Breaking News

ඒ සිහින් ගී නද’- ජයතිලක කම්මැල්ලවීර

චූලානන්ද සමරනායක

සිය දිවිසැරියෙහි දශක හතාටක් සම්පූර්ණ කල වියපත් තරුණයෙක් ආපසු හැරී ශේෂ පත්‍රය විමසයි. ලාබ පාඩු දෙකින්ම නොඅඩු එහි විවිධ සටහන් හී ඇත්තේ මෙතෙක් තම දිවි පැසෙහි පුරවාගත් අත්දැකීම් වල පැහැයන්ය. විටෙක ඒ සිත සනහන මුදු පැහැයකි. තවත් විටෙක ඒ සිත දවන තද පැහැයකි. මේ පැහැය කවරක් වුව ඒ සැම පැහැයකින්ම කියවෙන්නේ හෙතෙම මේ තාක් තබා ආ පියවරයන්හී බර ගැනය. එසේම ඒ බර පියවරයන්හී සැහැල්ලුව ගැනය. විටෙක හේ වියපත් සන්සුන් බවකින් ලොව බලන නිරීක්ෂකයෙකි. එ සැණින් ඔහු තුළ සිටින සෙනෙහෙබර මුත්තණු කෙනෙකු අවදි වෙයි. යලි අපට හමුවනුයේ සොබා දහම ඇසුරින් ලෝ තතු තාර්කිකව විමසන්නට තැත් දරනා ගවේෂකයෙකු ගේ මුහුණය. ඒ සමගම පරණ අරගලකාරයෙකු තුළ වූ විවේචනාත්මක බැණ නැගීමද අපට අසන්නට හැකිය. මෙසේ විවිධාකාරයේ ස්වරයන් අවදි කරමින් ඔහු අපට ගෙන එන්නේ තමන් ජීවිතයෙන් ලද පන්නරය තුළ ශේෂ කරගත් නිමේෂයන් මය.

ඔහුට හිමි ජීවිතය නැතිනම් පුරුදු ජීවිතය දැන් අහෝසිව ගොසිනි. ඒ සමාජ විපරිණාමයක පලයන් ලෙස ඉතිරි වූ ජීවිතයකි. ඔහු අරගල කළේ එවන් ජීවිතයකට නොව මිනිසා තවත් මිනිසකුට ආදරය කරනා උත්තර සමාජයක් බිහි කරන්නටය. එහෙත් තාක්ෂණය මිනිසා වහලකු බවට ගන්නා නූතන කොල්ලකාරීත්වය තුළ ඔහුට පමණක් නොව අපටද ජීවිතය යනු දිනෙන් දින හැකිලෙන ගෝණි කඩමාල්ලක් මෙනි. අපේ දවස යනු ආම්පන්න කිහිපයක සහ බෙහෙත් පෙති කිහිපයක් අතර ගෙවෙන්නක් පමණි. ජීවිතය සැබැවින්ම අපට අහිමිය. ඔහුගේ මේ කවිය පවසනුයේ ඒ ජීවිතයේ අ්නුරු පැහැය ගැනය. එසේම ඒ යටින් දිවෙනුයේ නැවත සැබෑ ජීවිතය අල්ලා ගැනීමට ඇති උද්වේගකර ආශාවම නොවේද?

ලැප් ටොප් කොම්පියුටරය
ජංගම දුරකථනය
මේස ලාම්පුව
මේ දවස්වල කියවන පොත
දහවලේ තැපෑලෙන් ආ ඇරයුම් පත්
බෙහෙත් මල්ල….
අද මගේ ජීවිතය තිබේ
කුඩා මේසය මත

අප මේ කවියෙහි එන වදන් සීරුවෙන් විමසා බැලිය යුතුය. ජීවිතය ඇත්තේ මේසයක් මත නොව කුඩා මේසයක් මතය. මේ කුඩා යන විශේෂණය මේසය සමග යෙදෙන විටම ඉන් ඇඟවෙනුයේ ජීවිතය පටුවී ඇති සීමාවම නොවන්නේද?

