අද වන විට ඉතා ම දරුණු අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2022 වසරේ දී ය. එය අලි – ඇතුන් 433 කි. අලින් ගේ පහර දීම් හේතුවෙන් වැඩි ම මිනිසුන් ප්‍රමාණයක් වසරක් තුළ මිය ගොස් ඇත්තේ ද මෙම වසරේ දී ම ය. එය මිනිසුන් 145 කි.
1990 වසරේ සිට 2023 වසරේ අප්‍රේල් මාසය දක්වා ගෙවී ගිය වසර 34 ක කාලය තුළ දී අලි – ඇතුන් 6642 ක් මියගොස් ඇත. ඉන් 70% ක් පමණ අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් විසින් ඝාතනය කළ සතුන් ය. 1998 වසරේ සිට 2023 වසරේ අප්‍රේල් මාසය දක්වා වූ වසර 26 තුළ දී අලින් ගේ පහර දීම් හේතුවෙන් මිනිසුන් 2032 ක් මිය ගොස් තිබේ.
මෙම සංඛ්‍යා ලේඛණ වලින් පෙනී යන්නේ මෙරට අලි – ඇතුන් හා මෙම සතුන් ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිත ව දිවි ගෙවන ජනතාව දරුණු ඛේදවාචකයකට මුහුණ දී සිටින බව ය. බොහෝ දෙනෙක් සිතන්නේ අලි ගහනයේ වැඩි වීම අලි – මිනිස් ගැටුම මේ ආකාරයෙන් වර්ධනය වීමට බලපා ඇති බව ය. නමුත් අලි ගහනය වර්ධනය වන බවට කිසිදු විද්‍යාත්මක සාධකයක් නොමැත.
ලංකාවේ අවසන් වරට අලි සංගණනයක් සිදු කෙරුනේ 2011 වසරේ දී ය. එම සංගණනයට අනුව අලි – ඇතුන් 5879 ක් වාර්තා වන බවට හඳුනා ගැනින. නමුත් අලි සංගණනයෙන් පසු ව ගෙවී ගිය වසර 12 කට තරමක් වැඩි කාල සීමාව තුළ දී අලි – ඇතුන් 3685 ක් මිය ගොස් තිබේ. ඒ අනුව අද වන විට මෙම සතුන් ගේ ගහනය ඉතා ම දරුණු ලෙස පහළ යමින් තිබෙන බව පෙනී යයි. නමුත් අලි – ඇතුන් ගේ වාසස්ථාන ශීඝ්‍රයෙන් විනාශ කිරීම හේතුවෙන් මෙම සතුන් ගම් වැදීම බහුල වීම නිසා අලි ගහනය වර්ධනය වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බව බොහෝ දෙනෙක් සඳහන් කරති. එහෙත් සත්‍ය තත්ත්වය නම් අලි – ඇතුන් ඝාතනය කරන ශීඝ්‍රතාවයට සාපේක්ෂ ව ගහනයේ වර්ධනය වීමක් සිදු නොවන බව ය. මෙහි ඉතා ම කණගාටුදායක තත්ත්වය නම් දළ ඇතුන් හා ශක්තිමත් පිරිමි සතුන් නිතර ඝාතනයට ලක් වන නිසා ගැහැණු හා පිරිමි සතුන් අතර ඇති අනුපාතය වෙනස් වීම හා සුවිශේෂී ජාන සහිත සතුන් ගහනයෙන් ඉවත් වීම හේතුවෙන් අලි – ඇතුන් ගේ ගහනය දුර්වල වෙමින් පැවතීම ය.
අලි මරණ හා සම්බන්ධ පැරණි වාර්තා විශ්ලේෂණාත්මක ව අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ හැත්තෑව දශකයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂ ව වර්තමානය වන විට අලි මරණ සිව්ගුණයකට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව ය.
1951 වසරේ සිට 1969 වසර දක්වා ගෙවී ගිය වසර 19 ක කාලය තුළ දී මිය ගොස් ඇති අලි – ඇතුන් ගේ ප්‍රමාණය 1163 කි. එම කාලය තුළ දී වසරකට මිය ගොස් ඇති අලි – ඇතුන් ගේ සාමාන්‍ය අගය 61 ක් පමණ වේ. නමුත් 2004 සිට 2023 අප්‍රේල් මාසය දක්වා වූ වසර 19 ක කාලය තුළ දී අලි – ඇතුන් 5010 ක් මිය ගොස් තිබේ. එම කාලය තුළ දී වසරකට මිය ගොස් ඇති අලි – ඇතුන් ගේ සාමාන්‍ය අගය 263 ක් පමණ වේ. ඒ අනුව හැත්තෑව දශකයට පෙර පැවති තත්ත්වයට වඩා අලි මරණ සිව්ගුණයකට වැඩි වර්ධනයක් සිදු වී ඇති බව තහවුරු වේ. මේ තත්ත්වය පිටුදැකීමට නම් මේ සඳහා බලපෑ හේතු සාධක පිළිබඳ ව ගැඹුරින් සොයා බැලිය යුතු ව ඇත.
වර්ෂ 2010 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත අවසන් වනාන්තර සංගණනයට අදාළ වාර්තාවට අනුව මෙරට සමස්ත වනාන්තර ආවරණය හෙක්ටයාර 19,51,473 කි. එය මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් 29.7% කි. මෙම වනාන්තර අතුරෙන් අලි – ඇතුන් ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවලට අයත් වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, අතරමැදි කලාපීය මෝසම් වනාන්තර, සැවානා තෘණ භූමි හා කටු පදුරු සහිත ලඳු කැළෑ වනාන්තරවල ය. මෙම වනාන්තරවල ප්‍රමාණය හෙක්ටයාර 17,36,805 කි. එය ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 26.5% ක ප්‍රතිශතයකි. නැතහොත් මෙරට අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවල මුළු භූමි ප්‍රමාණයෙන් 34.5% ක ප්‍රතිශතයකි. අලි – ඇතුන් ජීවත් වන ස්වාභාවික පරිසර පද්ධති මේ ආකාරයේ අඩු මට්ටමක පැවතීම හා එම වනාන්තර එකිනෙක හා ජාලගත වී නොමැති ව ඛණ්ඩනය වූ වනාන්තර ලෙස පැවතීම අලි – මිනිස් ගැටුම වර්ධනයට බලපාන ප්‍රධාන හේතු සාධකයන් ය.
2010 වසරට පෙර වනාන්තරවල තත්ත්වය මේ ආකාරයෙන් පැවතිය ද එතැන් සිට අද දක්වා ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ණය දෙන ආයතනවල කොන්දේසිවලට අනුව ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ මත වාණිජ කෘෂිකර්මය සඳහා මහ පරිමාණ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දැවැන්ත වනාන්තර විනාශයක් සිදු කර තිබේ. ඒ හේතුවෙන් අලි – ඇතුන් ගේ ස්වාභාවික වාසස්ථාන බොහොමයක් විනාශයට ලක් කර තිබීම හා ඉතිරි වී ඇති වනාන්තර කොටස්වලට වෙන් වන පරිදි සංවර්ධන කටයුතු සිදු කර තිබීම අලි – මිනිස් ගැටුම අද පත් ව ඇති දරුණු තත්ත්වයට පරිවර්තනය වීමට ප්‍රධාන හේතු සාධක ලෙස බලපා ඇත.