Breaking News

දුප්පතුන් මිය යද්දී Coved-19 වසංගත කාලයෙත් කෝටිපතියන් ප්‍රකෝටිපතියන් වෙයි

තීමස් විජිත්

කෝවිඞ් 19 වසංගතය විසින් මේ වන විටත් මිලියන සිය ගණනක් ජනයා දුගීභාවයට පත් කර ඇති නමුත් ඒ අතරම, සුපිරි ධනවතුන් සිය ගණනක් අධි පොහොසතුන් බවටද පත්කර ඇත. විශාල බහුජාතික සමාගම්වල ගණකාධිකාරී උපදේශන ආයතනයනක් වන ප‍්‍රයිස් වෝටර්හවුස් කූපර්ස් සහ ස්විට්සර්ලන්ත බැංකුව විසින් මෑතකදී ප‍්‍රකාශයට පත් කරන ලද “Riding the storm” සමීක්ෂණ වාර්තාවට අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 2,189 දෙනෙකුගේ ධනය අප්‍රේයල් ආරම්භයේ සිට ජූලි දක්වා ඩොලර් බිලියන 8000 සිට ඩොලර් බිලියන 10.200 දක්වා ඉහළ ගොස් තිබේ. (මේ කොරෝනා වසන්ගතයට ගොදුරුවී මිලියන ගනනින් ජනයා මිය යමින් සිටි අවධියයි)

මානව ඉතිහාසයේ දැවැන්තම ආර්ථික, සමාජීය හා සෞඛ්‍ය නැගිටීම් වල උපරිමය ගෙන බැලූවිට ලෝක යුද්ධ දෙක ගණන් නොගන්නේ නම්, ඔවුන්ගේ ධනය පසුගිය මාස හතරකටත් අඩු කාලයකදී සිත් ඇදගන්නා සුළු හා මායාකාරී ලෙස හතරෙන් පංගුවකින් වර්ධනය වී තිබේ. 2017 අවසානයේදී ඩොලර් බිලියන 8,900 ක් වූ ඒ ධනය 2019 දී සහ විශේෂයෙන් 2020 මුල් මාසවල සැලකිය යුතු අඩුවීමකට ලක්ව පැවතිය නමුත් අවසන් මාස කීපයේදී මහ බැංකු සහ රජයන් විසින් ද්‍රවශීලතාවයේ ගංවතුර මුදා හැරීමත් සමඟ එහි සුවිශාල වර්ධනයක් සිදුවිය.

(ධනවාදයේ නවතම උපාය මූල්‍ය වෙළඳ පොළ)

මෙම බහු ප‍්‍රකෝටිපතියන් අතර, නව තාක්ෂණ ක්ෂේත‍්‍රයේ අය කැපී පෙනෙන අතර, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ 42.5% ක වැඩිවීමක්, තොරතුරු තාක්ෂණය ක්ෂේත‍්‍රයේ 50.3% ක වැඩිවීමක් සහ නියත වශයෙන්ම අන්තර්ජාල විකුණුම් ඒ අතර වේ. භූගෝලීය වශයෙන් ගත් කල චීනයේ 1,146% කින්ද, ප‍්‍රංශයේ 439% කින් සහ එක්සත් ජනපදයේ 170% කින් ඉහළ ගොස් තිබේ.

වර්ධනය වෙමින් පවතින සුපිරි ප‍්‍රකෝටිපතියන්ගේ ධනය (ට‍්‍රම්ප්ගේ ධනය අඩු වුවද) මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන ඔක්ස්ෆෑම් ඇස්තමේන්තු කර ඇති පරිදි ලොව මෙගා බිලියනපතියන් 2000ක් මුළු ගෝලීය ධනයෙන් 60ක පංගුවක් අත්පත් කරගෙන සිටී. ලෝක ජනගහනයෙන් අඩකට වඩා වැඩි බිලියන 4යි මිලියන 560 ක ජනතාවගේ ධනයට වඩා විශාල ධනයක් ඔවුන් අත්පත් කරගෙන සිටී. 2020 දී පෘථිවියේ විශාලතම බහුජාතික සමාගම් 32ක ලාභය ඩොලර් බිලියන 109 කින් වැඩි වනු ඇති බව ඔක්ස්ෆෑම් පවසයි.

