Breaking News

ඒ අමිළ ජීවිත පාඩමට ස්තුතියි, ජගත් ! කුමාර ලියනගේ කියයි

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහට එරෙහි ව පළ කර තිබෙන Lanka E news / Lanka Mirror වැනි ගොසිප් සයිට්වල සඳහන් චෝදනා මා මුලින් ම දැනගත්තේ ජර්මනියේ වෙසෙන ජගත් රන්දෙණිය මිතුරා ඊයේ මහ රෑ මා වෙත එවා තිබෙන පණිවිඩයෙනි.

මේ ‘ගොසිප් චෝදනා – 02‘ මා කියෙව්වේ අද උදෑසන ය.

මේ චෝදනාමාලාවේ දක්වා තිබෙන ඇතැම් තොරතුරු මා විසින් ද දැනගනු ලබන්නේ මුල්වරට ය. ඒවායේ සත්‍යාසත්‍යභාවය පිළිබඳ ව අදහස් දැක්වීමට තවමත් වේලාසන වැඩි ය.

එහෙත් මා නො දන්නා එවැනි චෝදනා හැර, චෝදනාමාලාවේ සඳහන් ඇතැම් තොරතුරු මා ද දන්නා ඒවා ය. ඒවා මගේ දැනුමේ ආකාරයට සත්‍යය ය.

ජගත් වික්‍රමසිංහ ගේ මේ කටයුතුවලට සහ මා ගේ කරුණු ඉදිරිපත් කිරීමට ඉතිහාසයක් තිබේ.

ජගත් යනු මා ගේ පවුලේ හිතවතෙකි. එය මිත්‍රත්වයට වඩා එහා ගිය සහෝදරාත්මක බැඳීමකි. අප අතර පවුල් ජීවිතවලට බැඳුණු රසවත් අතීතයක් තිබේ. අප දෙදෙනා විසින් සිදු කරන ලද ගීත නිර්මාණ රැසක් තිබේ. ඒවා නිර්මාණය කිරීමෙන් අප බලාපොරොත්තු වූයේ පොදුජන රසිකත්වය සමෘද්ධ කිරීම ය.

කෙසේ වෙතත්, ජගත් වික්‍රමසිංහ ජාතික ගුවන්විදුලියේ සභාපතිවරයා ලෙස පත්වූයේ ඉතා මෑතකදී ය. ඊට පෙර මේ වර්ෂයේ ජනවාරි මාසයේ රජයේ ආයතනයක සේවය කිරීම සඳහා මා හට ආරාධනයක් රාජ්‍ය මට්ටමින් ලැබුණු අතර, එවිට මා එකහෙලා පැවසුවේ මා ගේ කැමැත්ත තිබෙන්නේ ජාතික ගුවන්විදුලියට බව ය. ඒ අනුව ජන.20ට පෙර ඊමේල් පණිවිඩයකින් මා ගේ කැමැත්ත සහ ජාතික ගුවන්විදුලිය සංවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳ සංකල්ප පත්‍රයක් ද ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කළෙමි.

ජගත් වික්‍රමසිංහ ගේ පත්වීමට පෙර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති තනතුරට පත්වීමට නියමිත ව සිටි මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ සමඟ ද මේ පිළිබඳ ව මම සාකච්ඡා කර ඇත්තෙමි. ජගත් වික්‍රමසිංහ සභාපති තනතුරට පත්වූයේ ඒ අතරවාරයේ ය.

ඒ සමඟ ම උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට ජගත් වික්‍රමසිංහ ගෙන් මා හට ද ආරාධනාවක් ලැබිණි. මා එය ඉතා කැමැත්තෙන් භාරගත්තේ, මා විසින් ඊට පෙර එවැනි තනතුරක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරගෙන තිබුණු නිසා ය.

ඒ අනුව 2020.03.02 වැනි දාතමින් මම ද ශ්‍රී ලංකා ගුවන්විදුලියේ උපදේශක තනතුරට පත් වුණෙමි. ඒ සමඟම ටී.ඩී.කේ.ජයන්ත, සමන් දිසානායක, කේ.ඩී.එල්. සුනන්ද, ජගත් ගාමිණී මාවතගම යන අය ද උපදේශක තනතුරුවලට පත් වූ හ.

