Breaking News

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සහ එක්සත් ජනපදයේ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි සටන

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම බිහිසුනු අපරාධයකි. අප්‍රිකානු ඇමරිකානුවෙකු වූ ෆ්ලොයිඩ් පසුගිය සඳුදා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් බිම හෙලීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූවේ ඔහු නිදහස් කිරීමට බැගෑපත්වූ ජනකායක් ඉදිරිපිටදීය. අපරාධයේ වැඩි හරියක් අසල සිටි ප්‍රේක්ෂකයන්ගේ වීඩියෝ සහ ආරක්ෂක කැමරාවලට හසු විය.

එක් වීඩියෝවකින් දැක්වෙන්නේ “මට හුස්ම ගන්න බැහැ” සහ “ඔබ මාව මරන්න හදන්නේ!” යනුවෙන් 46 හැවිරිදි ෆ්ලොයිඩ් තම ජීවිතය ඉල්ලා සිටිද්දී සුදු ජාතික නිලධාරියෙකු වන ඩෙරෙක් චෝවින්, ඔහුගේ බෙල්ල තම දනහිසින් මිනිත්තු කිහිපයක් බලහත්කාරයෙන් තද කරගෙන සිටින ආකාරයයි.

ඩොලර් දහයක ව්‍යාජ නෝට්ටුවක් භාවිතා කිරීමට උත්සාහ කල බවට ප්‍රදේශයේ වෙලඳසැලකින් ලැබුනු ඇමතුමකින් පසුව ෆ්ලොයිඩ් රඳවා ගනු ලැබිනි. ගබඩාවේ හිමිකරු පසුව මාධ්‍යයට කියා සිටියේ එය ව්‍යාජ එකක් බව ෆ්ලොයිඩ් දැන සිටියේ දැයි තමා නොදන්නා බවයි. පොලිසිය එම ස්ථානයට දිව ගොස් ෆ්ලොයිඩ් අල්ලාගෙන ඔහුගේ වාහනයෙන් එලියට ඇද මාංචු දමනු ලදුව, ඔහුගේ සිරුර අඩපන වන තුරුම ඔහුගේ හුස්ම සිරකරගෙන සිටියහ.

ෆ්ලොයිඩ් මර්දනය කිරීමට උදව් කල අනෙක් නිලධාරීන් තිදෙනා තෝමස් ලේන්, ටූ තාඕ සහ ජේ. ඇලෙක්සැන්ඩර් කුවෙන්ග් ලෙස හඳුනාගෙන තිබේ.

තමන් අත්අඩංගුවට ගැනීමට ෆ්ලොයිඩ් බාධා කල බව නිල පොලිස් වාර්තාවේ සඳහන් වුවද, අසල වූ අවන්හල් හිමිකරුවෙකු විසින් බදාදා නිකුත් කරන ලද නිරීක්ෂන වීඩියෝවෙන් පැහැදිලි වන්නේ ෆ්ලොයිඩ් සිය මෝටර් රථයෙන් එලියට ගෙන පොලිසිය විසින් මාංචු දමා ඇති බැවින් ඔහු කිසිසේත් කලබල නොකල බවය.

ඔහුගේ මරනය කිසිදු සාධාරනීකරනයකින් තොරව දිවා කාලයේ සිදුවූ පැහැදිලි ඝාතනයක් වුවද, බදාදා සවස් වන විට චෝවින්, ලේන්, තාඕ සහ කුවෙන්ග් නිදහස් වී සිටියහ. අඟහරුවාදා පැවති මහජන කෝපයට ප්‍රතිචාර වශයෙන් ඔවුන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් වැටුප් රහිතව සේවයෙන් අත්හිටුවා ඇති අතර පසුව ඩිමොක්‍රටික් නගරාධිපති ජේකබ් ෆ්‍රේ විසින් සේවයෙන් පහ කරන ලදී.

ෆ්ලොයිඩ්ගේ ඝාතනය සහ ඝාතකයින් අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කිරීම දින දෙකක පෙලපාලිවලට සහභාගී වූ සියලුම ජාතීන්ට අයත් කම්කරුවන් අතර කෝපයක් ඇති කර තිබේ.

දහස් ගනන් සුදු සහ කලු කම්කරුවෝ හා තරුනයෝ අඟහරුවාදා ෆ්ලොයිඩ් ඝාතනය කෙරුනු මංසන්ධියේදී සහ අසල පිහිටි පොලිස් ස්ථානයක විරෝධතා දැක්වූහ. කෝපාවිෂ්ඨ උද්ඝෝෂනය විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් වට ගනනාවක් සහ මාරක නොවන උන්ඩ භාවිතා කරනු ලැබ ඇත. ඊයේ රාත්‍රියේ මිනියාපොලිස් සහ එක්සත් ජනපදය පුරා වෙනත් නගරවල තවත් උද්ඝෝෂන සංවිධානය කරන ලදී.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය වනාහි එජ පොලිසිය අතින් සිදු වන නොනවතින මරන මාලාවක නවතම සිද්ධියයි. කිල්ඩ්බයිපොලිස්.නෙට් (killedbypolice.net) වෙබ් අඩවියට අනුව මේ වසරේ මේ දක්වා පොලිස් ඝාතන 400 ක් සිදුව තිබේ. සෑම වසරකම ඝාතනය වන සංඛ්‍යාව 1,000 කට වඩා වැඩිය.

පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව සමූහ උද්ඝෝෂන අවුලුවා වූ මිසූරි හි ෆර්ගියුසන්හිදී (2014 අගෝස්තු 9) මයිකල් බ්‍රවුන් වෙඩි තබා ඝාතනය සහ එරික් ගාර්නර් නිව්යෝක් නගරයේදී (2014 ජූලි 17) ගෙල සිරකර මරා දැමීමේ සිට වසර හයකට ආසන්න කාලයක් ගත වී ඇත. මේ කාලය තුල. පුද්ගලයින් 6,000 ක් පමන පොලීසිය විසින් ඝාතනය කරනු ලැබ තිබේ.

පොලිස් ප්‍රචන්ඩත්වයේ සිදුවීම්වලට ජාතිවාදය දායක වන බවට සැකයක් නැත. වැඩිම පොලිස් ඝාතන සංඛ්‍යාවකට ගොදුරු වී ඇත්තේ සුදු ජාතිකයින් වන අතර අප්‍රිකානු ඇමරිකානුවන් සහ හිස්පැනික්වරු නොසෑහෙන තරම් හිරිහැර කිරීම්, අපයෝජනයන්, අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් වලට ඉලක්ක කෙරී ඇත. ට්‍රම්ප් පාලනාධිකාරය පොලිස් නිලධාරීන් ද ඇතුලුව වඩාත් පසුගාමී හා ප්‍රතිගාමී ස්ථර හිතාමතාම පෝෂනය කරනු ලැබ ඇත. “මැරයන්ට” “රලු” ලෙස සැලකීමේ වීඩියෝ දර්ශන නැරඹීමට තමා කැමති බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති අතර “ඕනෑවට වඩා හොඳ” නොවන්නැයි ඔහු පොලිසියෙන් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත්, පොලිස් ප්‍රචන්ඩත්වයේ ප්‍රභවය වාර්ගික සතුරුකම නොව පන්ති පීඩාවයි. ඇමරිකානු පොලිස් ප්‍රචන්ඩත්වයට ගොදුරු වූවන් වන කලු, සුදු, හිස්පැනික් හෝ ස්වදේශික ඇමරිකානුවන්ට පොදු ලක්ෂනය වන්නේ ඔවුන් දුගී සහ ජනගහනයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස් අතර වීමයි.

පොලිස් ප්‍රචන්ඩත්වයට හේතු ජාතිවාදය යැයි කියන බ්ලැක් ලයිව්ස් මැටර් සහ වාර්ගික දේශපාලනයේ අනෙකුත් යෝජකයින්ගේ භූමිකාව නම් කලු ජාතික පොලිස් නිලධාරීන් වැඩි ප්‍රමානයක් බඳවා ගැනීම මගින් හෝ කලු ජාතික දේශපාලනඥයන් තෝරා පත් කර ගැනීම මගින් හෝ ගැටලුව විස‍ඳනු ඇතැයි යන අදහස ප්‍රවර්ධනය කිරීමයි. නොවැලැක්විය හැකි ලෙස, මෙයින් අදහස් කරන්නේ වෝල් වීදියේ සහ හමුදාවේ නිවුන් පක්ෂවලින් එකක් වන ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස විරුද්ධත්වය ගාල් කිරීමයි. තවද, පොලිස් ප්‍රචන්ඩත්වයේ වසංගතය අඛන්ඩව ඉදිරියට ඇදීයයි.

මෙම ත්‍රස්තවාදී පාලනය ඩිමොක්‍රටික් ජනාධිපති බැරැක් ඔබාමාගේ අධීක්ෂනය යටතේ ඇවිලී තිබුනු අතර ෆැසිස්ට් පන්නයේ රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ද දිගටම ඇදී යයි. යම් ජනපදයකට ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් ආන්ඩුකාරවරයෙක් සිටීද යන්න කෙසේවෙතත්, නගරාධිපති හෝ පොලිස් ප්‍රධානියා කලු ද, සුදු ද, විෂමලිංගික හෝ සමලිංගිකද යන්න නොතකා පොලිස් ඝාතන නොඅඩුව අඛන්ඩව පවතී.