(නව ලිබරල් ධනවාදය විසින් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සියලූ සම්පත් වලට ප‍්‍රවේෂවීමේ ඉඩකඩ සදාගැනීමේ ප‍්‍රතිඵලය)

එක්සත් ජනපදයේ ධන කුවේරයන්

ප‍්‍රතිපත්ති අධ්‍යයන සඳහා ඇමරිකානු ආයතනයට අනුව, 2020 මාර්තු සිට ඔක්තෝබර් දක්වා එක්සත් ජනපදයේ ධන කුවේරයන් 44 කගේ ධනය ඩොලර් බිලියන 931 කින් වැඩි විය. උදාහරණයක් ලෙස, ඇමේසන් හි ප‍්‍රධාන විධායක ජෙෆ් බෙසොස්ගේ පෞද්ගලික ධනය ඩොලර් බිලියන 193 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය මාස හතකදී 70% ක වැඩිවීමක් වන අතර ටෙස්ලා ස්පේස්එක්ස් නම් තාක්ෂණික අධිරාජ්‍යයේ ප‍්‍රධානියා වූ එලොන් මස්ක් බිලියන 91 ඉක්මවා ඇති අතර එය 273% ක වැඩිවීමකි.

එලොන් මස්ක්ගේ ධනය ඩොලර් බිලියන සියය ඉක්මවා ගියේය

කෙසේ වෙතත්, විශාලතම ඇමරිකානු බැංකු හතර වන ජේ . පී. මෝගන් චේස්, ඇමරිකානු බැංකුව, සිටිගෲප් සහ වෙල්ස් ෆාගෝ හි කොටස් මිල මාස 12 කට පෙර පැවතියේ 20-50% ට වඩා අඩු මට්ටමක බව සැලකිල්ලට ගැනීම වැදගත් වේ. එය බැංකු පද්ධතියේ බරපතල ගැටළුවක් වුවත් මේ වන විට වඩාත්ම වැදගත් සමාගම් වල කොටස් හුවමාරුව ඉතා කෘතිමව ප‍්‍රාග්ධනීකරණයේ ඉහළම මට්ටම්වල පවතී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ නවතම “The world economic outlook” ලෝක ආර්ථික දැක්ම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ කෝවිඞ් විසින් පෙර නොවූ විරූ ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති කළ බවයි. ඒ අනුව 2020 දී සුවිශේෂී ගෝලීය ආර්ථික හැකිලීමක් ඇති කරන බවත් පිළිගනී. මහ බැංකු විසින් ඩොලර් ට්‍රිලියන 7.5 ක ද්‍රවයශීලතාවයක්, ඩොලර් ට්‍රිලියන 12 ක රාජ්‍ය මූල්‍ය උත්තේජක සහ සියලූ රජයන්ගෙන් විවිධාකාර ආධාර ලබා දී ඇති බව අගය කරන අතරම, ජා.මූ.අ දැවැන්ත ණය බුබුලේ ප‍්‍රවණතාවයට බිය වේ. ඒ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ සමාගම්වල ඊනියා ආයතනික ණය යන කරුණ සැලකිල්ලට ලක්කරද්දීය.

නිසැකවම, දුක් විඳීමට සිදුවන්නේ දුර්වලම හා වඩාත්ම අවදානමට ලක්විය හැකි ජනතාවටයි. රැකියා අහිමිවූ මිලියන සංඛ්‍යාත ජනතාව සහ ඊනියා දියුණු රටවල බංකොලොත් වීමේ අවදානමට ලක්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්. බිඳවැටීමට හා බංකොලොත්භාවයට මුහුණ දෙන බොහෝ දුප්පත් රටවල් ගැන සිතීමද බිය උපදවන සුලූය.

