Breaking News

මේ ඔක්කොම එකම හොද්ද හැඳිගාන බඩු

සමන්සිරි හේරත්

ගෝඨාභයට එරෙහි පිල දිනපතා වැඩිවෙමින් පවතී.තෙල් ඉන්ධන, කරන්ට් ගෑස්, පෝලින් 69 ලක්ෂය දිනපතා අඩු කිරීමට ප්‍රබල ලෙස බලපා තිබේ .වොයිස් කට් එකක් වෙනුවෙන් මයික් එකක් ඇල්ලුවොත් කතා කරන්නේ හැට නම ලක්ෂයෙන් එකෙකි . බනින්නෙ ආණ්ඩුවටය ..ගෙවුණු මාස දෙක තුන තුළ විද්‍යුත් නාලිකා වලට ලබාගත් වොයිස් කට් නිරික්ෂණය කර බැලුවොත් පෙනෙන්නේ වොයිස් කට් ලබාදෙන බහුතරය හැටනම ලක්ෂයෙන් එකෙක් බවයි . සැබැවින්ම මෙය ඇත්ත විය හැකිය .එසේ නොමැති නම් මේ මොහොතේ පවතින තත්වයට අනුව මාධ්‍ය සමාගම් අනිත් වොයිස් කට් හළා ආණ්ඩුවට බනින ඒවා පමණක් ප්‍රචාරය කරනවා විය හැකියි .

ගෙවුණු වසර දෙකක පාලන කාලය විමසිල්ලට ගත් විට ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ජනතාව තිබූ බලාපොරොත්තු සුන්නද්දූලි වී ඇති බව පෙනේ .වීර වෙස්වලාගත් පුස්සෙක් බවට ගෝටාභය ජනතාව ඉදිරියේ නිරුවත් වී සිටී. හෙට දවසේ නිදහස් සාධාරණ මැතිවරණයක් පවත්වන්නේ නම් ජනතාව ඉඳුරාම මේ ආණ්ඩුව ගෙදර යවනු ඇත.

ජේ. ආර් ගෙන් ආරම්භ වූ විධායක ජනාධිපති ධූරය හිමි විධායක ජනාධිපතිවරුන් අතර මේ ජනාධිපතිවරයා ඉතා සීඝ්‍රයෙන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු ප්‍රථම ජනාධිපතිවරයා ලෙස වාර්තා පොත් අතරට එකතු වෙනවා .ඉතාම කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත් ආණ්ඩුවක් වේ නම් ඒ ආණ්ඩුව ද වර්තමාන ආණ්ඩුව ම ය.

රට පසුවන්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක ය .

ලැජ්ජාව ඉවසා දරාගෙන බංකොලොත් රාජ්‍යයක් ලෙස ලංකාව අද අපිට හඳුන්වා දෙන්න සිදුවෙනවා .ජනතාවට පීඩාව දරා ගැනීමට බැරිම තැනට පත්ව සිටී .අත්‍යවශ්‍ය භාණ්ඩ හිගකම, එදිනෙදා ජීවිතය ගෙවා ගන්න බැරි තරමට බඩු භාණ්ඩවල මිල ඉහළ යෑම මේ පීඩාව ඉතා ඉක්මනින් පුපුරවා හරින්නට සමත් වන සාධකය වේ .

දැන් කසුකුසුව මතු වෙන්නේ මේ ආණ්ඩුව ගෙදර යවා අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමටයි.

එතනදි අප හමුවට පැමිණෙන ප්‍රශ්නය තමයි ගෝඨාභය ජනාධිපති, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවා අලුතෙන් එතනට පත්කර ගන්නේ කාවද කියන එක .

අපි ජනතාවගේ තේරීම් උපකල්පනය කළොත් .

1.සජිත් ප්‍රේමදාස කණ්ඩායම

2.මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායම

3.රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම .

4.දැනට වැඩි සද්දයක් නැතිව ආණ්ඩුවේ ම සිටිමින් ආණ්ඩුවට රහසිගතව විරෝධය පවත්වාගෙන යන යම් තීරණාත්මක මොහොතක විමල් වීරවංශලා සමඟ එකතු වෙන කණ්ඩායම.

5. දැනට එකතුවක් ලෙස පෙනෙන විමල් වීරවංශලා ඇතුළු මෛත්‍රිපාල සිරිසේන ඇතුළත් වන කණ්ඩායම

6.මැතිවරණයක් ආසන්නයේ යටිකූට්ටු උපක්‍රමයකින් කණ්ඩායමක් ඒකරාශී කරගෙන පැමිණිය හැකි යැයි සිතිය හැකි චම්පික රණවක ඇතුළු කණ්ඩායම

7.ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජන බලවේග කණ්ඩායම .

ඉහත උපකල්පන වලින් අවසන් එක හැර අනිකුත් සියලුම කණ්ඩායම් බලය ලබා ගත්තොත් රට ඉදිරියට අරගෙන යන්නේ වර්තමාන ආර්ථික සමාජ දේශපාලන ප්‍රතිපත්ති රාමුව තුළමයි .ඒ හෙයින් මේ අර්බුදය සමනය කිරීමට එම කණ්ඩායම් වල ජයග්‍රහණයක් ජනතාව බලාපොරොත්තු වන්නේ නම් ඉන් උරුම වන පිළිතුරද මේ මොහොතේ අත්දැකීමට සපුරා වෙනස් වූ එකක් නෙවෙයි .අඩු වැඩි වශයෙන් පවතින තත්ත්වයේ මුහුණ වෙනස් වූ එකකි .එහෙයින් ජනතාව කල්පනා කරන්නේ ගෝඨාභයගේ මුහුණ වෙනුවට, මහින්ද රාජපක්ෂගේ මුහුණ වෙනුවට, ඒ මුහුණු දෙක මාරු කර වෙනස් ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමට නම් ඉන් අත්වන සෙතක් ශාන්තියක් නොමැති .

