Breaking News

ඡන්ද පොරොන්දු සමඟ රනිල් පාර්ලිමේන්තු සභා වාරය විවෘත කරයි

අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දෙන බව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ වර්ෂයේ අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන බවද මෙමගින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බවද ඔහු කීය.

මේ සා විශාල ප්‍රමාණයක මුදල් සහනාධාරයක් ඉතිහාසයේ කිසි කලෙක ලබාදී නැතැයිද රනිල් සඳහන් කළේය.

නමවන පාර්ලිමේන්තුවේ පස්වන සභා වාරය විවෘත කරමින් රනිල් වික්‍රමසිංහ මෙම කතාව සිදුකර ඇත. අර්බුද වලින් ගොඩ එන්න පුළුවන් වන්නේ අර්බුදවලට ශාප කරමින් සිටීමෙන් නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.

වසරකට සංචාරකයන් ලක්ෂ 50ක්

2022 අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9% ක් වූ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය, 1977න් පසු පළමු වරට 2023 වසර අවසානයේදී අතිරික්තයක් ඇති කර ගත හැකි වූ බව 9 වන පාර්ලිමේන්තුවේ පස් වන සැසිවාරය විවෘත කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

2022 අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්‍රාථමික හිඟය, 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් කර ගැනීමට හැකි වූ බවත් නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වූ 6 වැනි අවස්ථාව මෙය බවත් ඔහු කීය.

2021 වසරේදී 194,495ක් වූ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2023 වසරේදී 1,487,303ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ අතර මේ වසරේ ජනවාරියේදී පමණක් 200,000කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි බව රනිල් පැවසීය. වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාව බවද සඳහන් කළේය.

ආර්ථිකය ප්‍රකෘති කළා

ශ්‍රී ලංකා ආර්ථිකය කෙටි කලකදී ප්‍රකෘති කිරීම ලෝක වාර්තාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවසීය.

“දිගුකාලීන වේදනා හා දුෂ්කරතාවයකින් තොරව අප රටේ ආර්ථිකය ප්‍රතිසාධනය කර කරගන්න හැකි වුණා.

ග්‍රීසියට දිගු කලක් වේදනා විඳින්නට සිදුවුණා.ඔවුන්ට ආර්ථිකය ප්‍රකෘතිමත් කරගන්නට වසර දහයක් ගත වුණා. අපට කෙටි කලකදී සුවිශේෂ ජයග්‍රහණ ලබා ගන්නට හැකිවීම ලෝක වාර්තාවක්.

එය අහම්බ සිද්ධියක් නොවේ. ඉතා පරිස්සමෙන් සැකසූ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙන් ඒ තත්ත්වය උදාකර ගත්තා.

අපට අවාසි උනත් රටට හිතකර තීන්දු ගැනීමට අප පසුබට වුණේ නැහැ.පෞද්ගලික අභිලාස පසෙකලා රට වෙනුවෙන් තීරණ ගත්තා.”

අර්බුදයට ශාප කරමින් සිට අර්බුද විසඳන්න බෑ

ජනපති එහිදී මෙසේද කීය.

ලෝකය විවිධ අර්බුදවලට මුහුණ දුන්නා. රටවල් අර්බුද වලට මුහුණ දුන්නා. පෞද්ගලික ජීවිත අර්බුද වලට මුහුණ දුන්නා.සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩ ආ අතර සමහර අවස්ථාවලදී අර්බුදවලට ගොඩ එන්න බැරි වුණා.

තමා තමාටම පහනක් වන ලෙස බුදුන් වහන්සේ පවසා තිබෙනවා.අපටම අප පහනක් උනේ නැතිනම් අපට යහපතක් නැහැ. රටටත් යහපතක් නැහැ.

leave a reply