Breaking News

ඇඟලුම් සේවක අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් වෘත්තීය සමිති යෝජනාවලියක්

කොවිඩ් 19 වසංගත ආපදා තත්වය තුළ හා ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය තුළ සේවක අයිතිවාසිකම් හා යහපැවැත්ම තහවුරු කිරිමට අදාළව යෝජනාවලියක් වෘත්තීය සමිතිවල මූලිකත්වයෙන් කම්කරු අමාත්‍යංශයේ කාර්ය සාධන බලකාය වෙත යොමුකර තිබේ. එහි දැක්වෙන පරිදි මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකා ආර්ථිකයට වැඩි දායකත්වයක් දක්වන ඇඟලුම් කර්මාන්තය ඇතුලු අපනයන සැකසුම් කර්මාන්තවල සේවක සේවිකාවන්ගේ අතිවාසිකම් හා යහපැවත්ම තහවුරු කිරිම සේව්‍ය පාර්ශවයේ මෙන්ම රජයේ ද මූලික වගකීම බවයි. මෙම ලිපිය සඳහා වෘත්තීය සමිතිවලට අමතරව ඇඟලුම් කර්මාන්ත සේවක සේවිකාවන් සමඟ කටයුතු කරන සංවිධාන සහ සිවිල් සංවිධාන කිහිපයක් අත්සන් තබා තිබේ.

ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා,
විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍යය,
මෙහෙවර පියස, කොළඹ 5.

ගරු අමාත්‍යතුමනි,

කොවිඩ් 19 වසංගත ආපදා තත්වය තුළ හා ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය තුළ සේවක අයිතිවාසිකම් හා යහපැවැත්ම තහවුරු කිරිම සදහා යෝජනා
වර්තමාන කොවිඩ් 19 ව්‍යසන තත්වය මගින් සේව්‍ය හා සේවක පාර්ශවයන්ට වන බලපෑම කළමණාකරනය කිරිම සඳහා සේවක නියෝජනය ද සහිතව අමාත්‍ය කාර්ය බලකායක් පිහිටුවීම පිළිබඳව අපනයන සැකසුම් කලාප සේවක සේවිකාවන් නියෝජනය කරන වෘත්තීය සමිති හා සංවිධාන වශයෙන් ප්‍රථමයෙන්ම ඔබතුමන්ට අපගේ ස්තූතිය පිරිනමමු.

මෙම ව්‍යසනය හේතුවෙන් හා ඉන් ඇතිවිය හැකි ආර්ථික අර්බුදයට මුහුණ දීමට කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන සැලැස්මක් අත්‍යවශ්‍යය වන අතර එම සැලැස්ම සකස් කිරිමේ හා ක්‍රියාත්මක කිරිමේ දී මේ ක්ෂේත්‍රයේ මූලික පාර්ශවකරුවෙක් වන සේවකයන්ගේ අදහස් හා යෝජනා සඳහා ද සමාන වටිනාකමක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

පසුගිය දශක කිහිපය පුරා ඇඟලුම් කර්මාන්තය ඇතුලු අපනයන සැකසුම් කර්මාන්තවල සේවක සේවිකාවන් ර්‍ශ්‍ර ලංකාවේ ආර්ථිකය සදහා දක්වන ලද දායකත්වය අතිමහත්ය. එබැවින්ම මෙම අසීරු අවස්ථාවේ ඔවුන්ගේ අතිවාසිකම් හා යහපැවත්ම තහවුරු කිරිම සේව්‍ය පාර්ශවයේ මෙන්ම රජයේ ද මූලික වගකීමකි. ඒ සදහා වන පහත යෝජනා අපි ඉදිරිපත් කර සිටිමු. මෙම යෝජනා වැඩිදුර සාකච්ඡා කිරිම සදහා අවස්ථාවක් ලබාදෙන මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

  1. මේ වන විටත් තම ගම්බිම් කරා යා ගත නොහැකි වූ විශාල සේවක සේවිකාවන් පිරිසක් තවමත් බෝඩිං හෝ කුලී නිවාස හෝ තාවකාලික වාසස්ථානවල රැදී සිටි. ඔවුන් පිළිබඳ නිසි කඩිනම් ගණනයක් වහාම සිදුකර ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් සැපිරිම සදහා පියවර ගැනීම. රජය විසින් මේ වන විට දිළිදු පවුල් සදහා ලබාදෙන රු. 5000 ක සහනාධාරය මෙම සේවක සේවිකාවන් (විශේෂෙයෙන්ම මෑන්පවර් ආයතන හරහා තාවකාලික සේවාවන්හි නිරත වූ අයට) ලබා දීමට කටයුතු කිරිම. පසුගිය මාසය තුළ වැටුප් නොලැබී අසරණය සිටින අය සදහා ගෙවල් හෝ බෝඩිං කුලී ගෙවීමට රජයේ මැදිහත්වීම.

