Breaking News

චෙම්මනි ඉදිරි කැණීම් සඳහා තවමත් ප්‍රතිපාදන නැහැ

ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානයේ තවත් මාස දෙකක කාලයක් කැනීම් කටයුතු සදහා ඉල්ලා ඇති මුදල කෝටි දෙකකට ආසන්න මුදල් ප්‍රතිපාදන සඳහා මේ වනතුරු අධිකරණ අමාත්‍යංශයේ අනුමැතිය ලැබී නොමැති බව වාර්තා වේ.

සති අටක කාලයක් සදහා කැනීම් කටයුතු වෙනුවෙන් සකස් කළ මුදල් ඇස්තමේන්තුව 2025 සැප්තැම්බර් 18 වැනිදා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර එම මුදල රුපියල් එක්කෝටි අසු ලක්ෂයකට ආසන්න මුදලකි.

යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2025 ඔක්තෝබර් 01 වැනි බදාදා යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ විභාගයට ගත් අතර අධිකරණ කටයුතු නිමා වීමෙන් පසුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කේ. සුබාකර් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ ඉල්ලා සිටි මුදල් සදහා මේ දක්වා අධිකරණ අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නැති බවයි.

කුඩා දරුවන් ඇතුළුව මිනිස් සිරුරු 240ක් මේ වන විට පාදාගෙන තිබෙන ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානයේ ඉදිරි කැනීම් කටයුතු සදහා ඉල්ලා සිටි මුදල් මේ දක්වා අනුමත නොවීමෙන් විමර්ශන ඇනහිට තිබේ.

ඉල්ලා සිටි මුදල සදහා අනුමැතිය ලැබී ඇත්දැයි යළි දැනගැනීමට හැකියාව ලැබෙන්නේ මීලග නඩු දිනය වන ඔක්තෝබර් 13 වැනිදායි.

චෙම්මනි සමූහ සුසානයේ විමර්ශනවලට බාධා නොකෙරෙන පරිදි අරමුදල් සම්පාදනය කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ආණ්ඩුවට නිර්දේශ කර තිබුනේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඉල්ලීමෙන් දෙසතියක් ගතව යාමත් සමගය.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.

මෙම මිනීවල සම්බන්ධ කටයුතු සඳහා පසුගිය සමයේ ආණ්ඩුවේ යම්කිසි හෝ අවදානයක් යොමු වුවද එය දැන් ගිලිහී යාමට හේතුව එක්සත් ජාතීන්ගේ සැසිවාරය අවසන් වීම බවට සැක මතුවෙමින් තිබේ.

leave a reply