් ඒ ඒ තත්වයන් ඉල්ලා සිටින පරිදි දෙයාකාරයෙන්ම එය දැකගත හැකිය. සාමයේ කාලවලදී එය ෆෙඩරල් වේ. ආතති කාලවලදී එය ඒකීය විය හැකිය. 1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වී, පසුව 13 වැනි සංශෝධනයෙන් විකෘති කරන ලද විසඳුම මෙයයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක් පියවරක් ඉදිරියට ගොස්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා ගිය විසඳුමක් පිළිබඳව තමන් සාකච්ඡා කිරීමට සුදානමින් සිටි බව ප්‍රකාශ කළේය. වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හොඳම ගැලවුම්කරුවා ඉන්දියාව වන අතර, එයට අනෙකුත් රටවලට වඩා බොහෝ සෙයින් වැඩි යමක් ශ්‍රී ලංකාවට ලබාදීමට හැකියාව පවතී. ස්වකීය හැකියාවන් සහ අත්දැකීම් මත පදනම් වූ දේශපාලන විසඳුමක් වෙනුවෙන් ඉන්දියාවේ දේශපාලන සහාය ලබාගැනීම ඔස්සේ, සාර්ථක විසඳුමක් සොයාගත හැකි අතර, එමගින් ශ්‍රී ලංකාවට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සැබවින්ම එක්සත් ජාතියක් ලෙස ඉදිරියට යෑමේ හැකියාව පවතී.