Breaking News

‘‘ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක්

වික‍්‍රමරත්න ආරච්චිගේ දේශාන් මධුරංග

‘‘ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක් ගෙවා ගුණාත්මකභාවය නොසලකා ලක් රජය මියන්මාරයෙන් සහල් ආනයනය කරති.’’ ශ‍්‍රී ලංකාවේ සහල් ආනයනයේ හා කෘෂිකර්මාන්තයේ සැබෑ තත්ත්වය……

ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමේ දී ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතා ඉහළ ලාභයක් ලැබෙන බව පසුගිය දා මියන්මාරය ප‍්‍රකාශ කරන ලදී. එහිදී එරට සහල් තොග ගබඩාවේ ලේකම් යූ තාන් ඕ එරට ප‍්‍රධාන පුවත්පතක් වනිඨකදඉ්ක භැඅ ඛසටයඑ දෙ ඵහ්බප්ර’ නම් පුවත්පතට අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ පසුගිය වසරවල මියන්මාර් සහල් ලංකාවට අපනයනය කළ බවත් එය ඉතා සාර්ථක හා වාසිදායක බවත් ය. එසේම ලොව අනෙකුත් රටවලට වඩා ඉහළ මිළක් ශ‍්‍රී ලංකාවට අපනයනය කරන සහල්වලින් ලැබෙන බවද හෙතෙම පැවසීය.

‘‘ශ‍්‍රී ලංකාව යනු අපේ අසල්වැසියෙකි. මියන්මාරයට සමුද්‍රීය ප‍්‍රවාහනය හරහා ඉතා පහසුවෙන් ශී‍්‍ර ලංකාවට සහල් අපනයනය කිරීමට හැකිව තිබෙනවා. අප වෙනත් රටවලට සහල් අපනයනය කරන්නේ ටොන් එකකට ඇමරිකානු ඩොලර් 340-350 අතර මිළකට. ඒත් ශ‍්‍රී ලංකාවට අපනයනය කිරීමේ දී ටොන් එකකට ඩොලර් 440-450 දක්වා ඉහළ මිළක් ගෙවනවා.’’ ඒ අනුව මියන්මාරය ශ‍්‍රී ලංකාවට සහල් අපනයනයෙන් ලැබෙන අතිරේක ලාභය අනෙකුත් රටවලට වඩා ඇමරිකානු ඩොලර් 100 ඉක්මවන තත්ත්වයක් මේ වනවිට දක්නට ලැබේ. ඊට අමතරව සහල් අපනයනය සදහා ශ‍්‍රී ලංකාව අනෙකුත් රටවල් මෙන් සීමා පැනවීමක් සිදු නොකරන බව ද ඔහු පවසයි.

‘‘සහල්වල තත්ත්වය සම්බන්ධව ශ‍්‍රී ලංකාවෙන් සීමා කිරීමක් නැහැ. ඒත් යුරෝපියානු රටවල් සහ චීනය මේ සහල්වල තත්ත්වය ආරක්ෂා කර ගැනීමට විවිධ නීති හා අණ පනත් මගින් සීමා කිරීම් සිදු කරනවා. ඒ නිසා ශ‍්‍රී ලංකාවට වඩා එවැනි රටවලට සහල් අපනයනය තරමක් සංකීර්ණයි.’’

