Breaking News

සිංහරාජය මැද පිහිටි රෝහිත රාජපක්ෂගේ හෝටලයකට හානි කලැයි පිරිසක් අත්අඩංගුවට

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂට අයත් යැයි කියන ඇඹිලිපිටිය කොලොන්න ගොන්ගලකන්ද කැලෑවේ ඉදිකර තිබු හෝටලයකට පහර දී ගිනි තබා එහි භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් සිවිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙම සැකකරුවන් ඉකුත් 22 -23 යන දිනයන් හි කොලොන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය මුලස්ථානය කියයි.

අරගලකරුවන්ට ඉකුත් මැයි මස 09 දින එල්ල වු ප්‍රහාරයට විරුද්ධව රටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වු අතර,එම සිදුවීම් වලට සමගාමීව කොලොන්න ප්‍රදේශයේ පිරිසක් ඉහත හෝටලයට පහර දී අලාභ හානි සිදුකර , එහි දේපළ සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

එම පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර සැකකරුන් සිවිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොලොන්න ප්‍රදේශයේ පදිංචි වයස අව්රුදු 25-50 අතර පුද්ගලයන් බවද පොලිසිය පවසයි.

නෙළුව සිට ලංකාගම දක්වා සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදිකිරිම සම්බන්ධයෙන් පසුගිය වසරේදී විශාල ආන්දෝලනයක් මතුවිය. එහිදී පරිසරවේදීන් පැවසුවේ පරිසර විනාශයක් කරමින් මෙම මාර්ගය කඩිමුඩියේ ඉදිකිරීමට හේතුව රාජපක්ෂවරුන්ට අයත් හෝටලයක් නිසා බවයි. එම චෝදනාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂවරුන් අදාළ පරිසරවේදීන්ට නඩු දමන බවට තර්ජනය කර තිබුණි.

කෙසේවෙතත් දැන් මෙම ගිනි තැබීමේ සිදුවීමෙන් පසු අනාවරණය වී ඇත්තේ රාජපක්ෂලාට අයත් හෝටලයක් සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව පැවති ඇති බවයි.

leave a reply