Breaking News

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ කැණීම නැවත ඇරඹෙයි

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ කැනීමේ සිව්වන අදියරේ කටයුතු (ජුලි 4 වැනිදා) නැවත ආරම්භ කෙරුණි.

මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධික්ෂණය යටතේ කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව ඇතුළු කැනීම් නිළධාරීන් කණ්ඩායමක් විසින් කැනීම් කටයුතු නැවත ආරම්භ කරනු ලැබූහ.

2023 නොවැම්බර් 29 වැනිදායින් පසුව සමූහ මිනිවළ කැනීම් කටයුතු නවතා දමා තිබු අතර, කැනීම් කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන නොමැතිවීම මත කැනීම් කටයුතු ආරම්භ කිරීම අවස්ථා කිහිපයකදී ප්‍රමාද විය.

සමූහ මිනිවළ කැනීම් කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන අධිකරණ කරුණු විමසීම මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ඉදිරියේ 2024 මැයි 16 වැනිදා අවසන් වරට පැවැත්වු අතර, එහිදි අදහස් දක්වමින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන් අධිකරණය වෙත සඳහන් කරනු ලැබුවේ අධිකරණ අමාත්‍යාංශය හරහා කැනීම් කටයුතු වෙනුවෙන් මුදල් අනුමත වි ඇති බැවින් කැනීම් කටයුතු නැවත ආරම්භ කළ හැකි බව ය.

මුදල් ප්‍රතිපාදන වෙන්වුවද අධිකරණ වෛද්‍ය නිළධාරීන්,පුරාවිද්‍යා කැනීම් නිළධාරීන් ඇතුළු නිළධාරීන්ගේ රාජකාරි අනුව කැනීම් කටයුතු ජුලි 4 වැනිදා නැවත ආරම්භ කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.

සමූහ මිනිවළ සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂණ අනුව සමූහ මිනිවළේ මිනිස් අස්ථි කොටස් විහිදි ඇති බවට සළකන කොක්කුතුඩුවායි මුලතිව් ප්‍රධාන මාර්ගයේ කොටස හාරා සිව්වන අදියර කැනීම් කිරීමට නියමිත බැවින්, කැනීම් කටයුතු වෙනුවෙන් මාර්ගයේ කොටසක් හාරන බැවින් අදාළ කැනීම් ස්ථානය පවතින සීමාවට විකල්ප මාර්ගයක් සකස් කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියට ද මුලතිව් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සමූහ මිනිවළ සම්බන්ධයෙන් සිව්වන අදියර කැනීම් කටයුතු මාර්තු මස පැවැත්වීමට මීට පෙර සංවිධානය කොට තිබුණද, කැනීම් කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන නොලැබීම මත සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතු ප්‍රමාද වු බව මුලතිව් දිස්ත්‍රික් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව සඳහන් කළේය.

ඔහු පැවසූවේ කැනීම් කටයුතු ඉදිරි දින 10 ක කාලය තුළ සිදුකිරීමට නියමිත අතර, ස්කෑන් පරීක්ෂාවෙන් හඳුනාගත් ප්‍රධාන මාර්ගයට අයත් කොටස ඇතුළු සීමාවේ කැනීම් කටයුතු ඉදිරි දිනවල සිදුකිරීමට නියමිත බවය.

 

කැනීම් ආරම්භ කිරීමට මූල්‍ය ප්‍රතිපාදන හරස් වෙයි ද ?
කොක්කුතුඩුවායි සමූහ මිනිවළ කැනීමේ මීළඟ අදියර වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන මේ දක්වා නොලැබී ඇති බව මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය (මාර්තු 4 වැනිදා) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී ඇතැයි, මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී.එස්.නිරංජන් සඳහන් කළේය.

නිරංජන් පැවසූවේ සමූහ මිනිවළ කැනීම් කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන අධිකරණ විමසීම මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ඉදිරියේ (මාර්තු 4 වැනිදා) කැඳවූ අතර, එහිදි අදහස් දක්වමින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරියෙකු අධිකරණය වෙත ඒ බව සඳහන් කළ බව ය.

මුදල් අමාත්‍යාංශය මගින් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ කැනීම් කටයුතු වෙනුවෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබාදිය යුතු බවද ඔහු පැවසුවේය.

සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන සිව්වන අදියරේ කැනීම් කටයුතු මාර්තු මස යළි ආරම්භ කිරීමට මීට පෙර සංවිධානය කර තිබුණද, කැනීම් කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන මෙතෙක් නොලැබීම මත සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන කැනීම් කටයුතු නැවත ආරම්භ කිරීමට නොහැකි වී ඇති බව මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව සඳහන් කළේය.

 

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ: 1994 – 1996 කාලයට අයත්
කොක්කුතුඩුවායි සමූහ මිනිවළ 1994 – 1996 දක්වා කාලයට අයත්විය හැකි බවට සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතුවලට එක්වු පුරාවිද්‍යා නිලධාරීන් නිගමනය කරන බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් මඟින් දන්වා ඇතැයි, මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කනකසභාපති වාසුදේව පවසයි.