පසුගිය ජනවාරි 07 වනවිට රටවල් ද්විත්වයේ රජයන්ගේ එක`ගත්වය මත සුදු සහල් ටොන් ලක්ෂයක් සහ තැම්බූ සහල් ටොන් 50000ක් මෙම වසර සහ ඉදිරි වසර සදහා මියන්මාරයෙන් ආනයනය කිරීමට ශ‍්‍රී ලංකා රජය මියන්මාර රජය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙම ව්‍යාපෘතිය සදහා ශ‍්‍රී ලංකාව අතිරේක ඩොලර් මිලියන 15ක් වැය කරනු ඇත. එය ආසන්න වශයෙන් රුපියල් බිලියන 03 කට සමාන වේ. කෙසේවෙතත් මෙරට වෙළද අමාත්‍යංශය පවසා ඇති පරිදි මෙටි‍්‍රක් ටොන් එකක් සදහා මියන්මාරය ඇමරිකානු ඩොලර් 465 ක මුදලක් යෝජනා කර ඇති මුත් අමාත්‍යංශය මැදිහත් වීමෙන් එම මුදල ඇමරිකානු ඩොලර් 445 දක්වා අඩු කරගෙන තිබෙන බව පවසා තිබේ.

සහල් ආනයනයේ සැබෑ තත්ත්වය
මෙම වසරේ මෙම කන්නය වන විට මෙරට වී අස්වැන්න සියයට තිහක් දක්වා අඩු විය හැකි බවට අදහසක් පවතී. දැනටමත් සහල් මිළ අහස උසට නැග ඇත. එය ඉතා සංකීර්ණ තත්ත්වයකි. ගොවියාට ලබා දෙන පොහොර සහනාධාරය ඉවත් කොට වී කිලෝවක මිළ රු.75 දක්වා වැඩි කළ පසු සහල් මිළ පාලනය කිරීම පහසු නැත. ඒ නිසාම දැනට ඇස්තමේන්තුගත කර ඇති පරිදි මෙරට වෙළදපොළ අවශ්‍යතාව සදහා සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ හයක් පමණ ගෙන්වන්නට සිදුවනු ඇතැයි ප‍්‍රකාශ වේ. එසේ සිදුවුවහොත් වසර පහක් තුළ මෙරට සිදුවන වැඩිම සහල් ආනයනය එය වනු ඇත. එසේම රසායනික පොහොර තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගැනීම තුළ අඩු වූ අස්වැන්න සදහා සහන ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියන හතළිහක් වෙන් කිරීමට ද සිදුව ඇත.

මෙහි සැබෑ තත්ත්වය සම්බන්ධව විමසා බැලීමේ දී පිටරටින් සහල් ගෙන්වීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 500 කට ආසන්න ප‍්‍රමාණයක් සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වී ඇතැයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි. එම සංගමයේ සභාපති කුසුමිත මුදිත මහතා මෙසේ සදහන් කරයි. ‘‘අපේ රටේ සහල් මෝල් 800 ක් පමණ තියෙනවා. ඒත් මේ වනවිට නිෂ්පාදනය කරන්නේ සමස්ථ ධාරිතාවෙන් සියයට 75 ක් පමණයි.’’ සහල් ආනයනය නොකළ යුතු අවස්ථාවක පසුගිය වසරේ නොවැම්බර් 15 සහල් ආනයනය කිරීම මේ තත්ත්වයට හේතු වූ බව ද මේ වනවිට වෙළදපොළ ධාරිතාවෙන් සියයට 75ක් ම සපුරා ගන්නේ විදේශයෙන් ගෙන් වූ සහල්වලින් බව ඒ මහතා සදහන් කරයි.

සංවර්ධනය හා ආහාර නිෂ්පාදනය
මේ වනවිට රසායනික නොයොදා කරන ගොවිතැන සීමිත වපසරියකට සීමා වී තිබේ. එය මෙරට සමස්ථ ගොවිබිම්වලින් සියයට 2.8 ක් බව දැක්වේ. නගර ආශ‍්‍රිතව කැළිකසලවලින් නිපදවන පොහොර කාබනික-කොම්පෝස්ට් ලේබලය යටතේ අලෙවි කරමින් සිටී. එය පාරිභෝගිකයන් නොමග යැවීමකි. එහි බහුල වශයෙන්ම ඇත්තේ පරිභෝජනයෙන් පසු ඉවත ලන දේ ය. ඒ හේතුවෙන් කොම්පෝස්ට් සංයුතිය පිලිබද කිසිදු තැකීමක් එනයින් සිදු නොකරයි.

