Breaking News

ගණිකා වෘත්තීය නීතිගත කළයුතුද?

සුහන්සා පෙරේරා

මේ දවස්වල ලිංගික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් නැවතත් සංවාදයක් මතුවෙලා තියෙනවා. එයට හේතුව ජාතික ජන බලවේගයේ කාන්තා අංශය නියෝජනය කරන සමන්මලී ගුණසිංහ ගණිකා වෘත්තීය නීතිගත කළ යුතු බව පැවසීම සහ පසුව එම පක්ෂයේ වෙනත් අය විසින් එවැනි දෙයක් නොකරන බවට වන ප්‍රකාශයයි. ඉන්පසු ලිබරල් ලෝකයේ බොහෝ දෙනෙක් මේ පිළිබඳ අදහස් දක්වන්න පටන් ගත්තා. ඒ අතරින් ඉදිරියෙන්ම හිටියේ චින්තන ධර්මදාස.

මේ සියලු දෙනාගේ ප්‍රකාශ හරහා පැහැදිලි වෙන එක කරුණක් තමයි මෙම ප්‍රශ්නයේ ඇත්ත ස්වභාවය සම්බන්ධයෙන් ඔවුන් දක්වන තක්කඩිකමේ ස්වභාවය.

චින්තන ධර්මදාසට අනුව මෙම ප්‍රකාශය ඉල්ලා අස්කරන ගැනීම ජාතික ජන බලවේගයේ පසුගාමීකම. ඔහු කියනවා හොඳ ඉපැයීමක්, ආරක්ෂිත රැකියාවක් විදිහට ගණිකා වෘත්තිය පවතිනවා නම් බොහෝ අය මේ වෘත්තියට ඇලුම් කරාවිලු. ‘කෙනෙකුට කියන්න පුළුවන් කුණු ලොරියෙ රැකියාව වුනත් කිසි කෙනෙක් කැමැත්තෙන් කරන්නෙ නෑ කියල.’ ඔහු කියනවා.

එතකොට අපිට ප්‍රශ්න කිහිපයක් මතුවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගයට ඇති ප්‍රශ්නය පසුගමිත්වයෙන් මිදෙන්න බැරිවීම විතරද? අනික ගණිකා වෘත්තීය නීතිගත කරන්න ඕනා කියන චින්තන ධර්මදාස ඉදිරිගාමිද?

ලෝකයේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් සම්බන්ධ සාකච්ඡාව මතුවෙලා බොහොම කාලයක්. එහිදී මතුවූ ප්‍රධාන කාරණා වෙන්නේ ලිංගික ශ්‍රමිකයන් මුහුණ දෙන නීතිමය සහ හා සමාජ පීඩාව. මේ පීඩාවට හේතු කිහිපයක් හදුනාගෙන තියෙනවා. එයට ප්‍රධාන හේතුව මෙම සේවයේ යෙදෙන්නන් බොහොමයක් කාන්තාවන් වීමයි.

කාන්තාවක් විවාහයෙන් පිට ලිංගික සබඳතා පැවැත්වීම ලෝකයේ ආගමික සංස්ථා අනුමත කරන්නේ නැහැ. එයට හේතුව මම ක්‍රමය පවත්වාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක පවුල යන සංකල්පය රැකගැනීම. පවුල රැකගැනීම නම් ඇයව පවුල තුළ සිරකර තබා ඇයට තම සැමියාට පමණක් ලිංගික සේවා සැපයීමට බල කළ යුතුයි. ලිංගික ශ්‍රමික වෘත්තීය ඕනෑම සංස්කෘතියක් ඇතුලේ මේ තරම් ගැරහුම් ලැබීමට හේතුව එයයි.

ඊළඟට චින්තන මේ කියන රැකියාවට ඇති කැමැත්ත ගැන හිතලා බැලුවොත් අපි බොහෝ දෙනෙක් කැමැත්තෙන් රැකියා කරන්නෙ නෑ. එයට හේතුව රැකියාවෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභ නොලැබීම වගේම එය විසින් අපේ ජීවිත ඒකාකාරී බවකට තල්ලු කර දැමීම. නමුත් ලිංගික ශ්‍රමිකයෙකුට තිබෙනවා තවත් ප්‍රශ්නයක්.

