අභිමතය පළ කිරීමට පෙර සංශෝධන පනත දෙවරක් කියවා බලමු!!
ශ්‍රී ලාංකීය සමාජ දේශපාලන සංදර්භයෙහි පෙර කිසිදු කලෙක සිදුනොවූ වෙනසක් ජනිත කල හැකි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අප අප අතට පත්ව ඇත්තේය. එහි නිල නාමය විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වන අතර එහි ව්‍යවස්ථානුකූල බව විමසමින් තමන් වෙත ලැබුණු පෙත්සම් 39 ක පමණ අඩංගු කරුණු මේවන විටත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පිරික්සා බලා තම නිරීක්ෂණ ගරු කතානායක තුමන් වෙත පිරිනමා ඇත.
මාර්තු 12 ව්‍යාපාරය මෙරටේ සාර්ථක ආණ්ඩුකරණයක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ පුනර්ජීවනය උදෙසා අඛණ්ඩ ක්‍රියාවලියක නිරතව සිටින ස්වේච්ජා සංවිධාන එකතුවකි. එකී අනුගාමී සංවිධාන සියල්ල හා පොදුවේ මාර්තු 12 ව්‍යාපාරයෙහි නිරීක්ෂණය වන්නේ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එහි වත්මන් ස්වරූපයෙන් සම්මත වුවහොත් මෙරටේ චිරාත් කලක් ස්ථාපිතව පැවති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ජනතා පරමාධිපත්‍යය හා සබැඳි මාහැඟි පුරවැසි අභිමානය බිඳ වැටෙනු ඇති බවත් පර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක රටක නිරායාසයෙන් පැවතිය යුතු යහ ලක්ෂණයක් සේ සැළකිය හැකි සංවරණ හා තුලන පාලන රටාව බිඳ වැටෙනු ඇති බවත්ය. එමෙන්ම රාජ්‍ය මූල්‍ය අධීක්ෂණහිලා පාර්ලිමේන්තුව සතු පරම බලය ද ගිලිහී යනු ඇත්තේය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය හා සමගාමී මැතිවරණ පොරොන්දු මඟින් පුනරුච්චාරණය කල මූලික කරුණක් වූයේ මෙවැනි අන්තර්කාලීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් නොවේ. සමස්ත සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණයක් රැගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. ඊට කිසිදු පාර්ශවයක් එරෙහි වූ බවට වන ආරංචි මාර්ගයක් හෝ ඇසු කිසිවෙක් අසලක නැත. එවැනි පසුබිමක මෙරටේ ඓතිහාසිකව අනුක්‍රමයෙන් විකාශනය වූ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය මෙලෙස බරපතල සේ නොසලකා හැරීම පහසුවෙන් බැහැර කල හැකි දේශපාලනික මැදිහත්වීමක් නොවේ.
නිර්දේශපාලනික රාජ්‍ය සේවයක් හා ළබැඳියාවන් අතර පවත්නා පිළිගැටුම සමනය කිරීමෙහිලා ස්ථාපිත දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, අපේක්ෂා එලෙසම ඉටුකරන ලද පරිපූර්ණ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ලෙස අපි හඳුනා නොගන්නෙමු. එමඟින් ප්‍රතිෂ්ඨාපිත ආයතනික ව්‍යූහය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේද ක්‍රියාකාරීත්වය පිලිබඳ සමාජය තුළ පැනනැගුණු විසංවාද ප්‍රමාණය අප්‍රමාණය. එහෙත් ඊට දක්වන ප්‍රතිචාරය විය යුත්තේ එවන් නවමු ප්‍රවේශයක් මුළුමනින්ම බිඳදමා එක් එක් පාලන ආයතන සතු බලය තනි පුද්ගලයෙක් වටා ඒකරාශී කිරීම නොවන බව අවධාරණයකල යුතුව ඇත.
තවද මැතිවරණ ක්‍රියාවලියෙහිදී ශ්‍රී ලංකාව මෙතෙක් දක්වා ඇති ප්‍රශස්ත භාවිතාවද මෙකී නව සංශෝධන මඟින් පසුපසට ගමන් කරනු ඇතැයි යන්න අපගේ නිරීක්ෂණයයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කිරීමේදී ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස මෑත උපයාගෙන ඇති මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය මෙවැනි ඒකපාක්ෂික සංශෝධන හමුවේ වියැකී යනු ඇත්තේ නැවත එවන් භාවිතාවක් වෙත ප්‍රවේශ වීමට හෝ ඉඩක් නොතබාය.
මෙවන් වෑයමකදී වඩාත් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනු ඇත්තේ පාර්ලිමේන්තුව වෙත අභිනවයෙන් තේරී පත්ව හෝ නම් කොට ඇති මහජන නියෝජිතයන් පිරිසයි. තරගකාරී බහු පක්ෂ ක්‍රමයක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදී මුලිකාංග මත පවත්වන ලද මැතිවරණයක් ඔස්සේ පාර්ලිමේන්තුවට පත්ව සිටින ගරු මහජන නියෝජිතයන් සැවොම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවරක් කියැවිය යුතුව ඇත්තේය. ශ්‍රී ලාංකීය ජනරජය සතු පාලන හා මූල්‍ය වගකීම මෙකී මහජන නියෝජිතයන් සතුව ද පවතින්නේය. එවන් අභිමානවත් බලයක් හා සමාජ වගවීමක් තමන් සතු බව ප්‍රදර්ශනය කිරීම ද ඔවුන් සතු වගකීමකි. එකී සාරවත් රාජ්‍යකරණයක දුතයන් වීමට හැක්කේ මෙකී සංශෝධනය දෙවරක් කියවා බලා තමන්ට ම අනන්‍ය වූ ස්වාධීන මතය පළ කිරීමෙන් පමණි.