ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
වසර 165 ක පමණ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව තුළ කිසිදු කාන්තාවක් දුම්රිය ස්ථානාධිපති තනතුර දරා නොමැති අතර දුම්රිය ආරක්ෂක සේවය සඳහා පමණක් කාන්තාවන් බඳවා ගෙන තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වාම එන්ජින් රියදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා පිරිමි නිලධාරින් පමණක් බඳවා ගනු ලැබ ඇති අතර, අධීක්ෂණ කළමනාකරු තනතුරු සඳහා 2012 සහ 2015 වසර වල පමණක් කාන්තා නිලධාරින් බඳවාගනු ලැබ ඇත.
රජයේ නව ආර්ථික ප්‍රතිපත්ති අනුව රාජ්‍ය අංශයේ මෙතෙක් කාන්තාවන් බඳවා නොගත් තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමට කටයුතු කරමින් පවතින බව ආණ්ඩුව පවසයි.
ඒ අනුව, වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, දැනට අනුමත බඳවා ගැනීම් පටිපාටිය තුළ කාන්තා නිලධාරින් බඳවා ගැනීමට ප්‍රතිපාදන සැලසී නොමැති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු වලට කාන්තා නිලධාරින් බඳවා ගැනීම පිණිස ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමට තීරණය කර ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසන් වරට බඳවා ගැනීම් සඳහා නිකුත් කළ නිවේදනය මගින් පිරිමින්ට පමණක් අදාළ තනතුරු සඳහා ඉදිරිපත් විය හැකි බව දක්වා තිබුණි. කෙසේවෙතත් එයට එරෙහිව කාන්තාවන් පිරිසක් විසින් අධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබුණි.
ආණ්ඩුව මෙම තීරණය ගනු ලබන්නේ මින් පසුවයි.


							
															
															
															
															
															
															
															
															



