Breaking News

දිස්ත්‍රික්ක 8ක කොවිඩ් ව්‍යාප්තිය බරපතල තත්ත්වයක – තුන්වෙනි රැල්ලකට මුහුණ දීමට බලධාරීන්ට කිසිදු වැඩපිළිවෙලක් නැහැ

මෙරට දිස්ත්‍රික්ක 8ක කොරෝනා ව්‍යාප්ති තත්ත්වය බෙහෙවින් බරපතළ වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇති මොහොතක වෛද්‍ය සැපයුම් අංශය සතුව ඇති පී.සී.ආර්. කට්ටල ගණන ප්‍රමාණවත් වන්නේ සති හයක කාලයකට පමණක් බව ඖෂධ නියාමන, සැපයීම් හා නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසා ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය බරපතල තත්ත්වයක පත්වී ඇති දිස්ත්‍රික්ක අට වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයි. ඉදිරියේදී මේ තත්වය තවත් බොහෝ බරපතල වීමට ඉඩ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර තිබේ.

මෙම දිස්ත‍්‍රික්ක අට තුළ පවත්නා බරපතළ තත්ත්වය අනෙක් දිස්ත‍්‍රික්කවලද බරපතළ ලෙසින් ඇතිවණු ඇතැයි එම සංගමය රජය වෙත දැනුම් දී තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කරන්නේ මෙම දිස්ත්‍රික් තුළ පරීක්ෂණ විධිමත්ව සිදු කිරීම, ආසාදිතයන් රෝහල් ගත කිරීම, ආශ්‍රිතයන් හඳුනා ගැනීමද ප්‍රමාද වී ඇති නිසා තත්ත්වය බරපතල වීමේ අනතුර ඇති බවයි. ඇති වෙමින් පවතින බරපතල තත්ත්වයෙන් ගැලවීමට නම් වහා සංචරණ සීමා පැනවීම මෙන්ම සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් රජයට පෙන්වා දුන් බවයි ඔහු පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන පරිදි මෙම දිස්ත්‍රික් තුළ පරීක්ෂණ විධිමත්ව සිදුකිරීමට නම් වැඩි වශයෙන් pcr කට්ටල අවශ්‍ය වේ. කොවිඩ් වයිරසය ලෝකය පුරා පැතිර යාම හේතුවෙන් පී.සී.ආර්. කට්ටලවල හිඟයක් නිර්මාණය වී තිබීම මෙයට හේතුවයි.

ගෙවුණු සතිය තුළ පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල විසිපන් දහසක් පමණ දෛනිකව වෛද්‍ය සැපයුම් අංශයෙන් රෝහල්වලට මුදාහැර තිබේ. පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ලක්ෂයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක බැංකුවේ කොවිඩ් පෙර සූදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ව්‍යාපෘතියට දැනුම් දී තිබේ. එම ඉල්ලීම යුනිසෙෆ් සංවිධානයට දැනුම් දුන් බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණඩාර පැවසුවේය. කෙසේ වෙතත් පවතින තත්ත්වයන් මත ගැටලු මතු වුවත් පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර පවසා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද සඳහන් කළේ කොවිඩ් වසංගත ව්‍යාප්තියට ඇති එකම විසඳුම රට වැසීම නොව ආර්ථික කටයුතු පවත්වාගෙන යමින් එන්නත්කරන ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යාම බවයි. නමුත් ජනාධිපතිවරයා කිවූ ආකාරයෙන් අවශ්‍ය විසඳුම වෙනුවෙන් කිසිවක් කළ බවක් නම් දක්නට නැත.

ඉන්දීය රජයේ “වැක්සින් මෛත්‍රී” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රාජ්‍යයන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් සැපයීම ලබන ජුලි මාසයට පෙර යළි ආරම්භ කිරීමට නොහැකිවනු ඇති බව ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් පවසා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශයෙ සහ නේපාලය ඇතුළු රටවල් සඳහා “වැක්සින් මෛත්‍රී” වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත් සැපයීම තවත් මාස කිහිපයකින් ප්‍රමාද වන බවද ඉන්දීය විදේශ ලේකම්වරයා කියා සිටී.

එම කටයුතු යළි ආරම්භ කරන දිනයක් මේ දක්වාත් ප්‍රකාශයට පත් කළ නොහැකි බව ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කර තිබේ.

ඉන්දියාවේ පවතින තත්ත්වයත් සමඟ එන්නත් අවශ්‍යතාව ඉහළ යාම මීට හේතු වී ඇති බව ඉන්දියාවේ “හින්දු” පුවත්පත වාර්තා කර තිබේ.

දෙවන කොවිඩ් රැල්ලේ ව්‍යාප්තියත් සමඟ දේශීය එන්නත් අවශ්‍යතාව ඉහළ යාම හේතුවෙන් ප්‍රදානයන් හා මිලදී ගැනීම් ලෙස රටවල් විසින් ඉල්ලුම් කළ කොවිඩ් මර්දන එන්නත් තොග ද අපනයනය කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව පියවර ගනු ලැබීය.

මේ අතර මෙරට සෞඛ්‍ය හා ආරක්ෂක අංශයන්හි ඉදිරිපෙළ සාමාජිකයින් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු සිදුවෙමින් පවතියි. නමුත් මේ වනවිට පළමු මාත්‍රාව ලබාදුන් පිරිසෙන් 65%ක ආසාදන තත්වයන් දක්නට ලැබෙන බව වසංගත රෝග අංශයේ ප්‍රධාන වෛද්‍ය විශේෂඥ සුදත් සමරවීර පවසා තිබුණි. ආණ්ඩුව දෙවන මාත්‍රාව ලබාදීම දිනෙන් දින කල් දමමින් සිටියේ ඒ සඳහා ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් නොමැති නිසා බවට තොරතුරු අනාවරණය වී තිබේ. එයට හේතුව ලංකාවේ විශාල පිරිසකට එන්නත් ලබාදෙන බව පෙන්වීම සඳහා ආණ්ඩුව කිසිම සැලසුමකින් තොරව එන්නත් භාවිතා කිරීමයි.

ඒ අනුව පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදුන් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස වෙනත් වර්ගයක කොවිඩ් මර්දන එන්නතක් ලබාදිය හැකිද යන්න ගැන සෞඛ්‍ය බලධාරීන් සොයා බලමින් සිටින බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි. එය සාර්ථක නොවුනහොත් මෙරට තුළ කොවිඩ් වසංගතයට තව තවත් ජනතාව ගොදුරු වීම වැළක්විය නොහැකි වනු ඇත.

leave a reply