අද, මම ගාඩි සිනමා කෘතිය නැරඹුවා. සිනමා කෘතියක් කියන්නේ, චිත්‍රපටයක්ම නෙවෙයි. බයිස්කෝප් එකක්ම නෙවෙයි. දුවන සැලෝලයිඩ් පටයක්ම නෙවෙයි. කොටින්ම, හුදෙක් entertaining stream එකක්මත් නෙවෙයි.
යම් කියවීමක් තියන දෙයක්, පුළුල් වපසරියක් සීමිත කාල පරාසයක් තුළ සූක්ෂමව ආවරණය කරන- ග්‍රහණය කරන දෙයක්, එක්තරා ධාරිතාවක්- බරක් සහිත දෙයක් “සිනමා කෘතියක්”ය කියලා හඳුන්වන්න මම කැමතියි. ඉතිං, මම ‘ගාඩි’ “සිනමා කෘතියක්” වශයෙන් හඳුන්වන්න පැකිළෙන්නේ නැහැ.
ගාඩි කියන්නේ, කලාත්මක බවින් එහා ගිය වාර්තාකරණයක, වාර්තා චිත්‍රපටයක ලක්ෂණ රැගත් නිර්මාණයක්ය කීවොත්, මම වඩාත් නිවැරදියි. අතීතයක වර්තමාන පුනරුක්තියේ හරස්කඩක් කීවොත් ඒත් නිවැරදියි.
වසර 2500ක අභිමානවත් අපේ අතීතය, අපේ ශෝක් අතීතය කියලා හොරණෑ පිඹින සංස්කෘතියක් ඇතුළෙ කැකෑරෙන “කැත, පහත්, උන්මාදනීය ලක්ෂණ” බොහොමයක් නිර්භයව ‘ගාඩි’ තුළින් එළියට අදින්න, ළය විරේක කරන්න, වමනෙ දම්මවන්න ප්‍රසන්න විතානගේ සමත් වෙලා තියනවා.
අපේ සංස්කෘතියේ මූලාරම්භය තුළම, අපේ අවාසනාවන්ත පරිහාණිය ලියවිලා තිබ්බ අපූරුව චිත්‍රපටය පුරාම විටින් විට හොල්මන් කරනවා. ඇත්තෙන්ම, ශ්‍රී ලාංකේය සංස්කෘතිය කියන කිරි කළයට එක් වූ පුරාතන ගොම තලිය තමයි, අපේ කුල ක්‍රමය.
“එදා රජවරු දාගැබ් හැදුවා තමයි, වැව් බැන්ඳා තමයි, ගොවි බිම් අස්වැද්දුවා තමයි, යුද්ධ දිණුවා තමයි.. නමුත්, රජවරුන්ගේ දිගු නාමයන් බබුළුවන සංග්‍රාමයේදී අහිංසක කුලහීන, පීඩිත ජනතාවගේ ‘හම’ ගැලවී ගියා. එදත්, පීඩිතයින් මතින් පාලක පංතිය බැබළුණා. රන් අකුරින් නම ලියවා ගත්තා. අදත්, පීඩිතයින් මතින් පාලකයින් බැබලෙනවා. වෙනස තියෙන්නේ ඇඳුමේ පමණයි. එදා, තුප්පොට්ටිය ඇඳන් කළ සුනඛ ක්‍රියා පිළිවෙතමයි, අද ජාතික ඇඳුම, කලිසම් කෝට් ඇඳපු පාලකයෝ කරන්නෙත්.”
‘ගාඩි’ ඇතුළෙන් මෙන්න මේ තියුණු කියැවීම, සියුම් උත්ප්‍රාසයක් සහිතව ගලා යනවා. “යකුනේ, අපට වැරදුනේ මුලදිමයි. නරක් වූ මැද හා ඔඩු දිවූ අග ගැන ඉතිං කවර කථිකාද?” කියා මේ සිනමා කෘතිය නොකියා කියනවා.
