Breaking News

ගොවි ණය ගැන කියද්දී රනිල්ට ක්‍ෂුද්‍ර මුල්‍ය ණය අමතක වුණේ කොහොමද?

අමාලි වෙදගෙදර

90 ගණන් වලදී ගොවි ණය දරා ගත නොහැකි වූ ගොවියන් විශාල ප්‍රමාණයක් සිය දිවි නසා ගත්තා. මේ අර්බුදය පිලිබඳ ආණ්ඩුවේ අවධානය යොමු කරලීමට ආරම්භ කල මාරාන්තික උපවාසය කෙලවර වුයේ ගොවි ණය කපා හරිමින්. ඊට අවුරුදු විස්සකට පසු ඒ ගොවියන්ගේ දරුවන් ක්‍ෂුද්‍ර මුල්‍ය වසංගතයකට අහු වෙලා. 90 ගණන් වල ගොවියන් සිය දිවි නැති කරගන්නා තත්වයට තල්ලු කරපු ගොවි ණය හා සමානව, සමහර විට ඊටත් වඩා තීව්රව ක්‍ෂුද්‍ර මුල්‍ය ණය ගොවි කාන්තාවන් ගොදුරු කරගෙන තිබෙනවා. ඕප දුප, කුණු කතා එක්ක වැළලෙන කාන්තා සියදිවි නසා ගැනීම් අතරේ ක්‍ෂුද්‍ර මුල්‍ය ණය නිසා සිදුවුවා යැයි කියන කාන්තා මරණ අති විශාල ප්‍රමාණයක්. ගණන් බැලුවොත් 200කටත් වැඩියි. ක්‍ෂුද්‍ර මුල්‍ය ණය කොතරම් බරපතල ගැටළුවක්ද කියන එක පිලිබඳ සමාජය සහ ආණ්ඩුව දැනුවත් කිරීමට උද්ඝෝෂණ, පෙළපාලි, මාධ්‍ය හමු, මෙන්ම සත්‍යග්‍රහයන් කරමින් ක්‍ෂුද්‍ර මුල්‍ය වින්දිත කාන්තාවන් කරගෙන යන අරගලය අවුරුදු 5ක් විතර අතීතයට යනවා. 2018දී කිසිම ක්‍ෂුද්‍ර මුල්‍ය ණයක් ගෙවන්න එපා කිව්ව රනිල් වික්‍රමසිංහ ආපහු ලංකාවේ අගමැති. සියලුම ක්‍ෂුද්‍ර මුල්‍ය ණය කපනවා කියලා බලයට ආපු ගෝටාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපති.

90ගණන් වලදී වගේම ඊට අවුරුදු 20කට පස්සේ ග්‍රාමීය අඩු ආදායම් ජනතාව ණය නිසා සියදිවි තොර කරගන්නේ කාලෙන් කාලෙට ඉස්මතු වෙන ග්‍රාමීය ආර්ථිකයේ දීර්ඝ කාලීනව පවතින අර්බුදයක් නිසා. ගොවිතැන කර්මාන්තයක් වෙන කොට බෙහෙත්, පොහොර යන්ත්‍ර සුත්‍ර සියල්ලට මුදල් ගෙවීමට සිදු වුනා. ගොවිතැන ආශ්‍රිතව හාන්නට, පැල සිටවන්නට, ගොයම් කපන්නට යෙදවෙන මිනිස් ශ්‍රමය ගත්තොත් මේ සියල්ල අද යන්ත්‍ර වලින් කරගෙන තත්වයකට පත්ව තිබෙනවා. මෙසේ අහෝසි වූ ගොවි වැඩ බොහොමයක් කාන්තාවන් විසින් කරපුවා. තමන්ගේ කුඹුරක් නොමැති අවස්තාවන්දී ශ්‍රමය සපයා කුලියක් කරගත් බොහෝ කාන්තාවන්ට තම ජීවනෝපායන් අහිමි වී එක්කෝ ඇගලුම් කර්මාන්ත වලට, මැද පෙරදිගට, එහෙමත් නැත්නම් ක්‍ෂුද්‍ර මුල්‍ය හඳුන්වා දුන් ස්වයං රැකියා වලට තල්ලු වී තිබෙනවා. බොහෝ අවස්ථා වලදී ක්‍ෂුද්‍ර මුල්‍ය ණය ඉහත කී ක්ෂේත්‍ර තුන අතර අන්තර් සම්බන්ධතාවය ගොඩ නඟනවා. ගමේදී ලබා ගත් ගිනි පොළී ක්‍ෂුද්‍ර මුල්‍ය ණය ගෙවන්න ඇඟලුම් ගියපු එහෙමත් නැත්නම් මැද පෙරදිග ගිය කාන්තාවෝ බොහෝයි. ගොවිතැන් කිරීමේ වියදම් ඉහල යද්දී ඒවාට උදව් වෙන්නත් ක්‍ෂුද්‍ර මුල්‍ය ණය ලබා ගත් කාන්තාවන් විශාල ප්‍රමාණයක්ද සිටිනවා.

ලබා ගත් ණය නිසා නොයෙකුත් අවලාද, චෝදනා, නිග්‍රහ, හෑල්ලු කිරීමට ලක් වෙලා තියෙන ක්‍ෂුද්‍ර මුල්‍ය වින්දිත කාන්තාවන් තමන්ගේ ණය අහෝසි කර තමන් මුහුණ දෙමින් තිබෙන අර්බුදයෙන් ගොඩ ඒමට ආණ්ඩුවේ උදව් ඉල්ලා දශක භාගයක් අරගල කර ඇති මුත් ඒවා ඇසුණු කන් නොමැතිවා සේය.
නියං, ගං වතුර, පාස්කු ප්‍රහාරය, කෝවිඩ් වලට අමතරව වර්තමාන ආර්ථික අර්බුදයටද මැදිව දරුවන්ට වේලක් කන්න දෙන්නේ කෙසේද කියා තැවෙන කාන්තාවන්ට ණය ගෙවන්න පුලුවන්ද? ණය ගෙවීම පිලිබඳ නඩුවකට වැලිඔය සිට කැබිතිගොල්ළැව උසාවියට ඇවිත් යන්න බස් එකට රුපියක් 800ක් යනවා. ලෝයර්ට තව 2000/= යනවා. එදා වේල කන්න නැති මිනිස්සු තමන්ට ගෙවන්න බැරි ණය වල හිර කරලා ඒ ණය අයකරගන්න උසාවිය හරහා කෙරෙනා බලහත්කාරකම් වලටත් ලක්වෙන්න වෙලා. ඒ බොහෝ නඩු කොම්පැනි වලට ඕන විදිහට ඒක පාර්ශවියව තීන්දු වෙනවා.
LOLC Holdings PLC, Commercial Credit & Finance PLC වගේ මුල්‍ය ආයතන ලංකාව පුරා බඩු මලු බෙදද්දී ඔවුන් දැනුවත් දෙයක් තමයි මිනිස්සුන්ට කන්න නැහැ කියන එක.

කන්න නැත්නම් ණය ගෙවන්න සල්ලි කොහෙන්ද?

සියලු ගොවි ණය කපා හරින්න ආණ්ඩුව තීන්දුවක් අරන් තියන වෙලාවේ ක්‍ෂුද්‍ර මුල්‍ය ණය මඟ ඇරුනේ කොහොමද?

leave a reply