ඊළඟ බලය ගනීවී යැයි අපි උපකල්පනය කළ කණ්ඩායම අවසාන කණ්ඩායම වන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජන බලවේග කණ්ඩායමයි . ඔවුන් රටේ බලය ලබා ගත්තොත් කුමක් සිදු වෙයිද? මේ කණ්ඩායමේ ආර්ථික ප්‍රතිපත්තියද ද පවතින ආර්ථික ප්‍රතිපත්තියෙන් වෙනස් අලුත් එකක් නොවන නිසා මත්, වංචාවෙන් දූෂණයෙන් තොර විශේෂණය යටතේ මේ ආර්ථික ක්‍රමය ම ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන එකක් නිසාමත්, ජන ජීවිතයේ සමානාත්මතාවය පතන ආකාර වෙනසකට භාජනය වන එකක් යැයි සිතීම නොහැකිය . වංචා දූෂණය අවම දියුණු ධනේශ්වර රටවල පවා මේ ආර්ථික සමාජ දේශපාලන ක්‍රමය තවදුරටත් ඉදිරියට ඇදගෙන යෑම දැන් කළ නොහැක්කක් බවට පත් වී තිබේ .

සුභසාධනය කපාහැරීම අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම .සෞඛ්‍යයය පෞද්ගලීකකරණය කිරීම ඇතුළු බොහෝ පොදුවේ පැවතිය යුතු දේවල් සීමාවන්ට යටත්ව සුළු පිරිසකට ලබා ගැනීමට හැකි වෙන පරිදි නිර්මාණය වෙමින් පවතී .

ජන බලවේගය ඇතුළු කණ්ඩායම යෝජනා කරන්නේ මීට දශකයකට පමණ ඉහතදී දියුණු ධනපති රටවල් ඇතුළු බටහිර රටවල් අනුගමනය කළ ප්‍රතිපත්තිය දශකයකට පසුව ලංකාව තුල ක්‍රියාත්මක කිරීමටයි .මෙම ධනේශ්වර ක්‍රමය යටතේ සුබසාධනවාදී ක්‍රමය තවදුරටත් සාර්ථක ක්‍රමයක් ලෙස මමත් වාදනය යෑමට හැකියාවක් නැත .එය කඩා වැටෙන බව නිදසුන් සහිතව දැන් අපට පැහැදිලි කර දී හමාර ය .පැහැදිලි කර දීම සිදු කරනු ලැබුවේ වෙනස් ක්‍රමයක් විසින් නොව මේ ක්‍රමය විසින්මයි .

එහෙයින් වර්තමාන ආණ්ඩුවත් ගෝඨාභයවත් පලවාහැර ජන බලවේග ප්‍රතිපත්තියට පක්ෂව ජනතාව රටේ පාලනය භාර දුන්නොත් ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණ සමාජ ජීවිතය ඉතා කෙටි කලක දී ම අර්බුදයට යෑමට නියමිතය .මක්නිසාදයත් ඔවුන් යෝජනා කරන්නේ සුබසාධනවාදී ධනපති පන්තියට නාස් ලණුව දමා ගෙන යන ක්‍රමයකි . එය මේ සමාජ ක්‍රමය ඇතුලේ කළ හැක්කක් නොවේ. එය තාවකාලික සහනයක් ගෙන දී සදාකාලික මං මුලාවේ වැටීමකි.

එසේනම් දැන් ජනතාව නිකම්ම සිටිය යුතුද? උනුත් එකයි, එන්න ඉන්න උනුත් එකයි, ඇවිත් කරන්නේ එකම දේ යි කියමින් ජනතාව නිකම්ම සිටිය යුතුද?

ජනතාව කළ යුත්තේ ජනතා බලයක් ගොඩනඟා ගැනීමයි .

ආණ්ඩු පිහිටවන්නට ආණ්ඩු පෙරළන්න අවශ්‍ය ජනතා බලයක් ගොඩනැගීමයි .පාර්ලිමේන්තුවකට තෝරා යවන කණ්ඩායමකට රටේ ජනතාවගේ පාලනය භාර දීල පැත්තකට වෙලා ඉන්න ක්‍රමය වෙනුවට ජනතාවගේ උවමනාවන් සපුරාලන්නට අපොහොසත් වන කණ්ඩායම පළමු මොහොතෙන් බලයෙන් පහ කර යැවීමට අවශ්‍ය කරන ජනතා බලයක් ගොඩනඟා ගැනීමයි .ඒ වෙනුවෙන් අවශ්‍ය කරන දේශපාලන වෙනස්වීම, නීතිමය වෙනස් වීම, ජනතාව විසින් තම බලයෙන් නිර්මාණය කළ යුතුය. දේශපාලකයාට ලබා දෙන බලය තමන් සන්තකයේ තබාගෙන දේශපාලකයා ලවා වැඩ ගැනීමේ බලයක් නිර්මාණය කිරීමයි.මේ ඉන්න කණ්ඩායම ජනතාව පීඩාවට පත්කරන බව පවසා පලවා හරින්නේ නම් ජනතාව අනිවාර්යෙන්ම තමන් අතට මේ බලය හුවමාරු කර ගැනීම කළ යුත්තක් ම ය .එහෙයින් ජනතාව කළ යුත්තේ දේශපාලනය කිරීමයි .

leave a reply