අප වැඩ බාරගත් කාලයේ ම කොරෝනා වසංගතය පැමිණි හෙයින් මවිසින් අපේක්ෂා කරන ලද වැඩසටහන් නිර්මාණය කිරීම, ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම, නව ව්‍යාපෘති හඳුන්වා දීම වැනි කටයුතු තාවකාලික ව නතර කර දැමීමට සිදු වූ බව ප්‍රකට ය.

මෙලෙස කොරෝනා වසංගතය සමඟ අප ජීවිත පරදුවට තබා කටයුතු කළෙමු. මම කොරෝනා වසංගතය සමයේ දිනපතා සතියේ දිනවල දිනපතා සේවයට ගියෙමි. මා එසේ කළේ ජාතික ගුවන්විදුලිය පිළිබඳ ව මා තුළ තිබෙන ළබැඳියාව නිසා ය.

මා කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසුණේ ජාතික ගුවන්විදුලියේ සොඳුරු සෙවන (ධම්මික පී. රත්නායක සහ ජයන්ත රෝහණ විසින් නිෂ්පාදනය කරන ලද බදාදා සහ සිකුරාදා වැඩසටහන්) නිසා ය. මේ පිළිබඳ ව සටහනක් මා ගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන ‘විමානයෙන් බසිනු මැනවි‘ – 1988 කෘතියේ පෙරවදනේ සඳහන් ය.

මා විද්‍යුත් මාධ්‍යයකින් කතා කළේ ද ජාතික ගුවන්විදුලියෙනි. ඒ කරුණාරත්න අබේසේකර සූරීන් ගේ සහෝදරයා වන ගුණරත්න අබේසේකර සූරින් විසින් නිෂ්පාදනය කරන ලද ‘වසන්ත සඳැල්ල‘ වැඩ සටහනෙනි. මා මුල්වරට විද්‍යුත් මාධ්‍ය වැඩසටහනක් නිෂ්පාදන කරන ලද්දේ ද ජාතික ගුවන්විදුලියෙනි. ඒ ‘ඉසව්ව‘ වැඩසටහන ය. එසේ ම සරල ගී නිර්මාණකරණයේදී මා හට විශාරද බී.වික්ටර් පෙරේරා, විශාරද ඩී.ආර්.පීරිස්, ප්‍රවීණ වාද්‍යවේදී ඒලියන් ද සොයිසා වැනි අග්‍රේසරයන් සමඟ කටයුතු කිරීමට භාග්‍යය ලැබුණේ ද ජාතික ගුවන්විදුලිය නිසා ය. ඊට අමතර ව මා කුඩා කාලයේ සිට මා ගේ රසභාව පෝෂණය කරන ලද්දේ ද ජාතික ගුවන්විදුලියෙනි. මා අද නිර්මාණකරණයේ යම් ස්ථානයක සිටී ද එහි ගෞරවයෙන් සැලකිය යුතු කොටසක් මා තුළ සුභාවිත රස මතු කළ ජාතික ගුවන්විදුලියට හිමි වේ. ඒ අනුව මට කිසි දා ගෙවා පියවිය හැකි ණයක් ජාතික ගුවන්විදුලියට තිබේ. මා ජාතික ගුවන්විදුලියට පැමිණියේ එකී ගරුසරු කටයුත්ත උදෙසා ය.

ජගත් වික්‍රමසිංහ සමඟ ජාතික ගුවන්විදුලියේ කටයුතු කළ මුල් මාසයක පමණ කාලය තෘප්තිකර ය. ඔහු ගෙන් මට බාධා නො පැමිණිණි. මම කාර්ය මණ්ඩලය සමඟ අනාගතය සැලසුම් කළෙමි. එහෙත් මාසයක් පමණ ගත වන විට ඔහු ගේ ක්‍රියාකලාපය හිතා ගැනීමටත් බැරි ආකාරයට වෙනස් වූ බව සඳහන් කළ යුතු ය. ඔහු ජාතික ගුවන්විදුලියේ සේවය කරන එක්තරා අමන පිරිසක් සමඟ කටයුතු කිරීමට පටන් ගත්තේ ය. ඔවුහු විෂය පිළිබඳ ප්‍රාමාණිකයෝ නො වෙති. විවිධ කූට පසුබිම් ඇත්තෝ වෙති. එය ඔහු විසින් ම නම් කරන ලද කල්ලියක් වූ අතර, ජගත් වික්‍රමසිංහ ගේ යෝජනාව වූයේ ඒ කල්ලිය ශක්තිමත් කළ යුතු බව ය. මම මුල සිට ඔහු ගේ මේ විපරීත ආකල්පයට එරෙහි ව කටයුතු කළෙමි. මා ජාතික ගුවන්විදුලියට පැමිණියේ කූට කල්ලි පෝෂණය කිරීමට නො ව, ජාතික ගුවන්විදුලයේ අනාගතය යහපත් ලෙස ගොඩනැගීමට ය.