සෝමාලියානු-ඇමරිකානු මිනියාපොලිස් පොලිස් නිලධාරියෙකු විසින් ජස්ටින් ඩමොන්ඩ් නම් සුදු ජාතික කාන්තාවකගේ පිටුපස පෙදෙසට වෙඩි තබා ඝාතනය කර වසර තුනක් ගත වී ඇති අතර ඒ අසල පිහිටි තදාසන්න ප්‍රදේශයක හිස්පැනික් පොලිස් නිලධාරියෙකු විසින්, ෆේස්බුක් හි සජීවීව විකාශය වූ, රථවාහන නැවතුමකදී අප්‍රිකානු ඇමරිකානු ජාතික ෆිලැන්ඩෝ කැස්ටිල් ඝාතනය කර වසර හතරකි.

විශේෂයෙන් ම්ලේච්ඡ පොලිස් ප්‍රචන්ඩ ක්‍රියාවක් ප්‍රසිද්ධියේ හෙලිදරව් කිරීමෙන් පසු – එය අනිවාර්යයෙන්ම වීඩියෝවකට හසු වීමට ඉඩ ඇති හෙයින් – දේශපාලනඥයෝ, ඩිමොක්‍රටික්වරු සහ රිපබ්ලිකන්වරු, කිඹුල් කඳුලු හෙලීමේත්, විමර්ශන සඳහා පොරොන්දුවීමේත් නිරත වූහ. සෑම විටම පාහේ, මෙම පරීක්ෂන නඩු පැවරීම්වලට සහ දඬුවම් පැමිනවීමට අසමත් වේ.

රාජ්‍ය බලය ගැන, ලෙනින් සිය රජය හා විප්ලවය යන කෘතියෙහි සඳහන් කර ඇත්තේ, “හිරගෙවල් සහ අනෙකුත් ආයතන තම අනසක යටතට ගෙන සිටින විශේෂ මන්ඩලවලට අයත් සන්නාහ සන්නද්ධ පුද්ගලයින්ගෙන් එය සැදී තිබේ” යනුවෙනි. ෆ්‍රෙඩ්රික් එංගල්ස් උපුටා දක්වමින් ලෙනින් සඳහන් කලේ, රාජ්‍යය මූලික වශයෙන් “පන්ති විරුද්ධතාවයන්ගේ අසමගිබවේ ප්‍රකාශනය හා ඵලය වන” බවත් රාජ්‍යයේ බලය හා ප්‍රචන්ඩත්වය “ ‍රාජ්‍යය තුල පන්ති ප්‍රතිවිරුද්ධතාවයන් උත්සන්න වන තරමට සමානුපාතිකව ශක්තිමත් වන බවත් ය. ”

කොරෝනා වෛරස් වසංගතය සමඟ මෙම පන්ති ප්‍රතිවිරෝධතා නව අවධියකට පිවිසෙමින් තිබේ. ජනතාව ආරක්ෂා කිරීම සඳහා කිසිවක් නොකල සංගත හා මූල්‍ය කතිපයාධිකාරය, ඩොලර් ට්‍රිලියන ගනනක් තමා වෙත මාරු කිරීමට ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් දේශපාලනඥයින්ගේ ඒකමතික අනුමැතිය මත වසංගතය භාවිතා කරනු ලැබ තිබේ.

එය පසු පස සිදුව ඇත්තේ, “ආර්ථිකය යලි විවෘත කිරීම” වෙනුවෙන් සහ වෝල් වීදියේ බරට කරගැසීම සඳහා තමන්ගේ ජීවිත අනතුරේ හෙලීමට කම්කරුවන්ට බල කිරීම වෙනුවෙන් උද්ඝෝෂනයකි. ඒ අතරම, සූරාකෑම උග්‍ර කිරීමටත්, සමාජ වැඩපිලිවෙලවල් කප්පාදු කිරීමටත් සහ ජනගහනය දුගීභාවයට පත් කිරීමටත්, දැවැන්ත විරැකියාව සහ ජනපද බංකොලොත් වීම තම වාසියට භාවිතා කිරීමට පාලක ප්‍රභූව සැලසුම් කරයි.

මූල්‍ය වංශාධිපතිත්වය සහ කම්කරු පන්තිය අතර ගැටුම රජයේ ම්ලේච්ඡත්වයේ සහ ප්‍රචන්ඩත්වයේ මූලික ප්‍රභවයයි. එම ගැටුම විසින්ම මෙම ම්ලේච්ඡත්වය අවසන් කල හැකි දේශපාලන ව්‍යාපාරයක් සඳහා වෛෂයික පදනම නිර්මානය කරනු ලබයි. එනම්, දේශපාලන බලය තමන් අතට ගෙන ධනේශ්වර ලාභ ක්‍රමය අවසන් කිරීම සඳහා සමස්ත කම්කරු පන්තියේම ස්වාධීන හා එක්සත් ව්‍යාපාරයකි.

උපුටා ගැනීම wsws.org වෙබ් අඩිවියෙන්

leave a reply