එපමණක් නොවේ ජීවිතය යනු නොනිමි වන්දනාවකි. ඒ දිගින් දිගටම රැවටෙමින් කරනා වන්දනාවකි. එය නොපෙනෙන දෙවියන් වන්නට හැකිය. එසේම පෙනෙන දෙවියන්- වඩාම නිවැරදිව කිවහොත් දෙවියන් යයි පුදනා තක්කඩින් විය හැකිය. මේ කවරකු වුව මිනිසා තම විශ්වාසයන් මත නොවෙනස්ව පුදනු හැර තාර්කික ඥානයට ඉඩ නොදෙයි. මහා කුණාටු වලින් සියළු දේපල සහ ජීවිත වැනසී යද්දීත් ඉතිරි වන බුදු- දෙව් රූ ගැන ආනන්දයෙනක් පසුවන්නා මෙන්ම තමන් සැබැවින්ම හොරා යයි කියූවද නෑ ඒ අපේ බෝසතා යයි කියමින් දේශපාලුවා වන්දනා කරනා මිනිසාද අතර කිසිදු වෙනසක් නැත. කියවන්න කම්මැල්ලවීරගේ නොනිමි වන්දනා කවිය- පිටුව 17.

ඔහු කියයි අපට
පිලිගන්නම ඕනෑ නෑ මේ වදන්
එහෙත් සවන් දෙන්න හො‍ඳින්
සවන්දීම ප්‍රගුණ කරන්න
එය අවශ්‍යයි යහපත් සමාජයක්
ගොඩනගන්න

සවන්දී හි්ඳිමි මම
මහත් සැලකිල්ලෙන්
වචනයක් වරදින තැනක් අල්ලා ගන්න
රිදෙන්න දෙන්න ඔහුට

විචාර බුද්ධිය වෙනුවට විකාර සද්දය පවත්වා ගන්නට පුරුදු වූ මිනිස් අහිනක වෙත ගෙනෙන මේ විවේචනය අපට නොසලකා හැරිය හැකිද?

කම්මැල්ලවීර ගේ කවි අතර සිතට දැනෙන තවි කිහිපයක්ම රචනාවී ඇත්තේ වියපත් අවධියෙහි සංවේදනයන් පිළිබඳවය. ඔහු වරෙක ඒ මහළු විය සසඳන්නේ ජීවී ලෝකයේ වෙන් වියපත් ජීවීන් සමගිනි. ඉන් මේ සංවේදනයන්හී බර තවත් වැඩි වෙයි.

දෑස් අඳ වියපත් කුරුල්ලා
ඉවට දෝ ඉගිල විත්
හැපී සුදු බිත්තියේ
වැටුණේය සිහිසුන්ව

අද්දමින් බෙහෙත් තෙල් ගැල්වූ දෙපා
හෙමිහිට ඇවිද ආ ඇය
බලා හිඳ කම්පාවෙන්
කොඳුරනු ඇසෙයි
‘අනේ පව්”

මේ ඔහු වානිජකරණය මැද ගොදුරු බවට පත් අපගේ ජීවිතවල පොදු සාධකය සොයාගන්නා ආකාරයයි.

විටෙක
තුටුපහටු බස් දොඩන මිතුරන් මැද
සිනා රැළි ඇදී යයි
ඉදිරි දොරෙනුත් එළියට
විටෙක
තකිව පාළුවේ යහන මත
සුසුම් ගුලි හැපෙයි
කුටියේ බිත්ති මත

ඔහුගේ කවි එකතුවෙහි එන කවියක් නොවන සිතුවිල්ලක් යන කවිය ලෝකය වෙනස් කිරීමට අරගල කළ කරනා සියළු දෙනාටම දීර්ඝ සංවාදයක් සඳහා ඇරයුම් කරනා නිර්මාණයකි. මෙතෙක් නිම නොවූ පශ්චාත් මරණ පරීක්ෂනයක් අතරේ සැබැවින්ම අප පැතූ ලෝකය නියෝජනය කල කඳවුර බිඳ වැටීමත් ඊට අදාල හේතු විමසීමත් වැදගත් වන අතරම අපට සැබැවින්ම අහිමිව ගිය යුගයක වේදනාව පල වෙන ඒ කවිය හෙට දවසේ දේශපාලනයේදී අපට සැලකිල්ලට ගත යුතු කරුණු ගණනාවක් ඉදිරිපත් කරයි.

කම්මැල්ලවීරගේ මේ සංක්ෂිප්ත කව වර්තමාන සමාජයට තම නිරුවත දකින්නට කරනා ඇරයුමක් නොවන්නේද?

කඩෙන් ණයට ගත්
මල්වෙඩි
අහසට යවමින්
උදම් අනයි
වැඩිහිටියෙක්

 

leave a reply