  2. වසංගත තත්වය ව්‍යාප්ත වීමේ අඩුවීමක් පෙනෙන්නට නොලැබෙන තත්වයක් තුළ අපනයන සැකසුම් කර්මාන්ත නැවත ආරම්භ කිරිමට රජය ගත් තීරණය සේවකයන්ගේ ජීවිතවල වටිනාකම ප්‍රමුඛගත කොට නැවත සලකා බලන මෙන් අපි ඉල්ලා සිටිමු. නැවත ආරම්භ කරන හා මේ වන විටත් සේවය පවත්වාගෙන යන කර්මාන්තශාලාවල සේවකයින්ට ආරක්ෂිත සේවා වටපිටාවක් පවත්වාගෙන යාම තහවුරු කිරිම රජයේ මූලික වගකීමක් වේ. සේවා ස්ථානය තුල පමණක් නොව නවාතැන්, ප්‍රවාහන හා අනෙකුත් පොදු සේවාවන් රජය හා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් නිර්දේශ කර තිබෙන ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් අනුගමනය කරමින් සිදු වන බවට තහවුරු කිරිම හා නිරන්තර විමර්ෂනයට ලක් කිරිමට රජය කටයුතු කළ යුතුය.

  3. පහුගිය කාලසීමාව පුරා සේවකයින් විසින් කරනු ලැබූ සේවාවන් වෙනුවෙන් ඔවුනට හිමි වැටුප්, අතිකාල දීමනා හා උත්සව අත්තිකාරම් ගෙවීම පැහැරහැරීම සදහා වර්තමාන අර්බුදය හේතුවක් නොවිය යුතුය. මෙම ගෙවීම් වහාම ගෙවීමට සේව්‍ය පාර්ශවය කටයුතු කරනා බවට වගබලා ගැනීම රජයේ වගකීමකි.

4 සේවකයින්ගේ මූලික අවශ්‍යතා, සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති පැමිණිලි භාරගැනීමට හා ඒවාට කඩිනමින් විසඳුම් සැපයීම සදහ රාජ්‍ය අංශය, ආයෝජන මණ්ඩලය හා වෘත්තිය සමිති ඒකාබද්ධ යාන්ත්‍රණයක් ගොඩනැගීම.

5 වර්තමාන තත්වය තුළ සේවකයින්ගේ සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට අපහසු විය හැකි බව සේව්‍ය පාර්ශවය මේ වන විටත් අවස්ථා ගණනාවක දී ප්‍රකාශ කර තිබේ. ඇගලුම් අපනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර ඇති පරිදි ඉදිරි කාලසීමාව තුළ සමස්ත ඇගලුම් කර්මාන්ත සේවකයින්ගෙන් 30% කට ආසන්න ප්‍රමාණයක සේවය ඉදිරි කාලය තුළ අත්හිටුවීමට සිදුවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොවිඩ් 19 ව්‍යසනය හේතුවෙන් රටේ සමස්ත ජනසමාජයම දරුණු ආර්ථික සමාජීය අර්බුදයකට මුහුණ දෙමින් සිටිනා විට මේ ආකාරයෙන් අති විශාල පිරිසක් රැකියා විරහිතභාවය පත්වීම දරුණු සමාජ ව්‍යසයනයකට මග පාදනු ඇත. එමෙන්ම රටේ ආර්ථිකයේ විශාල බරක් මේ දක්වා දරාගෙන ආ ඇගලුම් සේවක සේවිකාවන් මේ මොහොතේ අතහැර නොදැමීමේ මානුෂීය වගකීමක් ද සේව්‍ය පාර්ශවයට හා රජයට තිබේ. එබැවින් මොවුන්ගේ සේවක අයිතිවාසිකම් හා යහපැවැත්ම ආරක්ෂා කිරිම වෙනුවෙන් පහත සදහන් යෝජනා අපි ඉදිරිපත් කරමු.

5.1 කර්මාන්තයේ වර්තමාන තත්වය හා අපනයන සමාගම්වල තත්වය පිළිබද අවංක හා විවෘත සාකච්ඡාවක් සේවක සේවිකාවන් හා වෘත්තිය සමිති සමග සිදු කිරිම. සමාගම්වල ගිණුම් තත්වයන් (ලංකාවේ හා විදේශීය රටවල පවතින ගිණුම් ) පිළිබද දැනගැනීමට සේවකයින්ට අයිතියක් ඇති අතර එම තොරතුරු සේවකයින්ට ලබාදීමට සමාගම් පියවර ගත යුතුය. පසුගිය වසර කිහිපය තුළ අත්විදි ජීඑස්පී සහනය හේතුවෙන් ලැබූ ලාබ පිළිබද හා එම ලාභ යෙදවූ ආකාරය පිළිබද සැබෑ තොරතුරු සේවක සේවිකාවන්ට ඉදිරිපත් කළ යුතුය.

