ගෙයින් ගෙට ගොස් කරන වෙළඳාම අපිට නුහුරු අත්දැකීමක් නෙවෙයි . මේ ගෙදරටම ගොස් කරන වෙළඳාමේදී අපිට වලං කද කරුවා .මාළු වෙළෙන්දා නිතර හමුවෙන සුපුරුදු චරිත බවට පත්වෙලා තිබුණා .
පසුකාලීනව කඩපිල් වෙනුවට ගම් මූලික කරගෙන නගර ඉදි වෙද්දි ,ඒවා පුළුල් වෙද්ද නගරාශ්‍රිතව පදික වෙළඳුන් ඇතිවෙනවා .
මේ විවෘත ආර්ථිකය නගර සංවර්ධනය කරමින් ,මහා පරිමාණ කඩ සුපමාකට් හීන් සීරුවෙ නගර ඇතුලට බස්සද්දි ,ගෙයින් ගෙට ගොස් බඩු විකුනපු වෙළඳුන්ගේ රැකියාව අභාවයට යනවා . නමුත් පැරණි වෙළඳාම් ක්‍රම වේදය අභාවයට ගියත් පසුකාලීනව මේ ගෙයින් ගෙට කරන වෙළඳාම, වෙළදම් කරන්නාගේ සුවරූපයද වෙනස් කරමින් නැවත කරලිගත වෙනවා .
ඒ අලුත් ස්වරූපය ලත් වෙළෙන්දෝ බොහොම ලස්සනට ඇඳ පැළඳ ගනිමින් ,ටයි එකකින් සැරසී බිෆ් කේස් එකක්ද අරගෙන ගෙවල් වලට යන්න පටන් ගන්නවා .මේ අය ජීවිත රක්ෂණයේ සිට පෑන පැන්සල ඉදි කටුව දක්වා විකුනනවා .
පසුගිය දවසක youtube ඔස්සේ ජනගත කළ අලුත් ගීතයක් අහන්න ලැබුණා .ඒ ගීතයෙන් කියවෙන්නේ බිෆ්කේස් එකක් අතින් ගත් ටයි කෝට් ඇඳගත් වෙළෙන්දෙක් ගේ ආත්ම කථනයේ අඳෝනාව .මේ ගීතය සමඟ මතකයට නැගුනේ “තැබෑරුමට වරෙන් සිංහයෝ ” කාව්‍ය සංග්‍රහයට නලින්ද සංජිව ලියනගේ ලියන ” ඩිරෙකට් මාකටින් ” කවිය .
- නිමිත්ත-ගෙන් ගෙට යමින් සුවද විලවුන් සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවි කරන තරුණයෙකු රැකියා විරහිත උපාධිධාරියෙකුගේ බෝඩිමට පැමිණෙයි.දෙදෙනා අතර මෙබඳු කෙටි සංවාදයකි.
පිටේ බැදන් කොම්පැණියෙන් දුන් හීන
ලේන් එකේ දොර දොර යන මිතුරාණ
පෙනේ දහදියෙන් කරවුණ කළු මූණ
අතේ තිබෙන ආලේපෙන් සුදු නූණ
ගදින් කිළිටි අඩුවක් නැති බෝඩිමට
සමන් මලින් දවසක් පැන් ඉස කුමට
මචන්,හුස්ම හිර වෙයි ඔය ටයි එකට
වරෙන් දුමක් දානව නම් කාමරෙට
“පවරා පවුලෙ සුක්කානම මගෙ අතට
වැටුණා තාත්තා කුණු ලොරියෙන් බිමට
බිඳුණා මැටි පහන බය වී කළුවරට
දිව්වා ගණ දෙවිඳු පොත් මේසෙන් දුරට”
උඹ කී කතා මුහු වෙයි සිගරැට් දුමට
නොකියූ මගේ තතු වෙනසක් නැත දැනට
නොකිපී දොරින් පිටමන් කල නුවරුනට
හිනැහී යලිත් යන හැටි ඊලග දොරට
එන්න එන්න සැඩ වෙයි ජල කඳ ඉහල
එකම ඔරුවෙ අපි පාවෙනවා පහල
දියට වීසි කොට කමකට නැති හබල
ගිලෙමු,නැතොත් පිහිනමු ඉවුරට නිසල
නලින්දගේ ” ඩිරෙකට් මාකටින් ” කවිය තුළින් රැකියා විරහිත උපාධිධාරි යාත් ,රැකියාවක් නොමැති නිසා කරන්නම දේකුත් නැති නිසා ගෙයින් ගෙට ගොස් මිනිසුන්ව අන්දමින් බඩු විකුණන තරුණයකු අතර සංවාදයක් .