පිරිමි ලිංගික ශ්‍රමිකයනුත් සිටින නමුත් ලෝකයේ ලිංගික සේවා සපයන බහුතරය කාන්තාවන්. මේම ගනුදෙනුවේ දී දෙපැත්තට හුවමාරු වන්නේ මොනවාද? පාරිභෝගිකයාගේ පාර්ශ්වයෙන් ඔහු තෘප්තිය සහ ආශ්වාදය ලබා ගන්නවා. ලිංගික ශ්‍රමිකයා ඒ ආශ්වාදය සැපයීම වෙනුවෙන් මුදලක් ලබා ගන්නවා. මෙහිදී සිදුවන්නේ පුරුෂයාගේ තෘප්තිය සඳහා වූ හුදු වස්තුවක (Object) තත්වයට කාන්තාව පිරිහෙළීමයි. මේ සම්බන්ධය තුළ කාන්තාව සහකරුවෙකු සමඟ ලිංගික ආස්වාදය බෙදා ගන්නා සජීවී මනුෂ්‍යයෙක් නොව පාරිභෝගික පුරුෂයාගේ ආස්වාදය සඳහා පාවිච්චි වන වස්තුවක්. උපකරණයක්. මෙතැනදී අපට මිනිසුන් දෙදෙනෙක් අතර මානව සම්බන්ධයක් වෙනුවට පාරිභෝගිකයෙක් හා වස්තුවක් අතර නිර්මානුෂික සම්බන්ධයක් මුණ ගැසේ. කාන්තාව හුදු උපකරණයක තත්ත්වයට පිරිහෙළන මෙම වස්තුකරණය විසින් කාන්තාවගේ මනුෂ්‍යභාවය ඇයට අහිමි කරනු ලබයි. මේ අනුව ගණිකා වෘත්තිය යනු කාන්තා ශරීරය වෙළඳ භාණ්ඩකරණය වන සහ වස්තුකරණය වන ඇයගේ මනුෂ්‍යභාවය ඇයට අහිමි කරන අවමානුෂික ක්‍රියාවලියක් බව පැහැදිලියි.

එසේම විදේශිකයන් සඳහා සේවා සපයන පුරුෂ ලිංගික ශ්‍රමිකයන්ද අපේ රට තුළ සිටියි. ඔවුන් මෙම වෘත්තීන්වල කැමැත්තෙන් යෙදෙන බව අප කතා කරනවා මෙන්ම ඔවුන්ගේ කැමැත්ත නිර්මාණය වී ඇති පසුබිම අප අමතක කළ යුතු නැත. ලිංගික ශ්‍රමික වෘත්තීය සඳහා පැමිණෙන බහුතරක් කාන්තාවන් සමාජය පතුල නියෝඅජනය කරන්නන් වේ.

ඇය එවැනි තීරණයක් ගන්නේ ආර්ථික පීඩනය විසින් ඇයට බලකරනු ලබන තත්ත්වයක් මතයි. සරලව පැවසුවහොත් සමාජය පතුලේ සිටින ස්ත්‍රියකට ආධ්‍යාපන අවස්ථා අහිමිවූ ස්ත්‍රියකට හොඳ වැටුපක් සහිත රැකියාවක් යනු සිහිනයකි. එසේම සංක්‍රාන්ති ලිංගිකයන් විෂයෙහි තවත් විශේසහ්ට්වයක් පවතියි. ඔවුන්ගේ ලිංගික දිශානතිය හේතුවෙන් අපේ රටේ කිසිදු රැකියාවකට ඔවුන් බඳවා ගන්නේ නැත. රැකියාවකට යාමට අවශ්‍ය නම් ඔවුන් තම ලිංගික අනත්යතාවය වෙනස් කරගත යුතුය. ඔවුන් සඳහා ඇති එකම විකල්පය වී ඇත්තේ ලිංගික ශ්‍රමිකයෙකු ලෙස ජීවිතය ගැට ගසා ගැනීමයි. අප කළ යුත්තේ ආර්ථික වශයෙනුත් ලිංගික වශයෙනුත් සූරාකෑමට ලක්වන, වෙළඳ භාණ්ඩකරණයට සහ වස්තුකරණයට ලක්කරනු ලැබ ස්වකීයත්වය අහිමි කරනු ලැබ සිටින ස්ත්‍රීන්ට (ලිංගික ශ්‍රමිකයන්ට) අදාළ එම සූරාකෑම තවදුරටත් කරගෙන යාමට පහසුකම් සැලසෙන විදිහට එම ක්‍රියාදාමයට නීතිමය පිළිගැනීම් ලබා දිය යුතු බව කීම නොවේ.