ජගත් වික්‍රමසිංහ එක් අතකින් මාගේ මිත්‍රයා ය. අනෙක් අතින් මා උපදේශක තනතුර දරන ජාතික ගුවන්විදුලියේ වර්තමාන සභාපතිවරයා ය. මේ දෙයාකාර සම්බන්ධතා තිබියදී, ඔහු කූට කල්ලියකට වැටී මා හට ද, කිසිදු තාර්කික පදනමක් නොමැති ව වෘත්තීමය වශයෙන් සිදු කරන ලද පීඩනය පුදුමසහගත ය. ඔහුට මුල අමතක විණි. ජාතික ගුවන්විදුලියට ආ කාරණය අමතක විණි. ඒ වෙනුවට ඔහු ගේ කාර්යාලයේ මේ කූට කල්ලි නිතර තබා ගනිමින් විවිධ සාකච්ඡා පවත්වන්නට කටයුතු කිරීම නිසා පසුව ඔහු ගේ නො සැලකිල්ලට මා ද ගොදුරු විණි. එය කොපමණ දුර ගියේ ද යත්, උදාහරණයක් වශයෙන් ප්‍රවෘත්ති අංශයේ පවතින වර්තමාන අක්‍රමවත්භාවයට එරෙහි ව මා විසින් ඉස්මතු කරන ලද දුර්වලතා, මා ඉදිරිපිට අතිශය පක්ෂග්‍රාහී ව ප්‍රතික්ෂේප කරමින්, මා දැඩි පීඩනයකට හසු කෙරෙන ආකාරයෙන්, පවත්වන ලද රැස්වීම දැක්විය හැකි ය. එය මා හට පෞද්ගලිකවත්, වෘත්තීයමය වශයෙන් පොදුවේත් සිදු කරන ලද නිගරුවක් බව සපුරා සඳහන් කරමි. කිසියම් ආයතනයක සභාපතිවරයෙක්, ඔහු විසින් ම පත් කරන ලද උපදේශකවරයෙකු ගේ අදහසක්, ප්‍රසිද්ධියේ අතාර්කික ව බැහැර කරමින්, එයට නිගරු වන අන්දමේ කටයුතු කරන්නේ නම්, සිතාගත යුත්තේ කුමක් ද?

ජාතික ගුවන්විදුලියේ වර්තමාන ප්‍රවෘත්ති අංශය ද අත්තනෝමතික පාලනයකට නතු වූවකි. ඊට සභාපතිවරයා උල්පන්දම් දෙන බව ප්‍රකට ය. දක්ෂයන්ට නිර්ලජ්ජී ලෙස බෙලි කැපිලි සිදු කරන, ප්‍රවෘත්ති අංශයේ අද පවතින දුර්වලතා සියල්ලට හේතුව මේ අකාර්යක්ෂම පිළිවෙත ය.

උක්ත රැස්වීමේදී එක්තරා ආකාරයකට මරියකඩේ පන්නයේ හැසිරීමක් තිබෙන සේවිකාවක් ද, සභාපතිවරයා ගේ අවකල් ක්‍රියාවට උඩගෙඩි දෙමින් ගෝරනාඩු කිරීමට පටන් ගත් අතර, මා විසින් ඉදිරිපත් කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරන්නට ද උත්සාහ දැරුවා ය. එහෙත් දෛවෝපසහගත ලෙස, සභාපතිවරයා ප්‍රමුඛ ප්‍රවෘත්ති අංශයේ නිලධාරි කණ්ඩායම, එකී චෝදනාවට ම, ඊට පසු දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැති රැස්වීමකදී, ජනාධිපති ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහාන් සමරනායක මහතා විසින් ලක් කර තිබිණි. බලයෙන් මත් වී, අන්ධ වී සිටි වර්තමාන සභාපතිවරයාට සිහි එළැඹුණේ අදාළ රැස්වීමෙන් පසු ව ය. ඉන්පසු ඔහු මා හමු වී පෙර දින සිදු කරන ලද මා ගේ මැදිහත්වීමට ව්‍යාජ ලෙස ස්තුති කළේ ය.

