Breaking News

අඟුණකොලපැලැස්ස බන්ධාගාරය තුළ ඝාතනයක්

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට තුළදී අසංක ඉඳුනිල් නැමති පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා කතා බහක් ඇතිව තිබේ. මෙම බන්ධනාගාරය ආශ්‍රිතව සිරකරුවන් දන ගස්වා පහරදෙන ආකාරයේ වීඩියෝවක් මීට පෙර ප්‍රසිද්ධියට පත්විය.

ඒ අනුව අසංක ඉඳුනිල් නැමැත්තාගේ මරණය පහර දීමක් නිසා සිදු වුවක්දැයි ඔහුගේ පවුලේ ඥාතීන් සැක පළ කර තිබේ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට ඇතුල් කළ පසු මරුමුවට පත්ව ඇති අසංක ඉඳුනිල් සම්බන්ධයෙන් පවත්වන ලද මරණ පරීක්ෂණයේ දී ඔහුගේ හිස්කබලට හානි සිදු වී ඇති බව ඔහුගේ ඥාතීන් රෝහලෙන් දැනගෙන ඇති බවයි.

සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂක නීතීඥ සේනක පෙරේරා පවසන පරිදි 45 වියැති ජයසේකර ආරච්චිගේ අසංක ඉඳුනිල් ඇඹිලිපියිය අධිකරණය වෙත අප්‍රේල් 30 දා ගොස් ඇත්තේ සිය මිතුරකු වෙනුවෙන් ඇප තැන්පත් කිරීමටයි.

අධිකරණය තුලදී අසංක ඉඳුනිල්ගේ ජංගම දුරකථනය නාද වී ඇත. ආරක්ෂක නිලධාරීන් එහිදී ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ සාක්කුව තුළ තිබී ලයිටරයක්ද සොයා ගෙන තිබේ.

නීතීඥ සේනක පෙරේරා පවසන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අසංක ඉඳුනිල් දින 14 ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර අසංක ඉඳුනිල් සහ ඔහු ඇප දීමට ගිය ඔහුගේ මිතුරාත් දෙදෙනම අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට ඇතුලත් කරන ලද බවයි.

2025 මැයි 02 වැනිදා රාත්‍රි 10 ට අගුණකොලපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයා ඇඹිලිපිටිය මුලස්ථාන පොලිස් පරීක්ෂකට ලබා දී ඇති පනිවිඩයේ සදහන්ව ඇත්තේ ජයසේකර ආරච්චිගේ අසංක ඉඳුනිල් යන අය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ 2025/04/30 දින රක්ෂිත බාරයට පත් කර අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ඇතුලත් කර ඇති අතර සැකකරු බන්ධනාගාර රෝහලේ රඳවා සිටියදී ‘හදිසියේ ඇති වු තදබල අසනීප තත්වයක් මත’ 2025 මැයි 2 දින හවස් වරුවේ රෝහලට ඇතුලත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකරු මිය ගිය බව සැකකරු බාරව සිටි නිලධාරීන් තමන්ට දැන්වු බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත දේහය මියගිය අයගේ ඥාතියකු වන ගලගම මුල්ලගේ ලසිත් සුරංග වෙත මුදා හැරීමට
හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය මැයි 03 වැනිදා හම්බන්තොට රෝහලේ සුළු සේවා පාලක වෙත නියෝග කර තිබේ.

මෙම මරණය පහර දීමක් නිසා සිදු වුවක්දැයි සැක පහල කරන අසංක ඉඳුනිල්ගේ ඥාතීන් වැඩි දුරටත් පවසන්නේ ඔහුගේ හිස්කබලට හානි සිදු වී ඇති බව මරණ පරීක්ෂණයේ දී රෝහල මාර්ගයෙන් දැනගත් බවයි.

මරණයට පත්ව සිටින සිය ඥාතියාට බන්ධනාගාරය තුලදී පහර දීමක් සිදු වන්නට ඇති බවට සැක පහල කරන ඔවුන් අසංක ඉඳුනිල් ගේ මිතුරාද මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවට තොරතුරු දැන ගන්නට ඇති බව පළාත් බද මාධ්‍යවේදීන් සමග පවසා තිබේ.

අසංක ඉඳුනිල් ගේ මරණයට වග කිව යුතු සියළු දෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටින සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂක නීතීඥ සේනක පෙරේරා අවධාරණය කරන්නේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටි රැඳවියන් පිරිසකට 2019 වසරේ දණ ගස්වා පොලු මුගුරුවලින් පහර දෙන දර්ශන ඇතුලත් සී.සී.ටී.වී දර්ශන කීපයක් සිය සංවිධානය විසින් හෙළි කළ නමුත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් නිසි පියවරක් ගෙන නොමැති බවයි.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමුවන කෙටි කාලය තුළ පමණක් විවිධ ක්‍රියාමාර්ග ගන්නා නමුත් අවසානයේ මෙම සිදුවීම් සම්බන්ධ යුක්තිය ඉටුවීමක් දක්නට නැත. මේ හේතුව නිසා බන්ධනාගාර ආශ්‍රිතව මෙවැනි සිදුවීම් නිතර නිතර වාර්තා වේ.

leave a reply