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ කැනීම සම්බන්ධයෙන් මේ දක්වා තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ කමිටු වාර්තාව (පෙබරවාරි 22වැනිදා) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කනකසභාපති වාසුදේව එලෙස පැවසුවේය.

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධයෙන් මේ දක්වා කැනීම් කටයුතු, කැනීම්වලීන් ලබාගත් දෑ, කැනීම් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන වාර්තාවක් කැනීම් කමිටුව විසින් මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් වෙත ඉදිරිපත් කොට තිබුණි.

සමූහ මිනිවළ නැවත කැනීම මාර්තු මස 4 වැනිදා යළි ආරම්භ කිරීමට නියමිත අතර,කැනීම් කටයුතු වෙනුවෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම ගැටළුවක් වී ඇති බව අතුරුදන්වූවන්ගේ ඥාතීහූ විසින් සඳහන් කරනු ලැබූහ.

 

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ
ජල සම්පාදන මණ්ඩල සේවකයින් පිරිසක් ජල නළ එලීමක් වෙනුවෙන් කානුවක් කැපීමේදී අදාළ ස්ථානයෙන් පළමු වතාවට මිනිස් අස්ථි කොටස් කිහිපයක් 2023 ජුනි 29 වැනිදා හමුව තිබුණි.

අස්ථි කොටස් හමුවු ස්ථානය 2023 ජුනි 30 වැනිදා පරීක්ෂා කළ, මතභේදාත්මක සේවා හැරයාමක් සිදුකළ මුලතිව් හිටපු මහේස්ත්‍රාත් ටී.සරවනරාජා විසින් පරීක්ෂා කළ අතර, එහිදී නියෝග කරනු ලැබුවේ අස්ථි හමුවු ස්ථානයේ කැනීම් කටයුතු 2023 ජුලි 06 වැනිදා ආරම්භ කරන ලෙසටය.

අදාළ ස්ථානය සම්බන්ධයෙන් කැනීම් කටයුතු පළමු වතාවට 2023 ජුලි 06 වැනිදා සිදුකිරීමෙන් අනතුරුව නවතා දැමුණි.

සමූහ මිනිවළ කැනීම් කටයුතු දෙවැනි අදියර යටතේ 2023 සැප්තැම්බර් 06 වැනිදා නැවත ආරම්භ කළ අතර,2023 සැප්තැම්බර් 15 වැනිදා කැනීම් කටයුතු නවතා දැමීය.

සමූහ මිනිවළ පිළිබඳ තෙවැනි අදියරේ කැනීම් කටයුතු 2023 නොවැම්බර් 20 වැනිදා ආරම්භ කොට 2023 නොවැම්බර් 29 වැනිදා අවසන් කෙරුණි.

සමූහ මිනිවළ තුළින් මේ දක්වා මිනිස් අස්ථි කොටස් 40 ක් ගොඩගෙන ඇති අතර, ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ වැඩිදුර පරීක්ෂාව වෙනුවෙන් මුලතිව් රෝහලේ විශේෂ කුටියක තැන්පත් කොට ඇත.

 

ගොඩගත් අස්ථි කොටස්වල පරීක්ෂණ තත්ත්වය
සමූහ මිනිවළ තුළින් ගොඩගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් මේ දක්වා සිදු කොට නොමැති බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ නිළධාරි කනකසභාපති වාසුදේව සඳහන් කරයි.

අධිකරණ නියෝග යටතේ කැනීම් කටයුතු භාර පුරාවිද්‍යා මහචාර්යවරුන් කණ්ඩායම හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කමිටුව යටතේ අස්ථි කොටස් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ඔහු පැවසුවේය.

එහෙත් විශේෂඥ කමිටුවක් හරහා අස්ථි කොටස් පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීන් කණ්ඩායමක් එක්විය යුතු අතර, අදාළ පරීක්ෂාවන් වෙනුවෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම ගැටළුවක් වි ඇති බවද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

 

සමූහ මිනිවළ සම්බන්ධයෙන් පුරාවිද්‍ය නිළධාරි මතය
සමූහ මිනිවළ කැනීම් කටයුතු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් සිදුකළ අතර, රාජ් සෝමදේව කැනීම් සම්බන්ධයෙන් පැවසූවේ , සමූහ මිනිවළ හමුවු ස්ථානයට ඔබ්බෙන් වන මුලතිව් කොක්කුතුඩුවායි මාර්ගයේ කොටසක්ද කැනීම් කටයුතු වෙනුවෙන් කඩා ඉවත් කළ යුතු බැවින්, ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරය ලබාගැනීම වෙනුවෙන් සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමු බවයි.

සමූහ මිනිවළ තුළින් මේ දක්වා මිනිස් සිරුරු 40 ක සංඛ්‍යාවක් ගොඩගෙන ඇති අතර, තවත් අස්ථි කොටස් කිහිපයක් ගොඩගැනීමට නියමිත බවද ඔහු පැවසුවේය.