ඔහු සහ මා අතර පැවැති සකලවිධ සම්බන්ධතා ස්ථිර ලෙස ප්‍රතික්ෂේප කිරීමට මා පෙළඹෙන්නේ එහිදී ය. මේ එක් සිද්ධියක් පමණි. මෙවැනි අසාධාරණ සිදුවීම් රැසක් තිබේ.

මා එලෙස අහේතුක ආකාරයට නිගරු විය යුතු නැත. ඊට හේතුව මම මගේ වෘත්තීය සේවා කාලය උපරිම ලෙස භාවිත කරමින්, ජාතික ගුවන්විදුලියට හැකි පමණ සේවය කර ඇති නිසා ය. ඒවාට කාර්ය මණ්ඩල සාමාජිකයෝ සාක්ෂි දරති.

පසුගිය දෙමාසයක පමණ කාලයක් පුරා, මෙලෙස ඔහු ගේ විෂමාකාරී හැසිරීමෙන් බැට කෑ ජාතික ගුවන්විදුලියේ විශිෂ්ට දක්ෂතා තිබෙන පුද්ගලයෝ එමට වෙති. මේවා විධිමත් පරීක්ෂණයකින් හෙළිදරව් කරගත හැකි ය.

සභාපතිවරයාට අවශ්‍ය වූයේ ඔහු ගේ ඊනියා කල්ලියේ අදහස් ඔස්සේ, එකී කල්ලිය පෝෂණය කරමින්, ඔවුන්ට විවිධ වරදාන දෙමින්, සංස්ථාවේ දෛනික සේවා කටයුතු සිදු කරන බොහෝ වෘත්තිකයන් අපහසුතාවට පත් කරමින්, බලය අයුතු ලෙස පරිහරණය කරමින්, අත්තනෝමතික ලෙස, පක්ෂග්‍රාහී ව කටයුතු කිරීමට ය.

මේ කල්ලිය යනු ජාතික ගුවන්විදුලිය තුළ වඳ බැස තිබෙන, එහි කඳන් පනුවන් මෙන් විනාශයට වළ කපන, එන එන සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සමඟ හැකි පමණ කූට සම්බන්ධතා පවත්වන, ජාතික ගුවන්විදුලියට කොඩිවිණයක් වී තිබෙන පිරිසකි. ඔවුහු නිතර, වසූරිය ලෙඩුන් මෙන් නිතර කොරෝඩෝ දිගේ ඇවිද එමින්, සභාපතිවරයා ගේ කාර්යාලයට රිංගනු ඕනෑම අයෙකුට නිරීක්ෂණය කළ හැකි ය. එලෙස ඇතුළට යන ඔවුන් නැවත පැමිණෙන්නේ පැය ගණන් කාලය නාස්ති කරමිනි. එලෙස කටයුතු කරන ඔවුහු, සේවා උසස්වීම් ඉල්ලති. අනෙකාට කැපිලි කෙටිලි දමති. එයින්, සංස්ථාවේ දෛනික නිල රාජකාරි අවශ්‍යතා සඳහා ඉටුකර ගැනීමට පැමිණෙන අයට ඉමහත් බාධා පැමිණෙන බව අත්දැකීමෙන් දනිමි. මම ද එකී දුෂ්කරතාවට කිහිප වතාවක් ලක් වී ඇත්තෙමි. සභාපතිවරයා ගේ කෑම කාමරටය ද රිංගන මොවුන් අතර සිටින ඇතැම් කාන්තාවන් සභාපතිවරයා ගේ කාර්යාලයට එන්නේ තේ බීමට ය. එක්කෝ වල්පල් දෙඩීමට ය. සංස්ථාවේ බලය අයුතු ලෙස පරිහරණය කරන්නෝ මොවුහු ය.

ඇතැම්හු දවස පුරා, සභාපතිවරයා ගේ කාර්යාලයේ කාලය කා දමමින්, ඔහුට ආවතේවකම් කරමින්, කටයුතු කරති. දුෂ්ඨ උපදෙස් ලබා දෙති. මේවා මා පෞද්ගලික ව දන්නා දේ ය. එවැනි අවකල් ක්‍රියා කොතෙකුත් මම දැක ඇත්තෙමි.