“සිංහලයාත් උත්තම බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීම පිණිස වඩුග රජුව පන්නමු!” ඔන්න ඔය වැකිය චිත්‍රපටය පුරාම කිහිප තැනකම වර නැංවෙනවා. ඒ වර නැගීම තුළින්ම මතු වෙන්නේ, ඉසියුම් ප්‍රබල උපහාසයක්. කුලහීනයන් පෙළන කුලීන සිංහල පාලක පක්ෂය සහ “ඌ දන්නා උගේ බුදු දහමේ” උත්තරීතරකම කුමක්දැයි රසිකයාට නිරායාසී ප්‍රශ්නාර්ථයක් නැගෙනවා. ඒ ප්‍රශ්නාර්ථය තුළ සෙලවෙන්නේ, වර්තමාන දේශපාලනයේ කළු සෙවනැළිමයි. එකම දේ. එකම වචන. කාල දෙකක වෙනස පමණයි. ඒ, අඳුරු අතීතයකින් පැන නැගුණු, අන්ධකාර වර්තමානයක පුනරුක්තියයි. ප්‍රශ්නය ඇත්තේ කොහිද, එතැනින්ම පිළිතුරත් පැන නගිනවා. අපි වෙනස් කළ යුත්තේ කවරක්දැයි වැටහෙනවා. ඉන්, පිල් බෙදීමකට කළ හැකි විනාශය කෙතෙක්දැයි නොකියා කියනවා.
ගාඩි තුළ ඇති මේ ප්‍රශස්ත සමාජමය කියවීමට අමතර වශයෙන්, එහි අඩුපාඩු ද නැතිවාම නොවෙයි. සිනමාපටය අතිශය වේගවත්. එහි අධිවේගී ගලා යාම තුළ, සන්සුන් මානුෂීය හැඟීම් සෙමෙන් සෙමෙන් මුදා හැරීමට අවස්ථාවක් නැහැ. එහිදී, මිනිස් සිත හා හැඟීම් මෙයට වඩා ගැඹුරු තලයකින් ස්පර්ෂ කරන්නට ඉඩ තිබුණා නොවේදැයි මට සිතෙනවා. විජයා සහ මැණිකේගේ ප්‍රේමය පිළිබඳ අවසාන ජවනිකාව, කලබලයකින් තොරව, සෙමෙන් විකසිත වන්නට ඉඩ හරින්නට තිබුණා නොවේදැයි මට සිතෙනවා. ඒ ප්‍රේමය ආරම්භ වූ වහාම චිත්‍රපටය අවසන් වෙනවා. එය පැහැදිලිවම අස්වාභාවික, යාන්ත්‍රික අවසානයක්. එසේම, උඩු කය සළුවෙන් වසාගත් කුලහීන කාන්තාවකගේ උඩුකය නිරුවත් කිරීමටම දඟලන කුලීනයින් පිළිබඳවත් අනවශ්‍ය තරම් ජවනිකා ප්‍රමාණයක් අමතරෙන් ඔබ්බවා ඇතැයි හැඟෙනවා. එමෙන්ම, නිරුවත් කරන ගාණේ ගුටි කන ගාඩි රැළත්, ගුටි කමින්ම යළි යළිත් රෙදි පොරවා ගන්නට පසුබට නොවන මැණිකේත්, ඇය එසේ රෙදි පොරවා ගන්නා වාරයක් පාසා, නැවත නැවත කුලීනයන්ගෙන් ගුටි කන ගාඩි රැළත්, විහිළුවක් බවට පත් වෙනවා. එසේම, ගෙදර හදන බළල් පැටවකු අල්ලනවා තරම්ම පහසුවෙන්, සීරීම් මාත්‍රයක් හෝ නොමැතිව කුළු මීමෙකු අල්ලා ගන්නා විජයා, දිමියන් දෂ්ඨනයෙන් පැය ගණනාවක්ම සිහිසුන්ව පසුවන මැණිකේ, හදිසියේ ප්‍රාදුර්භූත වන දඩයක්කාරයින් කණ්ඩායම, වැනි ජවනිකාවල තිබෙන්නේ, ඉතාම අතාත්වික බවක්. එසේම, දෙබස් ඔස්සේ, මැණිකේ ඉතා සුකුමාල කාන්තාවක් බව කීමට උත්සාහ කර ඇතත්, ඇගේ පෙනුමෙහි සහ හැසිරීමෙහි එවන් සුකුමාල බවක් වෙනුවට දැඩි ඇට්ටර බවක් තිබීම ද ගැටළුවක්. එසේම, චිත්‍රපටය බොහොම කෙටි වීමත්, කතා රසය හීන කරනවා. චිත්‍රපටය නිදහසේ බලන්නට මනස හදා ගන්නවා හා සමඟම, චිත්‍රපටය අවසන් වීමෙන් රසිකයා අපේක්ෂාභංගත්වයට පත් වෙනවා.
මෙවන් අඩුපාඩු, ඌණ ලක්ෂණ තිබුණත්, මම මෙම සිනමා කෘතිය ඔබ විසින් “බැලිය යුතුම වර්ගයේ එකක්” යයි වර්ග කිරීමට නම් පැකිළෙන්නේ නැහැ.