ලෝක බැංකුවේ ගනන් බැලීම

ස්වල්ප දෙනෙකුගේ ධනය වැඩිවීම නොවැළැක්විය හැකි ලෙසම ලෝකයේ දරිද්‍රතාවයේ අද්විතීය වර්ධනයට හේතුවේ. වසර 20 කට පසු ප‍්‍රථම වතාවට 2020 දී අන්ත දරිද්‍රතාවයේ අද්විතීය වැඩි වීමක් සිදුව ඇති අතර එය ලෝක ජනගහනයෙන් 9% කට බලපානු ඇතැයි ලෝක බැංකුව ගණන් බලා තිබේ. එක් පුද්ගලයෙකුගේ ආදායම දිනකට ඩොලර් 1.90 ට වඩා අඩු නම් එය අන්ත දරිද්‍රතාවය ලෙස අර්ථ දැක්වේ.

2020 වසරේ සාම නොබෙල් ත්‍යාගය දිනාගත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන බිය පලකර ඇත්තේ බයිබලානුකුල අනුපාතවලින් සාගතය ඇතිවීමේ අවදානම පිළිබඳවය. ඔවුන්ට අනුව, මේ වසරේ මිලියන 7 ක ජනතාවක් කුසගින්නෙන් මියගොස් ඇති අතර, කොවිඞ් මරණ ගනනය නොකල විට එම සංඛ්‍යාව ඉදිරියේදී 5 ගුණයකින් වැඩි විය හැකි බව පවසයි. සැබවින්ම කුසගින්නෙන් පෙළෙන අයගෙන් 60% ක් හමුදා ගැටුම් ඇති ප‍්‍රදේශවල සිටින බව පුදුමයක් නොවන අතර සහෙල් සිට මැද පෙරදිග දක්වා මිලියන 500 ක ජනතාවක් එවන් අස්ථාවර ප‍්‍රදේශවල ජීවත් වන බව අපට මතක් කර දෙයි. (දෙවන ලෝක යුද්ධයෙන් පසු නව යටත්විජිත සූරාකෑමට සහ බලවතුන්ගේ යුධවුවමනාවන් සඳහා අනුබල දුන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයම නොවේද?)

සාගින්න පිළිබඳ තර්ජනය ගැන එක්සත් ජාතීන්ගේ අදහස

සාගින්න පිළිබඳ තර්ජනය ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද අනතුරු අගවා තිබේ. විශේෂයෙන් අප‍්‍රිකාවේ බොහෝ ප‍්‍රදේශවල නිෂ්පාදකයින්, බෙදාහරින්නන් සහ පාරිභෝගිකයින් කෙරෙහි ලොක්ඩවුන් තත්වය ඉතා අහිතකර ලෙස බලපා ඇති බව ඔහු පවසයි. අනෙක් අතට අප‍්‍රිකාවේ ආහාර වලින් 80% ක් පමණ දේශීයව නිපදවනු ලබන බවත් එය ධනාත්මක තත්වයක් නමුත් එය පවතින්නේ සාමය හා ස්ථාවර කාලයක් තුළ පමණක් බවත් පවසයි. යම් හෙයකින් එම කලාපයේ සාමය හා ස්ථාවරත්වය බිඳ වැටුනහොත් ආහාර අනාරක්ෂිතතාවයට හා වෙනත් ආකාරයේ සමපේක්ෂන සමග සංයෝජනය වීමෙන් මිල ගනන් ඉහළ යාමට මුහුණ දීමට සිදුවේ. මෑත මාසවලදී උප සහරා හි බොහෝ රටවල මූලික ආහාර ද්‍රව්‍යවල මිලෙන් 15% ක් පමණ උද්ධමනයක් සිදුව තිබේ.

අවාසනාවන්ත ලෙස සියලූ දත්ත මහාද්වීප, රටවල් සහ ජනයා අතර නොවැලැක්විය හැකි ලෙස වර්ධනය වන අසමානතාවයන් සනාථ කරයි.
අපේ කතාව පටන් ගන්නේ එතැන් සිටය. මෙම බොහෝ සංවිධාන දත්ත විශ්ලේෂණ සංවිධාන පමනක් නොවේ. ඒවා බොහොමයක් මේ සියල්ලේ වර්ධනයට එක එල්ලේ වගකිව යුතු සංවිධාන වේ. මේ කුසගින්න, සාගතය, අසමානතාවය වර්ධනය කරන හා පවත්වාගෙන යාමට අවශ්‍ය මැදිහත්වීම් සහ යටිතල පහසුකම් සපයන්නේ ඔවුන් විසින්මය.