ඉහත ගීතයේ තරුණයාගේද ” ඩිරෙකට් මාකටින් ” කවියේ බඩු විකුණන සහ රැකියා විරහිත උපාධිධාරී තරුණයාගේ කතාව එකමය . මොවුන් කිසිවෙක් ආත්ම විශ්වාසයෙන් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. විශ්වාසයන් බිඳවැටුණු, ඉච්ඡාභංගත්වයට පත් වුණු මිනිසුන්ය. වෙළඳපොල ආර්ථිකය විසින් නටවන රූකඩය. ගීතයේ කරන්න දෙයක් නොමැති නිසා ආත්මය කුඩුපට්ටම් කර දමා ජීවත්වීම සඳහා මාකටින් කරන තරුණයාට ඉන් ගැලවීමට මගක් පිළිබඳව අදහසක් නැහැ. නමුත් නලින්දගේ කවියේ අවසානයේ රැකියා විරහිත උපාධිධාරීයාට මේ ප්‍රශ්නය පිළිබඳව අදහසක් තිබෙන බව හඟවනවා.
මේ ආර්ථික අර්බුදය තුළ ඔවුන් ගිලී යමින් පවතින බව ඔහු දන්නවා.
එන්න එන්න සැඩ වෙයි ජල කඳ ඉහල
එකම ඔරුවෙ අපි පාවෙනවා පහල
දියට වීසි කොට කමකට නැති හබල
ගිලෙමු,නැතොත් පිහිනමු ඉවුරට නිසල
එ වගේම ඒ වෙනස් කළ හැකි බවත් ඔහු දන්නවා. වෙනස් කළ හැක්කේ තනිව නොව සාමූහිකව බව දන්න නිසා ඉදිරියට යන්නැති ඔරුවක නැගගෙන බොරුවට හඹා ගහන්නෙ නැතිව ඔරුවෙන් බැහැලා හබල විසි කර එක්කෝ දියේ ගිලි මැරෙන්න ඕනා නැතිනම් සාමූහිකව පිහිනා ගොඩ යුතුයි.
ඇඟට අමුතු ජෙන්ට ඇඳන්
ඩිෆ්‍රීසර් අයිස් මාලිගා තනන්
ඌ යනවා අලිබාබාගේ ගුහාවකට
විකුණන්නේ ආත්මේ
( මං මාකටින් ) ගීතයෙන්
රටක රැකියා විරහිත තරුණ තරුණියන් වැඩි වැඩිවෙත්ම ඉන් ප්‍රයෝජන ගන්නේ අලි බබාලා වැනි මහා පරිමාණ ව්‍යාපාරික කොල්ලකරුවන් ය. කොල්ලකාරී ආර්ථිකය වෙනස් නොකර මෙය වෙනස් කළ නොහැකි ප්‍රශ්නයකි. ක්‍රමය පවත්වාගෙන යෑමට අප දක්වන දායකත්වය ප්‍රබල වන තාක්කල් අලි බබාලා කිහිප දෙනෙක් වෙනුවෙන් බහුතරයකට ආත්මය විකුණන්නට සිදුවෙන බව තේරුම් ගත යුතුය.