ඔහු ගේ කල්ලියට කේලාම් කියන්නෝ, ඔත්තුකරුවෝ, ඕපදූපකරුවෝ, ගොඩ පෙරකදෝරුවෝ, බක පණ්ඩිතයෝ, ලනු දෙන්නෝ, තනතුරු හිඟන්නෝ අයත් වෙති. සංස්ථාව අවුල්සහගත තත්ත්වයට පත් කළ පසුගිය මාස කිහිපයේ ගන්නා ලද බොහෝ අමන තීරණ, ඔවුන් ගේ ය.

මා ද වෘත්තිය කටයුතු සිදු කිරීමේදී මෙලෙස පීඩනයට හසු වූ අවස්ථා බොහෝ ය. එය මා විසින් සමහන් කර ගන්නා ලද්දේ, පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ, පොදුවේ රාජ්‍ය අංශයේ ආයතනවල දකින්නට ලැබෙන තිබෙන මෙවැනි අක්‍රමිකතා පිළීබඳ ව දෛනික සටහන් තැබීමෙනි. එය මට ඉමහත් අස්වැසිල්ලක් වූ බව කිය යුතු ය.

කූට කල්ලියක අත්තනෝමතික කටයුතුවලට සෘජු ව උඩගෙඩි දෙමින්, පසුගිය කාලයේ සභාපතිවරයා විසින් කටයුතු කරන ලද ආකාරය වෘත්තීයභාවයෙන් හීන ය. එක් අතකින් අන්ත දූෂිත ය. අඳබාල ය.

ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයාට පවා බොරු කියනු මා අසා ඇත. ඒවා මට නිශ්චිත ව, කරුණු සහිත ව ඔප්පු කළ හැකි ය. එවැනි අවස්ථාවල මා මගෙන් ප්‍රශ්න කර සිටියේ ජගත් වික්‍රමසිංහ ගේ බුද්ධිමය ධාරිතාව පිළිබඳ ව ය.

කෙසේ වෙතත්, අප අද ජීවත් වන්නේ සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන සමයක බව සිහිතබා ගත යුතු ය. අද පෞද්ගලිකත්වය යනු ප්‍රශ්නාර්ථයකි. සියලු තොරතුරු පොදු අවකාශයේ සැරි සරයි. ජාතික ගුවන්විදුලිය අභ්‍යන්තරයේ සිදුවෙමින් පැවැති මේ අවකල් ක්‍රියා කොයි මොහොතක හෝ සමාජය තුළ ප්‍රසිද්ධ වීමට ඉඩ තිබෙන බව මම අනුමාන කළෙමි. මා ඒ සඳහා මාගේ ගැලවීමට වේලාසණින් ම විවිධ පියවර ගත්තෙමි. ඊට හේතුව මඩ නාගත් පසුව ඒවා ශුද්ධ පවිත්‍ර කර ගැනීම දුෂ්කර බව මා දන්නා නිසා ය.

අද විවිධාකාරයෙන් සියල්ල එළියට පැමිණ තිබේ.

දැන් ජාතික ගුවන්විදුලියේ වෘත්තීය සමිති සිදු කළ යුත්තේ මේ අපවාදවලින් ජාතික ගුවන්විදුලිය බේරාගැනීමට වහා පියවර ගැනීම ය. මේ කිසිවක් ජාතික ගුවන්විදුලියට අදාළ නැත. ජාතික ගුවන්විදුලිය එදත්, අදත් අභිමානයෙන් වැජඹෙන්නේ ය. එහි කීර්තිනාමයට අභියෝග කිරීමට මේ රටේ තබා, දකුණු ආසියාවේ තබා, ආසියාවේ ගුවන්විදුලි ආයතනයකටවත් නොහැකි ය. ජාතික ගුවන්විදුලියේ අතීත උරුමය ඒ සා ගරු ගාම්භීර ය. මා මෙයට පෙරත් සඳහන් කර ඇති පරිදි මෙයට දශක කිහිපයකට පෙර ජාතික ගුවන්විදුලියේ සේවය කළ විද්වතුන්, ප්‍රාඥයන්, මහාචාර්යවරුන් පිරිස වර්තමාන ව්ශ්වවිද්‍යාල දහයකින් එකවර සොයාගත නො හැකි ය. ඒ අභිමානයෙන් ගොඩනැගුණු ජාතික ගුවන්විදුලිය අදටත් ජාතික ගුවන්විදුලි ක්ෂේත්‍රයේ අනභියෝගී ය.