දැනට මීටර 14 ක් දිග,මීටර තුනක් පළල අඟලක් හාරා අවසන් බවත්,තවත් අවම වශයෙන් මීටර දෙකක් පළල, මීටර් තුනක් දිග කොටසක් හැරීමට නියමිත අතර, සමූහ මිනිවළ තුළින් හමුවු අස්ථි කොටස් විධිමත් සුසාන භූමියක මළ සිරුරු තැන්පත් කොට ඇති ආකාරයට තැන්පත් කොට නොමැති බවත්, හමුවු අස්ථි කොටස් අවිධිමත් ආකාරයට වළ දමා ඇති බවටත් නිරීක්ෂණය වන බවත් සෝමදේව ප්‍රකාශ කළේය.

 

සමූහ මිනිවළ තුළින් හමුවු දෑ
සමූහ මිනිවළ දෙවැනි අදියර කැනීම් තුළින් පූර්ණ මිනිස් සිරුරු 17 කට අදාළ අස්ථි කොටස් ගොඩ ගැනීම සිදුකළ අතර, තෙවැනි අදියරේ කැනීම් තුළින් මේ දක්වා මිනිස් සිරුරු 23 ක අස්ථි කූඩු මතුකර ගැනීමට හැකිවි ඇති බව කැනීම් නිළධාරීන් පවසයි.

සමූහ මිනිවළ තුළ තිබි පතුරම් උණ්ඩ වැනි කොටස් හා LTTE සංවිධානයේ සාමාජිකයින් හදුනාගැනීමට පළදින ලද යැයි කියන අංක තහඩු , අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, ආරක්ෂක අංශ භාවිතා කරන කැළෑ ඇදුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක්ද හමුවු බවද කැනීම් නිලධාරීන් පැවසීය.

 

සමූහ මිනිවළ ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීම
මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධයෙන් 2023 නොවැම්බර් 24 වැනිදා හා 25 වැනිදා ස්කෑන් පරීක්ෂාව සිදුකළහ.

මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ භූ ගතව පවතින ලෝහ, අස්ථි හා ආයුධ සොයා පරීක්ෂණ පවත්වන විශේෂ කණ්ඩායමක් විසින් සමූහ මිනිවළ අවට සීමාව ස්කෑන් පරීක්ෂණයක් පැවැත්වූහ.

කැනීම් නිළධාරීන් පැවසූවේ සමූහ මිනිවළ තුළ ආයුධ,ලෝහ හෝ වෙනත් යමක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂාවේදී පරීක්ෂා කළ බව ය.

මුලතිව් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ සිදුකළ ස්කෑන් පරීක්ෂාවට අනුව සමූහ මිනිවළ මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන ප්‍රධාන මාර්ග සීමාව දක්වා විශාල විය හැකි බවට අනාවරණය වි ඇති බව ය.

දැනට කැනීම් සිදුකරන ස්ථානයේ සිට තවත් මීටර පහක පමණ දුරකට සමූහ මිනිවළ දිවෙන බවට ස්කෑන් පරීක්ෂා වලින් මුලිකව නිරීක්ෂණය වී ඇතැයි, මුලතිව් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසීය.

 

කැනීම් නිලධාරීන් කණ්ඩායම
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ වර්තමාන මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් සිදුකරති.

යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පරමු පුෂ්පරත්නම්, මුලතිව් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව ,යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය එස්.පිරනවන් ඇතුළු කණ්ඩායමක් කැනීම් කටයුතු වෙනුවෙන් එක්ව සිටිති.

කෝකිලායි පොලිස් නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බොම්බ නිශ්ක්‍රීය අංශය,පුරාවිද්‍යා නිලධාරීන්,පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් කැනීම් කටයුතු සඳහා සහයෝගය ලබාදෙති.

 

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මොකද කියන්නෙ ?
මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ සමූහ මිනිවළ තුළ යුද සමයේ අතුරුදහන්වූ තමන්ගේ දරුවන්ගේ මළ සිරුරු අස්ථි කොටස් ඇති බවට තමන් විශ්වාස කරන බව ය.

සමූහ මිනිවළ තුළ අති සිරුරු අස්ථි කොටස් එකපිට එක පවතින ආකාරයට අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් පවතින බවට නිරීක්ෂණය වන බැවින් අතුරුදහන්වූවන් ඝාතනය කොට අදාළ වළට දමා ඇති බවට තමන්ට මහත් සැකයක් පවතින බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීහූ පවසති.

“සමූහ මිනිවළ කැනීම් කටයුතු දැන් නොවැම්බර් 29 වැනිදා ඉදලා මාස හයක කාලයක් නවතා තිබෙනවා.කැනීම් කටයුතු නවතා දැමීම කුමන්ත්‍රණයක්.”සමූහ මිනිවළ කැනීම් කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබානොදීම ගැටළුවක් වි ඇති බවද ඔවූහු පැවසූහ.

leave a reply