සටන් කළ යුත්තේ එම අවමානුෂිකකරණ ඉරණමෙන් සමාජය සහ ස්ත්‍රිය විමුක්ත කර ගැනීම සඳහාය. ඒ සඳහා අභිමුඛ විය යුත්තේ අසමානතාවය ආයතනගත වී තිබෙන සමාජ ව්‍යුහය සමඟය. එහෙත් එවැනි වුහත්මක වෙනසක් යනු ඉතා දීර්ඝ කාලින ක්‍රියාවලියක ප්‍රතිපලයකි. එසේනම් එතෙක් ලිංගික ශ්‍රමිකයන් දැනට විදිමින් සිටින පිඩාව දරාගෙන සිටිය යුතුද? කිසිසේත්ම නැත. අවමනුශියකරණය ට ලක් කරන ලිංගික ශ්‍රමික වෘත්තීය අහෝසි කිරීමට බලකරන් අතරම ඔවුන් සඳහා දැනට පවතින නෛතික පීඩනය අවම කිරීමට සහ සමාජ පීඩනය අහෝසි කිරීම සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවයක් පවතියි. ඒ සඳහා ලිංගික ශ්‍රමිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන නීතිමය තත්ත්වයන් අහෝසි විය යුතුය. එනම් සිදුවිය යුත්තේ එය ලිංගික ශ්‍රමිකත්වය වරදක් ලෙස ගැනීම වැලැක්වීමට (Decriminalized )අවශ්‍ය නීති ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමයි.

චින්තන ධර්මදාසගේ ප්‍රශ්නය තමයි ඔහු දකින්නේ සමාජය තුළ සිටින නිදහස් කේවල පුද්ගලයින් පමණක් වීම. එහෙත් එම තනි පුද්ගලයින් ස්ථානගත වන සමාජ ව්‍යුහය තුළ අසමානතාවය සහ පීඩනය ආයතනගත වී තිබෙන ආකාරය ගැන ඔහුට ගානක් නැහැ. කාන්තාවක් කැමැත්තෙන් ලිංගික වෘත්තියේ යෙදීම ගැන කියන චින්තන එම කැමැත්ත කොහොමද නිර්මාණය වී තිබෙන්නේ කියන එක තක්කඩි ලෙස අමතක කරනවා. ආර්ථික පීඩනයේ කොන්දේසි යටතේ ලිංගික ශ්‍රමිකයෙක් වීමට ස්ත්‍රියක විසින් ගන්නා තීරණය කිසිසේත්ම ඇයගේ ස්වේච්ඡා තීරණයක් යැයි කිව නොහැකියි. නිදහස් තීරණයක් ගැනීමට නම් ඇය ආර්ථිකමය වශයෙන් ස්වාධීන විය යුතුය, නිදහස් විය යුතුය. මෙහි තිබෙන්නේ ස්වේච්ඡා තීරණයක් නොව එම තීරණය ගැනීම සඳහා ආර්ථික පීඩනය විසින් ඇයට බල කරනු ලබන තත්ත්වයකි.

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගයේ ප්‍රශ්නය වෙන්නේ තමන්ගේ දේශපාලන පදනම් මොනවද යන්න ගැන නොතකා සිදුකරන මෝඩ ප්‍රකාශ. ඔවුන්ට අවශ්‍ය බව පේන්නේ තමන් ඉදිරිගාමී බව පෙන්නන්න. නමුත් ඒ සෑම ක්‍රියාවක්ම අවසන් වෙන්නේ තමන් තවමත් කොතරම් පසුගාමීද යන්න වගේම තමන් ප්‍රගතිශීලින් නොව ලිබරවාදීන් බව ඔප්පු කිරීමෙන්.

leave a reply