Breaking News

‘කාක් කාක්’ කියන ගමන් කපුටො ගැන දැනගමු

crow and raven කිව්වට රේවන් කියන පක්ෂියට හරි සිංහල වචනයක් නෑ. උත්තර අර්ධගෝලයේ ටිකක් ඉහල අක්ෂාංශ වලින් පැතිරීම තියෙන නිසා අපිට ගෝචර වෙන සහ ආසන්න භාෂා හුවමාරුව තුල මේ සත්වයා මුණගැහෙනවා අඩු නිසා වෙන්න පුළුවන් එහෙම වෙලා තියෙන්නෙ. තැන් කිහිපයක මම දැක්කා දෝනකාක කියන යෙදුම. නමුත් එහි නිරුක්තිය හොයාගන්න නෑ. පාලියේ වචනයක් තියෙනවා ‘කාකොල’ කියලා. කාකොල සිංහලට පරිවර්තනයේදි අර්ථ ද්විත්වයකින් යුක්තයි. පොල්වත්තේ බුද්ධදත්ත ශබ්දකෝෂයේ කියන්නෙ ‘වන කවුඩා’ යන අර්ථය. මඩිතියවෙල සුමඞගල ශබ්දකෝශයේ කියන්නෙ වන කපුටන් විශේෂයක් කියලා. ඔය අර්ථ දෙකම ගත්තෙ සමන්තකූටවණ්ණාව වගේ ග්‍රන්ථවල කාකොල කියන අර්ථය එන්නෙ වන කවුඩා ලෙස නිසා.

223 වෙනි ගාථාවේ මාර පරාජය ගැන විස්තර කරන තැන එනවා කාකොල සඞගා කියලා යෙදුම. අන්වය දීලා තියෙන්නෙ මහ වන කවුඩු සමූහයා. මගේ පෞද්ගලික මතය තමයි ඒ පරිවර්තනය වැරදි බව. හේතුව තමයි පාලියෙන් කාකොල කියන්නෙ ඔය උඩ කිව්ව රේවන් කියන පක්ෂියාට. හරියටම කිව්වොත් Corvus corax ලෙස විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පක්ෂියා. මාර පරාජයේදි බිය උපදවන ලෙස විස්තර වෙන්නෙ ඔය රේවන්ලා මිස කවුඩො නෙමේ. ඔය ටික ලිව්වේ සිංහල පර්යාය බඳ බිඳුමක් ආසන්නයටවත් තියෙනවද බලන්න.
කපුටා සහ රේවන් අයත් වෙන්නෙ Corvidae කියන කුලයට. කපුටන්ට, රේවන්ලාට අමතරව කෝවිඩේ කුලයට මැග්පයිලා අයති වෙනවා. අප්‍රෙල් 27 වෙනිදට සමරන්නෙ ඇත්තටම ඔය Corvidae කියන කුලය.

ලංකාවේ මේ කෝර්විඩ්ස්ලා (Corvids) විශේෂ තුනක් ඉන්නවා. ඔය අපි හැමදාම දකින කොළඹ කාක්කා කියන්නෙ Corvus splendens කියන විශේෂය. ගම්බද කපුටා කියලා දකින්න ලැබෙන ටිකක් ප්‍රමාණයෙන් විශාල සහ කාලවර්ණය වැඩි සත්වයා Corvus macrorhynchus කියන විශේෂය. මීට අමතරව මැග්පයි කාණ්ඩයට අයිති කැහිබෙල්ලා නොහොත් Urocissa ornata කියන්නෙත් පාට පාට කපුටො ජාතියක් තමයි.

කොර්විඩ්ස්ලා සමස්ථයක් ලෙස ගත්තම බුද්ධිමත් ජීවී කොට්ඨාසයක්. මොළ හතක් නැති වුනාට තියෙන මොළය උපරිමයෙන් පාවිච්චි කරනවා. කුරුල්ලන්ගෙ මිම්මෙන් ගත්තම ඉහළම බුද්ධියක් තිබෙන කාණ්ඩයක් වගේම යම් යම් අවස්ථාවල ප්‍රයිමේටාවන්ට අභියෝග කරන්නත් පුළුවන් ව්‍යතිරේක පවතිනවා. සත්ව කාණ්ඩවල බුද්ධිය ⁣ගැන පර්යේෂණ කරද්දි mirror test එක වැදගත් පර්යේෂණක්. ඒකෙන් කරන්නෙ දර්පණයකින් තමන්ව හඳුනා ගැනීමේ හැකියාව පවතිනවාද කියලා බලන එක. මේක කරන්න පුළුවන් අතලොස්සක් සත්ව විශේෂ අතර කොර්විඩ්ලා ඉන්නවා.
නිතර ගෙදර පැත්තෙ එන කපුටොනන් ඔබව, ඔබේ පවුලේ අයව, ඒ අයගේ චර්යා ආදී සියල්ලම හොඳින් දන්නවා සහ කටහඬ අඳුරනවා. මේ පක්ෂීන්ට පුළුවන් ගැටලු විසඳන්න, මෙවලම් භාවිතා කරන්න.

නිතර දෙවේලේ දකින්න ලැබුනම වටිනාකමක් නැති වුනාට, එතරම් වර්ණවත් නැති වුනාට මේ සතුන් ඉතාමත් හුරුබුහුටි සත්ව කොට්ඨාසයක්.
ශෙඩ් එකක තෙල් ගහපු එකෙක්ව ගෙනත් ඉසේ සිට පාදාන්තය දක්වා රට පිටින්ම හාගෙන මිනිහට කපුටා කපුටා කිව්වට ඇත්තටම කපුටො ගෞරවාන්විත සත්තු. රට කාපු එවුන්ට නැති වර්ගයා ගැන සහකම්පනයක් කපුටන්ට තියෙනවා වගේම අනතුරු හැඳනගැනීම සහ ඒවා මඟහැරයාමට පුළුවන් සත්ව කොට්ඨාසයක්.

Don Supz

leave a reply

Hits

Must see news