Breaking News

ආර්ථිකය ගැන ආණ්ඩුවේ බොරු බයිලා ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බව ආණ්ඩුව කියයි. රුපියලේ අගය ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් ඩොලරයේ අගය පහත වැටෙමින් ඇති බැව් පෙනෙන්නට තිබුණද තවමත් භාණ්ඩ හා සේවා මිල පහත වැටී නැත. ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බව ආණ්ඩුව සඳහන් කරන්නේ තවමත් අප විදේශ ණය හා බැඳුම්කර ණය නොගෙවන වාතාවරණයක් තුළ බැව් අමතක කළ යුතු නොවේ. ණය ගෙවන්නට බිලියන ගණනක් අවශ්‍ය වේ. රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනගන්නට රජය කළේ හැකි තරම් බදු වැඩි කිරීමය. එලෙස බදු වැඩි කළද රජය අපේක්ෂා කළ බදු ආදායම සපුරා ගැනීමට නොහැකි බවත් අපේක්ෂිත ආදායම සහ ලබාගත හැකි ආදායම අතර පරතරය 14% ක් පමණ වන බවත් ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

වෙරිටේ රිසර්ච් ආයතනය මගින් පසුගියදා නිකුත් කරන ලද ‘The State of the Budget Report 2024’ නමැති වාර්තාව අවධාරණය කර සිටින්නේ 2024 වසරේදී, අඛණ්ඩව 33 වැනි වතාවටත් රටේ සැබෑ ආදායම, අයවැයෙන් අපේක්ෂිත ආදායමට වඩා අඩුවනු ඇති බවටය. මෙම වාර්තාව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සම්පාදනය කරනු ලබන වාර්තාවකි. එම වාර්තාව ආර්ථිකය සම්බන්ධ විශ්ලේෂණාත්මක කරුණු ප්‍රකාශයට පත්කිරීමෙහිලා දිවයිනේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk වෙබ් අඩවියෙහි, මහජනතාවගේ පරිශීලනය පිණිස පළ කෙරේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික අයවැයෙහි රාජ්‍ය මූල්‍ය, මූදල් සහ ආර්ථික ඇස්තමේන්තු පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් සහ තක්සේරුවක් මෙම වාර්තාවෙන් සපයයි. රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) එහි කාර්යභාරයට අදාළව ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂිත අයවැය වාර්තාවක අන්තර්ගතය මෙම වාර්තාවෙන් පිළිබිඹු කෙරේ. වාර්තාවේ අරමුණ වන්නේද, කාරක සභාව ප්‍රකාශයට පත් කරන වාර්තාව හා සමානව, අයවැයට අදාළව සමාජය සහ පාර්ලිමේන්තුව සිදුකරන මැදිහත්වීම් – කරුණු නිසි පරිදි හඳුනාගෙන, සිදුකරන මැදිහත්වීම් බවට පත්කිරීම සඳහා උපකාර කිරීම වේ.

ආණ්ඩුව සිදුකරන සහ අනෙක් අතින් පාර්ලිමේන්තුව අනුමත කරන අයවැය පුරෝකථනවලට වඩා නිරවද්‍ය අයවැය ඉලක්කයන් The State of the Budget වාර්තාවෙන් නැවත නැවතත් ඉදිරිපත් කර ඇත. එනිසාම එය, වෘත්තිමය මට්ටමින් සිදුකෙරෙන ආර්ථික විශ්ලේෂණයන්ට මෙන්ම රට වෙනුවෙන් ගන්නා තීරණවලටත් අමතරව අදාළ කරගත හැකි වැදගත් අධ්‍යයන වාර්තාවකි.

එකතු කළ අගය මත බදු (වැට්) ආදායම අධිතක්සේරු කිරීම ප්‍රක්ෂේපිත හිඟයෙන් 61% ක් වන අතර ඉතිරිය ආයතනික ආදායම් බදු, පෞද්ගලික ආදායම් බදු, සමාජ ආරක්ෂණදායක බද්ද (SSCL) සහ රේගු අධි තක්සේරු කිරීම්වලට හේතු වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි. ආනයන බදු, අධි තක්සේරු කිරීමේ මෙම අඛණ්ඩ රටාව වඩාත් නිවැරදි මූල්‍ය සැලසුම් සහ පුරෝකථන ක්‍රමවේදවල අවශ්‍යතාවය අවධාරණය කරයි.

