මර්දනය නවතනු! රුහුණ සරසවි ප්‍රජාවගේ නිදහස වෙනුවෙන් පෙළගැසෙමු!
පසුගිය වසර තුනක පමණ කාලයක සිට රුහුණ විශ්වවිද්‍යාලය තුළ සුජීව අමරසේන උපකුලපතිවරයා විසින් ගෙන යනු ලබන අත්තනෝමතික ප්රජාතන්ත්ර විරෝධී මිලිටරිමය පරිපාලන ආකෘතිය සහ උපකුලපති නිළවරණය සමඟ විශ්වවිද්‍යාලය තුල උද්ගත වී ඇති අර්බුදකාරී තත්වය සම්බන්ඳව රුහුණ විශ්වවිද්‍යාලයේ ආදිවිද්යාර්ථයින් විසින් අද දින (07) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
සුජීව අමරසේන මහතා රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට පත්වී මේ වන විට වසර තුනකට ආසන්න වෙමින් ඇත. එම වසර තුනකට ආසන්න කාලය තුළ ඔහු විසින් සුවිශාල ප්රජාතන්ත්ර විරෝධී මර්දන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලදී. ශිෂ්‍යයන්ට පමණක් නොව ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවකයන්ටද අත්තනෝමතිකත්වයට මුහුණදීමට මේ වනවිට සිදුව ඇත. විරුද්ධ මත දැඩි ලෙස මර්දනය කළ ඔහු තම ඕනෑම අදහසකට එකඟවන එහෙයියන් පිරිසක් සමග පමණක් එකතුව විශ්වවිද්‍යාල පරිපාලනය ගෙනයමින් ඇත. වත්මන් නියෝජ්‍ය උපකුලපතිවරයා සහ විනය පාලක වරයා උපකුලපතිවරයාගේ පදයට නටන රූකඩ පරිපාලකයන් ලෙස පෙරමුණෙනම සිටී. මෙවැනි තත්වයක් තුළ විශ්වවිද්‍යාල ප්‍රජාව ලෙස සිසුන්, ආචාර්යවරුන්,අනධ්‍යන සේවකයන් අතර දැවැන්ත විරෝධයක් සුජීව අමරසේන උපකුලපතිවරයාගේ පරිපාලනයට එරෙහිව ගොඩනැගී ඇත.
විශ්වවිද්‍යාලයක් තුල නිදහසේ ඉගනීමට හැකි එය සියලු ජන ප්‍රජාවන්ට විවෘත, ඉබි යතුරු දමා වසා නැති භූමියක් බවට රුහුණ පත් විය යුතුය. විද්යාලයාලය තුළ අධ්‍යයන නිදහස මෙන්ම දේශන ශාලාවෙන් බැහැරව සිදුකරන ක්‍රියාකාරකම් සඳහා ද නිදහස තිබිය යුතුය. එසේම සංවිධානය වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස විශ්වවිද්‍යාලය තුළ තිබිය යුතුය.”විශ්වවිද්‍යාලය”යන වචනයට සැබැවින්ම එහි අර්ථය එකතු වන්නේ එවිටයි. සමාජ විරෝධී සහ සදාචාර විරෝධී නොවන ක්‍රියාවන් සඳහා විශ්වවිද්‍යාලය තුළ සීමා පැනවෙන්නේ නම් එය විශ්වවිද්‍යාල අධ්‍යාපනය මොට කිරීමකි. විශ්වවිද්‍යාල පාලකයන්ට අවශ්‍යය වන්දිභට්ටයින් තනන අවකාශයක් නම් අප සමාජයක් ලෙස තවදුරටත් ඛේදවාචකයටම තල්ලු වීම වළකාලිය නොහැක. කණගාටුවට කරුණ නම් රුහුණ විශ්වවිද්‍යාලය පාලනාධිකාරිය විසින් එවැනි විචාරශීලී සබුද්ධික ශිෂ්‍ය ප්‍රජාවක් බිහි වීමට ඇති ඉඩකඩ අවුරා දමමින් තිබීමයි. ඒ සඳහා සුජීව අමරසේන උපකුලපතිවරයා ඇතුළු පිරිස ගත හැකි සියලුම නන්විද උත්සාහයන් ගනිමින් ඇත.
විශ්වවිද්‍යාලය තුළ සිසුන් ඒකරාශි වන ස්වාධීන සිසු ක්‍රියාකාරකම් තහනම් කර ඇත. සාමූහික අධ්‍යයන කටයුතු සිදු කිරීම පවා තහනම්ය. හැඳුනුම්පත පෙන්වා ගේට්ටුවෙන් ඇතුල් වී සවස හයෙන් පසුව විශ්වවිද්‍යාලයෙන් ඉවත් විය යුතුය. දේශන නොමැති විට විශ්වවිද්‍යාලය තුළ සිටීමද දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇත. සිසුන් නේවාසිකාගරයට සවස හය වනවිට වාර්තා කළ යුතුය. නේවාසිකාගාර වල පවා CCTV කැමරා සවි කර ඇත්තේ ශබ්ද පටිගත කිරීමේ තාක්ෂණයද සමඟය. විශ්වවිද්‍යාලය තුල ද CCTV කැමරා සවි කර ඇත. බැනර් හෝ පෝස්ටර් විශ්වවිද්‍යාලය තුළ ප්‍රදර්ශනය කර අදහස් ප්‍රකාශ කිරීම තහනම්ය. විශ්වවිද්‍යාල තුල පවතින ඇතැම් පසුගාමී සංස්කෘතිකාංග පලිහක් ලෙස ගෙන සිසුන් මර්දනය සඳහා කටයුතු කිරීම සුජීව අමරසේන උපකුලපතිවරයාගේ සැලසුම වී ඇත. පසුගිය කාලය තුල රුහුණ විශ්වවිද්‍යාල පරිපාලනයේ ක්‍රියාකලාපය සම්බන්ඳව ස්වාධීන කොමිෂන් සභාවක් පත් කර සිසුන්, ආචාර්යවරුන් හා සේවකයන්ගෙන් සාක්ෂි විමසා සුජීව අමරසේන උපකුලපතිවරයා ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අප රජයට බලකර සිටිමු. රුහුණ විශ්වවිද්‍යාලයේ පවතින මෙම මර්දනකාරි වැඩපිලිවෙලට එරෙහිව සාමුහික බලයක් නිර්මාණය කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයීය ආදී විද්‍යාර්ථයින් ලෙස මැදිහත්වීම ඓතිහාසික වගකීමක් ලෙස අප හඳුනා ගනිමු.
රුහුණ සරසවි ආදී විද්‍යාර්ථයින්