අනෙක් අතට මෙවැනි අවකල් ක්‍රියා අනුමත නො කරන, ජාතික ගුවන්විදුලියට ජීවිත කැපකිරීමෙන් කටයුතු කරන රියදුරන් ගේ සිට පහළ ශ්‍රේණිවල ද, මධ්‍යම සහ ඉහළ ශ්‍රේණිවල ද කාර්ය මණ්ඩල සාමාජිකයෝ අපමණ සිටිති. එකී වෘත්තිකයෝ මේ කිසිවක් අනුමත නො කරති. ඔවුන් ගෙන් වැඩි පිරිසක් මා සමඟ ජාතික ගුවන්විදුලියේ වර්තමාන කනගාටුදායක තත්ත්වය පිළිබඳ ව සාකච්ඡා කර ඇත.

අනෙක් අතට, ජාතික ගුවන්විදුලිය පිළිබඳ ව පරිචයක් තිබෙන පුද්ගලයන් කතා කරන්නේ ගෞරවපූර්වක ව ය. ‘මම හැදුණේ වැඩුණේ ගුවන්විදුලියෙන්. ගුවන්විදුලිය කියන්නේ ඒ කාලේ විශ්වවිද්‍යාලයක්‘ යනුවෙන් ප්‍රවීණ වාද්‍යවේදී ඇන්තනි සුරේන්ද්‍ර, ජාතික ගුවන්විදුලියට නිසි ගෞරවයෙන් කෘතඥවූයේ, ඊයේ සවස ‘Singing Tone‘ වැඩසහනට සහභාගි වෙමිනි.

ඒ අනුව මා ගේ පසුගිය සේවා කාලයේ මම උපරිමයෙන් කැප වුණෙමි. මාගේ නිර්මාණශීලි දායකත්වය නොමසුරු ව ලබා දුන්නෙමි. නව වැඩසටහන් නිර්මාණය කළෙමි. ඒ සඳහා සාක්ෂි බොහෝ ය. රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල අනුග්‍රාහකත්ව ලබා ගැනීමට මැදිහත් වුණෙමි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රුපියල් ලක්ෂ 5ක පමණ මාසික අනුග්‍රාහකත්වයක් ලබා ගැනීමට මම පෞද්ගලික ව කටයුතු කර ඇත්තෙමි. තවත් බොහෝ අනුග්‍රාහකත්වයන් ලබා ගැනීමට සාකච්ඡා කළෙමි.

ඊට අමතර ව ජාතික ගුවන්විදුලියේ වර්තමානයේ තිබෙන මූල්‍ය අර්බුදය ස්ථිර ලෙස විසඳා ගත හැකි අන්තර්ජාතික ඉංග්‍රීසි නාළිකාවක් සඳහා මා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මේ වන විට බාහිර ආයතනවල අවධානයට ලක් වී තිබේ. ඒ පිළිබඳ සාකච්ඡා වට දෙකක් පවත්වා තිබේ. එය රුපියල් බිලියන ගණනක ආදායමක් මෙරටට උපයා ගත හැකි අවස්ථාවක් බව සියල්ලෝ පිළිගනිති. සභාපතිවරයා, කූට කල්ලිවල සහ වෙනත් බාහිර පුද්ගලයන් ගේ නො මනා කටයුතුවලට අනුග්‍රහය දක්වමින්, සෙසු බොහෝ අයට මෙන් මා හට ද අසීමිත වෘත්තීමය පීඩනයක් ඇති කරන ලද්දේ මා විසින් ජාතික ගුවන්විදුලියට මෙලෙස ඉටු කරන ලද ප්‍රාමාණික සේවය තුට්ටුවකටවත් නො සලකමිනි.

සැබැවින් ම ඔහු ගේ වර්තමාන මුග්ධභාවය පිළිබඳව මම පුදුම වී සිටිමි.

වෛෂයික ධාරිතාවකින් තොර පුද්ගලයෙකුට දරාගත නොහැකි පරිමාණයේ තනතුරක් ලැබුණු විට වැළඳෙන ‘තනතුරු මාන්නය’ නම් වූ මානසික රෝගය නිසා අදාළ පුද්ගලයා මේ සා විනාශයකට ලක් වන ආකාරය මා මුල්වරට සමීප ව අවබෝධ කරගත්තේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වර්තමාන සභාපතිවරයා ගෙනි.

ඒ අමිළ ජීවිත පාඩමට ස්තුතියි, ජගත් !

උපුටා ගැනීම කුමාර ලියනගේගේ මුහුණු පොතෙන් 

leave a reply