පොලිය සහ ආදායම අතර අනුපාතය
ලෝකයේ වැඩිම පොලී පිරිවැය අනුපාතය, ශ්‍රී ලංකාව සතුවන අතර සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ තිරසාරභාවය සඳහා මෙම අනුපාතය අඩු කිරීම ඉතා වැදගත් වේ. (2022 වසරේ එය 78% ක් විය.) රජයේ 2024 අයවැය මගින් මෙම අනුපාතය 64% දක්වා අඩු කිරීමට අපේක්ෂා කර ඇත. කෙසේ වෙතත්, වෙරිටේ රිසර්ච් හි විශ්ලේෂණය අනුව පොලී පිරිවැය අනුපාතය 70% ඉක්මවනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි. (එම වාර්තාව අනුව එය 74% ක් පමණ වනු ඇත.) එය ආර්ථික ප්‍රතිසාධනයට සහ ණය තිරසාරභාවයට බාධාවක් වේ. ගෙවුණු වසර කිහිපයේද, තත්ත්වය එසේ විය. මෙම තත්ත්වය යටතේ ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේද, අනුමැතිය ලබාගෙන ඇති සැලසුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇත. එම සැලසුම නිසි පරිදි ක්‍රියාත්මක කිරීම, ණය තිරසරභාවය සැලකීමේදී, තීරණාත්මක සාධකයක් බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වී තිබේ.

අධි තක්සේරු බදු ආදායම
ශ්‍රී ලංකාව 1991 වසරේ සිට අයවැයක් මගින් දළ දේශීය නිෂ්පාදිතයේ ඉලක්කය සපුරාලන ආදායමක් ලබාගෙන නොමැත. ඉතා මෑතකදී ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව වාර්තා කළේ බදු ආදායම 2023 වසරේ අයවැය ඉලක්කයට වඩා 13% කින් අඩු වූ බවයි.

2024 සඳහා, රජය රුපියල් බිලියන 4,164 ක ආදායමක් අපේක්ෂා කරයි. ඒ පසුගිය වසරට වඩා රුපියල් බිලියන 1238ක් හෙවත් 42% ක වැඩිවීමකි. කෙසේ වෙතත්, වෙරිටේ රිසර්ච් අයවැය වාර්තාව අනුව එහි 14% ක හෙවත් රුපියල් බිලියන 594 ක හිඟයක් පවතී. රජයේ ආදායම වන්නේ රුපියල් බිලියන 3,570 ක් පමණි.

මෙම ඇස්තමේන්තුගත රුපියල් බිලියන 594ක හිඟයෙන් 61% ක් එකතු කළ අගය මත බදු (වැට්) ආදායම අධිතක්සේරු කිරීම නිසා බවත් ඉතිරි 39% සමාගම් ආදායම් බදු, පෞද්ගලික ආදායම් බදු, සමාජ ආරක්ෂණ දායක බද්ද (SSCL) සහ රේගු ආනයන බද්දෙන් ලැබෙන ආදායම අධිතක්සේරු කිරීම නිසා බවත් වාර්තාව හඳුනාගෙන ඇත.

අවසාන වශයෙන්, “The State of the Budget Report 2024” මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අභියෝග පිළිබඳ සංවේදී තක්සේරුවක් ඉදිරිපත් කරයි. මෙම ගැටලු විසඳීම සඳහා ආදායම් එකතු කිරීමේ යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම, මූල්‍ය ඉලක්ක නිවැරදිව පුරෝකථනය කිරීම සහ තිරසර ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයක් සහතික කිරීම සඳහා විචක්ෂණශීලී මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීම සඳහා ඒකාබද්ධ උත්සාහයන් අවශ්‍ය බවද ඔවුහු පෙන්වා දෙති.

වෙරිටේ රිසර්ච් වාර්තාව (The State of the Budget Report 2024 ඇසුරිනි.)

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා (දේශය)

leave a reply