ඔවුන්ගේ විශ්ලේෂණයේදී එසේ විය හැකි බව සහ එය වෙනස් විය යුතු බව ප‍්‍රකාෂ කලත් එසේ වීමට සැබෑ හේතුව හා එය විසඳීමට ගතයුතු සැබෑ කි‍්‍රයාමාර්ග කිසිවක් ගැන කතා කරන්නේ නැත. හිතා මතාම ඔවුන් එය මග හරින්නේ ඒවායෙහි සැබෑ වගකිව යුත්තන් තමන් බව හොඳින්ම දන්නා නිසාය. තව දුරටත් ඔවුන්ගෙන් විසඳුමක් පැතීම නිෂ්ඵල කාර්යයක් බව අප තේරුම් ගත යුතු වෙමු. සියල්ල අහිමිවී තිබෙන්නේ අපටය. මේ වසන්ගත, යුද්ධ, අර්බුද සියල්ල හමුවේ ධනය ගොඩ ගැසී තිබෙන්නේ ඔවුන් අතය. එසේනම් ඔවුන් කුමට මෙය වෙනස් කරන්නද? සිතා බැලිය යුත්තේ කි‍්‍රයාමාර්ග ගත යුත්තේත් අප අපමය.

දෙස් විදෙස් සියලූ පාලකයින් මේ ක‍්‍රමය තුල අප ගෙනත් දමා තිබෙන්නේ මෙවන් ඉරණමක් වෙතටය. කතිර ගසා පාලනය බාරදී අපි වෙනුවෙන් අපේ ගැටලූ විසඳාවියැයි බලා සිටියත් සිදුව තිබෙන්නේ අනෙකකි. ලංකාවේ අපි මේ මොහොතේ මුහුණ දෙන ආර්ථික අර්බුදය, කොරෝනා වසංගතය, පරිසර විනාශය මේ එකකටවත් පාලකයන්ට උත්තර නැත. සංදර්ශණ නාටක රග දැක්වීම් අවසානයේ සිදු වන්නේ රට විකුනණ, පරිසරය විනාශ කරන, අහක යන මර උගුල්වල රට පටලවා ජනයා අසරණ කිරීම හා අවසානයේ සියලූ බයිලා පරදවමින් කොරෝනා සමාජගතවී අසරණ ජනතාවගේ ජීවිත බිළිගැනීමයි. ඒ නිසා දැන්වත් අප මෙයට ඇත්ත හේතුව තේරුම් ගත යුතුය.

නව සාමාන්‍ය

කවුරුත් කතා කරන පැරණි සාමාන්‍යයේ ජීවත්වීමට දැන් ඉතින් අපට ඉඩ ලැබෙන්නේ නැත. ඒ නිසා අප කවුරුත් නව සාමාන්‍ය යටතේ ජීවත්වීමට හුරුවිය යුතුය. එසේනම් නව සාමාන්‍ය වචනයේ අර්ථයෙන්ම අලූත් විය යුතුය. ඉහත දත්ත පෙන්වා දෙන ආකාරයට නව සාමාන්‍ය සාගින්න වර්ධනය කරන ගමන් ධන කුවේරයන් අත ධනය ගොඩගසන්නේ නම් එය නව සාමාන්‍ය ලෙස අප බාරගත යුතුද? නොඑසේනම් නව සාමාන්‍ය යනු ප‍්‍රතිලාබ සාධාරණ ලෙස බෙදී යන තත්වය බව අප අවධාරණය කල යුතු නොවෙමුද? එසේනම් අප ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ඒ වෙනුවෙන් අරගළ කල යුතුය. නොඑසේනම් මුලූ මානව සංහතියම විනාශ කරමින් ඔවුන් තව තවත් ලාභ කඳු ගොඩ ගසනු ඇත.

 

leave a reply