මහ බැංකුව පෙන්වා දෙන පරිදි ජාතික ආර්ථිකයට කෘෂිකර්මාන්තයෙන් ලබා දෙන දායකත්වය සියයට හතක ප‍්‍රතිශතයක් දක්වා පහත වැටී තිබේ. ඒ ඔස්සේ ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ද තෘප්තිමත් විය නොහැකි කෘෂිකර්මාන්තයක් මෙරට නිර්මාණය වී තිබේ. මේ තත්ත්වය තුළ ගොවිතැනට අවශ්‍ය සියලූම බීජ වර්ග ද, පොහොර ද ආනයනය කරන තත්ත්වයකට පත්ව තිබේ. එසේම මෙරට ගොවි ජනතාවගෙන් සැහෙන පිරිසකට ඉඩම් අයිතිය නැත. මෙරට භාවිතා කළ හැකි ඉඩම්වලින් සියයට අසූ දෙකක් රජයට අයත් ය. ගොවි ජනතාවට අයත් බොහෝ ඉඩම් පුරන් වී ගොස් ය.

යැපෙන ස්වභාවයෙන් ගැලවී ආනයනය අවම කළ යුතු ගොවිතැන
මෙරට ගොවිතැන යැපෙන ස්වභාවයෙන් ගලවා නොගතහොත් ඉදිරියේ තව තවත් ආනයනය වැඩි කිරීමට සිදු වනු ඇත. ගොවියන්ට කෘෂි කටයුතු සදහා පිරිවැය ඉහළ ගොස් තිබේ. ශ‍්‍රමය, යන්ත‍්‍ර සූත‍්‍ර , පොහොර ආදිය සදහා පිරිවැය ඉහළ ගොස් තිබේ. ඒ ඔස්සේ ගොවියා නිරායාසයෙන්ම ණය කරුවෙක් බවට පත්ව ඇත. ගොවියන්ට ණය දෙන අරමුණ ඇතිව පිහිටුවන ලද මහජන බැංකුව අද ගොවි ජනතාවගෙන් දුරස්ථ ය. මිශ‍්‍ර කෘෂිකර්මය අපට සුදුසු ය. ගොවියෝ අවශ්‍ය පහසුකම් තෝරාගත යුතු අතර නිසි පහසුකම් සැපයීම ආණ්ඩුවේ වගකිමකි. පසුගිය වසර අවසන් වනවිට ආහාර උද්ධමනය සියයට 22.2 කි. එය පියවීමට මෙලෙසින් මියන්මාරය වැනි රටවලින් තත්ත්වයෙන් උසස් නොවන සහල් කිසිදු සොයා බැලීමකින් තොරව ගෙන්වීමට සිදුව ඇත.

මේ වනවිට ශ‍්‍රී ලංකාවේ සහල් වෙළදපොළ තුළ විශාල ඒකාධිකාරී තත්ත්වයක් ගොඩ නැගී තිබෙන්නේ සහල් නිෂ්පාදනය සීමිත පිරිසක් අතට පත්ව ඇති නිසාවෙනි. එම තත්ත්වය පාරිභෝගිකයාගේ පැතිකඩින් ඉතා අවාසි සහගත බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ. ශ‍්‍රි ලංකාවේ සහල් නිෂ්පාදනය අතිශයින්ම යැපුම් තත්ත්වයකට පත් වීමට ප‍්‍රධානම හේතුවක් වන්නේ මෙයයි. පසුගිය 2000 වර්ෂය වනවිට ශ‍්‍රී ලංකාවේ සහල් මෝල් හිමියන් 2000 ක් පමණ සිටි බවත් එම සංඛ්‍යාව මේ වනවිට 800 දක්වා පහත වැටී ඇති බවත් විගණන කාර්යාල වාර්තාව සදහන් කරයි.

 

leave a reply