දරුවන්ට කන්න දෙන්නවත් විදිහක් නැති නිසා පාසල් එවන්න වෙන්නේ නැහැ – මවක් විදුහල්පතිවරයාට ලිපියකින් දන්වලා

Date:

දැඩි ආර්ථික අපහසුතා නිසා තම දරු තිදෙනා පාසලට එවීමේ හැකියාවක් නැතැයි ගිනිගත්හේනේ පදිංචි දෘෂ්‍යාබාධිත මවක් දරුවන් අධ්‍යාපනය ලබන ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලිපියකින් දැනුම් දී ඇත.

දරුවන්ට අවශ්‍ය ආහාරපානවත් ලබාදිය නොහැකි මට්ටමක පවතින බව ඇය ලිපියක් මගින් තමන්ට මෙම දැනුම්දීම කර ඇතැයි එම විදුහලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් ප්‍රකාශ කර ඇත.

ගිනිගත්හේන බෝගල්කන්ද නිකතැන්නේ පදිංචි නිරෝෂා ප්‍රියංගනි නමැති 38 හැවිරිදි තිදරු මව විදුහල්පතිවරයාට මෙම දැනුම්දීම කර ඇති අතර ඇය උපතින්ම දෘෂ්‍යාබාධිත කාන්තාවකි.

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක කම්කරුවකු ලෙස සේවය කරමින් සිටි ඇයගේ සැමියා මීට වසර දෙකකට පමණ පෙර හිස මතට ගලක් පෙරලීමෙන් මියගොස් ඇතැයි ද ඇය තම ලිපියෙහි සඳහන් කර ඇත.

තමන් පදිංචි නිවස සැමියා සේවය කළ පෞද්ගලික ආයතනයෙන් ඉදිකර දුන් බවත්, අසල්වාසීන්ගෙන සහ නෑ හිතවතුන්ගෙත් ලැබෙන සහයෙන් සහ රජයෙන් ලබාදෙන සමෘද්ධි සහනාධාරයෙන් තම දියණියන් දෙදෙනා සහ පුතු රැක බලාගෙන දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ පාසල් යවන බව ද නිරෝෂා ප්‍රියංගනි විදුහල්පතිවරයාට යොමු කළ ලිපියේ දැක්වේ.

ඇයගේ වැඩිමල් දියණිය ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර, ඇයගේ අනෙක් දරු දෙදෙනා ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ 1 සහ 2 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබමින් සිටිති.

එම දරුවන්ට පාසල් කාලයේ දී විදුහලේ ගුරුවරුන් විසින් ආහාරපාන දෙනු ලබන නමුත් එය තාවකාලික විසඳුමක් නිසා ඔවුන්ගේ පාසල් දිවිය රැක බලා ගැනීමට කිසියම් අයකු හෝ ආයතනයක් ඉදිරිපත් වන්නේ නම් එය ඔවුන්ට ලබාදෙන විශාල උපකාරයක් වනු ඇතැයි විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් පවසා තිබේ.

එම පවුලේ වැඩිමල් දියණිය පාසල් යන්නේ නිවසේ වැඩ කටයුතු සිදු කර ගනිමින් තම මව, නැගණිය සහ සොහොයුරා රැක බලා ගනිමින් බව ද පාසල් නිවාඩු කාලයේ දී දරුවන්ට ගුරුවරුන්ගෙන් හෝ ආහාර නොලැබෙන නිසා තමන් විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටින බව ද දරුවන්ගේ මව පවසන බව විදුහල්පතිවරයා පවසා තිබේ.

තිදරු මව විදුහල්පතිට එවා ඇති ලිපියේ මෙසේ සඳහන් වෙයි

විදුහල්පතිතුමනි, මගේ ලොකු දුව පාසලේ හය වසරේ ඉගෙනුම ලබනවා. අනෙක් දියණිය සහ පුතා ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබනවා. මම මේ ලිපිය ලියන්නේ අසල්වාසී ඥාතියකුට කියලා. මගේ සැමියා වසර දෙකකට පමණ පෙර හදිසි අනතුරකින් මියගියා.

අප ජීවත්වන්නේ දැඩි ආර්ථික අපහසුතා මැද්දේ. ළමයි ඉගෙන ගන්න හරිම ආසයි. එහෙත් අප දවස ගතකරන්නේ වැඩිහරියක් කුසගින්නේ. පාසලේ විවේක කාලයේ අනෙක් ළමයි කෑම කනකොට මගේ දරුවන්ට කන්න දෙයක් නෑ. ඒ අය හරිම දුකෙන් ඉන්නේ. ඒ ගැන මට ගෙදර ඇවිත් දුක කියනවා. ඒ වෙලාවට මගේ පපුව පිච්චිලා යනවා.

මට මේ දුක තවත් දරාගෙන ඉන්න බැරි නිසා ළමයි තුන්දෙනා පාසලට එවීමට නොහැකියි. කවුරු හරි පිහිට වෙනවා නම් මට ළමයින්ට උගන්වන්න පුළුවන්. මට මේ ගැන කියන්න වෙන කවුරුත් නැති නිසා තමයි විදුහල්පතිතුමනි ඔබතුමාට මේ දුක කියා එවුවේ.

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...