කඩ කැඩීම ඇරඹීමට පෙරම වෙඩි තැබීම ඇරඹී තිබූනේ

v”කඩ කැඩීම ඇරඹෙන විට වෙඩි තැබීම ඇරඹෙනු ඇත” (“When the looting starts, the shooting starts”). මේ George Floyd ගේ ඝාතනයට එරෙහි මහජන නැගිටීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරයයි. ඔහු උනන්දු වන්නේ පුද්ගලික දේපළෙහි ආරක්ෂාව ගැන මිස මිනිස් ජීවිත ගැන නොවේ.

නමුත්, කඩ කැඩීම ඇරඹීමට පෙරම වෙඩි තැබීම ඇරඹී තිබූ බව ට්‍රම්ප් අපට නොකියයි. අත් අඩංගුවේ සිටින කළු ජාතිකයෙකුගේ ගෙල සිර කොට මරා දැමූ පොලිස් නිලධාරියාව අත් අඩංගුවට ගනු ලැබුවේද මහජන උදඝෝෂණය පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා වූ පසුව පමණි.

මේ උද්ඝෝෂණය අපට සිහි ගන්වන්නේ දැනට මාස කිහිපයකට පෙර ඉන්දියාවේ පුරවැසි සමානත්වය වෙනුවෙන් ගොඩ නැගුණු සිසු-ජන ව්‍යාපාරයයි. (අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයට එරෙහි ප්‍රජාතාන්ත්‍රික ජනතා නැගී සිටීම ආරම්භ වූයේ දකුණු ආසියාවෙනි).

දැන් ස්වයං-සිද්ධ මහජන නැගිටීම ගෝලීය හෙජමොන්ගේ රාජ්‍යය පුරා පැතිරී යමින් පවතී. මෙය එක්සත් ජනපදය තුළ සිදු විය හැකිව තිබූ දෙයක්ද?

කාරණය නම්, අඩු තරමින් 1999 සියැටල් විරෝධය දක්වා දිවෙන, නැතහොත් 2011 Occupy Wall Street දක්වා දිවෙන රැඩිකල් දේශපාලන ප්‍රවාහයක් එක්සත් ජනපදය තුළ ගොඩ නැගෙමින් පැවති බවයි. අප මින් සති කිහිපයකට පෙරද සඳහන් කළ පරිදි, එම ප්‍රවාහය නියෝජන ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ චැනලයන් තුළ රඳවා ගන්නට හැකියාවක් පෙන්වූ අවසන් නායකයා බර්නි සැන්ඩර්ස්ය. ඔහුට අපේක්ෂකත්වය අහිමි වූ පසුව ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් ගතානුගතිකත්වයට මේ රැඩිකල් තරුණ ජනකාය සහාය දෙනු ඇතැයි සිතීම උගහටය. එයින් ගම්‍ය වන්නේ නියෝජන ප්‍රජාතාන්ත්‍රික ආයතනික රාමුවෙන් පිටත වර්ධනය වන රැඩිකල් දේශපාලන ප්‍රවාහයක වියහැකියාවයි.

කොරෝනා අර්බුදය විසින් අපගේ සමාජයන්වල යටපත්ව පැවති තියුණු ප්‍රතිවිරෝධතා වෙතට දැන් අපව ප්‍රචණ්ඩ ලෙස අභිමුඛ කරවමින් තිබේ. සිර කුටියක් තුළ වෙසෙන ජූලියන් අසාන්ජේ කෙටි දුරකථන පණිවිඩයකදී තමන්ට මෙලෙස පවසන ලදැයි යානීස් වරූෆකීස් වාර්තා කරයි:

“”අර්බුදයේ මේ අලුත් අදියර අඩුම තරමින් අපිට පැහැදිලි කරන දේ තමයි ඕනෑම දෙයක් වෙන්න පුළුවන් කියන එක. දැන් හැම දෙයක්ම වෙන්න පුළුවන්.”

ඒ නව වියහැකියාවන් අතර ඇත්තේ සමාජය දැඩි ඩිජිටල් පාලනයකට ලක් කිරීමේ ඕවලියානු අධිකාරීවාදය පමණක් නොවේ. මිනියපෝලිස්හි උද්ඝෝෂණය වැනි යුක්තිය උදෙසා වන ස්වයං-සිද්ධ මහජන නැගිටීම්ද ඒ අතර වේ.

සුමිත් චාමින්ද

Share post:

Popular

වෙනත් පුවත්

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...