Breaking News

කදුලු ගෑස් වෙනුවට පිරිත්

නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ

විරෝධතාකරුවන් පිරිසක් පසුගිය දිනක අරලිය ගහ මන්දිරය අසල විරෝධතාවයක් ආරම්භ කළා. එය මයිනාගෝගම යනුවෙන්ද නම් කළා. එකී විරෝධතාවය ආරම්භ කිරීමෙන් පසුව විරෝධතාකරුවන්ගේ විරෝධතා හඩ යටපත් වන පරිදි අරලිය ගහ මන්දිරය තුළින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අඛණ්ඩව පිරිත් වාදනය කරමින් සිටිනවා. විරෝධතාකරුවන්ට බාධාවන පරිදි පොලිස් බස් රථ සහ ට්‍රක් රථ නවත්වා පදික වේදිකාව අවහිර කර තිබෙනවා. එකී සියලුම බාධාවන් මධ්‍යයේ විරෝධතාවය තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.

පදික වේදිකාව අවහිර වන පරිදි වාහන නැවැත්වීම වරදක්. කිසිදු පුද්ගලයෙකුට ඒ සදහා අවස්ථාවක් නෑ. නමුත් පොලිසිය විසින් එකී නීති පොලිසියට අදාල නොමැති බවක් පෙන්නුම් කරමින් සිටිනවා. පොලීසිය නීතියට ඉහලින් සිටින බවක් පෙන්නුම් කරමින් සිටිනවා. විරෝධතා කරුවන්ට බාධා පැමිණවීමේ අදහසින් සිදුකරන මෙම බාධාව මහජනතාවගේ විරෝධතාවය දැක්වීම අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්.

සාමාන්‍යයෙන් පොලීසිය විරෝධතා විසුරුවා හැරීම සදහා මුල් අවස්ථාවේදී ජල ප්‍රහාර සහ කදුලු ගෑස් තමයි භාවිත කරන්නෙ. නමුත් මෙම විරෝධතාකරුවන් පළවාහැරීම සදහා විශාල ශබ්දයකින් පිරිත් වාදනය කරනවා. බෞද්ධයන් ඉතාමත් ගෞරවයක් කොට සලකන සහ ආනුභාවයක් ඇතැයි සලකන පිරිත් උද්ඝෝෂණ මැඩලීම සදහා යොදාගැනීම බෞද්ධාගමට සිදුකරන අපහාසයක්. උදේ හවස පන්සල්වල යන පොහෝදින ධර්ම දේශනා පවත්වන අයම මෙලෙස පිරිත අවභාවිත කිරීම මගින් කියාපාන්නෙ එම අය නඩත්තු කරන දෙබිඩි පිළිවෙතයි. එකී දෙශපාලකයන්ට ආගම යනු බලය ලබාගැනීමටත් , බලය පවත්වාගැනීමටත් භාවිත කරන උපකරණයක් පමණයි.

අශීක් එ. බන්දුල (නොයිස් පොලියුෂන්) නඩු තීන්දුවේදි ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා ශබ්ද දූෂණය සාධාරණීකරණය කිරීම සදහා ආගමික නිදහස යන්න භාවිත කරන්න බෑ කියල. ඒකෙ අදහස තමයි උද්ඝෝෂකයන් පළවා හරින්න කණ පැලෙන්න පිරිත් දාල, දැන් කියන්න බෑ ආගමක් අදහන්න තියෙන නිදහස නිසයි එහෙම කළේ කියලා.

නීතිය අවභාවිත කිරීමට ඉඩ නොදෙමු.
ආගම අවභාවිත කිරීමට එරෙහි වෙමු.

leave a reply