5.2 ඉදිරි කාලසීමාවේ ගොලීය වෙළෙදපොල හා දේශීය කර්මාන්ත තුළ සිදුවිය හැකි වෙනස්කම් මධ්‍යයේ ඉදිරි මාස කිහිපය සදහා සේවකයින්ගේ ගෙවීම් අඛණ්ඩව පවත්වාගෙන යාමේ ක්‍රියාවලියක් සේව්‍ය පාර්ශවය, ගැණුම්කරුවන් හා වෙළෙද නාම (brands) හා රජය එක්ව සකස් කළ යුතුය. මෙම ආදායම් නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත නිත්‍ය, තාවකාලික, කොන්ත්‍රාත් පදනම මත සේවය කරන හා ගෘහ නිෂ්පාදනයේ නිරතවන සියලු පාර්ශවයන් වෙත ලැබිය යුතුය. මේ කාලය තුළ සේවක කොන්ත්‍රාත් අඛණ්ඩව පවත්වාගෙන යාම.

5.3 දැනට සිදුකර තිබෙන ඇණවුම් මිළදී ගැනීම සදහා ජාත්‍යන්තර ගැණුම්කරුවන්ට හා වෙළද නාමයන්ට බලපෑම් කිරිමට අපනයන සමාගම් හා රජය ක්‍රියා කිරිම. මේ සම්බන්ධව දැනටමත් කටයුතු කර තිබෙන කලාපයේ අනෙකුත් රටවල් (කාම්බෝජය, බංග්ලාදේශය වැනි) සමග එක්ව ජාත්‍යන්තර බලපෑමක් සිදු කිරිම.

5.4 මේ පවතින තත්වය භාවිතා කරමින් සේවකයින් සේවයෙන් පහකිරිම සදහා වන නීති ඇතුලු කම්කරු අයිතිවාසිකම් තහවුරු කෙරෙන නීති කිසිවක් සංශෝධනය කිරිමට කටයුතු නොකළ යුතුය. කිසියම් ආකාරයක සේවය අවසන් කිරිමක් පවතින නීති පද්ධතිය තුළ සිදුකළ යුතු අතර දැනට පවතින වන්දි ආඥාපනත හා සේවය අවසන් කිරිමේ පනත යටතේ තීන්දු කර ඇති වන්දි සීමාවන් වර්තමාන ජීවන වියදම් තත්වයට ගැලපෙන ලෙස සංශෝධනය කිරිම. පසුගිය කාලය තුල සිදුකිරිමට උත්සාහ කළ, සේවක විරෝධය නිසා අකුලාගන්නා ලද යෝජිත තනි කම්කරු නීති සංශෝධනය හෝ අනෙකුත් කම්කරු නීති සංශෝධනයන් මේ අවස්ථාව භාවිතා කරමින් සිදුකිරීමට රජය කටයුතු නොකළ යුතුය.

5.5 අපනයන හා දේශීය වෙළෙදපොල තුළ නව අවස්ථාවන් සොයා ගැනීමට වහාම මැදිහත් වීම. උදාහරණයක් ලෙස මේ වන විට මුහුණු ආවරණ හා අනෙකුත් ආරක්ෂිත ඇගලුම් සදහා දැඩි ඉල්ලුමක් පවතින අතර එම ඉල්ලුම සම්පූර්ණ කරලීම සදහා ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය ගත හැක.

5.6 සේවක වැටුප් අඩු කිරිමේ අවශ්‍යතාවයක් තිබේනම් එම අඩුකිරිම් මේ වන විටත් පහල වැටුප් ලබන සාමාන්‍ය සේවක වැටුපෙන් නොව ඉතා විශාල වැටුප් හා දීමනාවන් ලබන විධායක ශ්‍රේණීයේ නිළධාරින්ගේ වැටුප් හා අනෙකුත් පහසුකම්වලින් කපා හැරිම.

අඩු වැටුප් හා අවම පහසුකම් යටතේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වැඩි බරක් දැරූ ඇඟළුම් කර්මාන්තයේ සේවක සේවිකාවන් මේ මොහොතේ රැකගැනීම කර්මාන්තයේ ද, රජයේ ද වගකීමකි. මේ අසීරු අවස්ථාවේ සියලු බර සේවකයින් මත පටවමින් තම වගකීමෙන් මිදීමට රජය ද, සේව්‍ය පාර්ශවය ද කටයුතු නොකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

අත්සන් කලේ

1. ලංකා වෙළ‍ෙඳ කාර්මික හා පොදු සේවක සංගමය (CMU)
2. නිමි භාණ්ඩ ඇගලුමි හා රෙදිපිළි සේවක සංගමය
3. ඩාබිඳු සාමුහිකය
4. ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා
5. මානව විමුක්තිය උදෙසා සංවර්ධනය
6. ශ්‍රමාභිමානි කේන්ද්‍රය
7. විමුක්ති ව්‍යාපාරය

Supported by:

1. Alliance for Economic Democracy
2. Centre for Equality and Justice
3. Ceylon Bank Employee’s Union
4. FORUM-ASIA
5. Human Elevation Organization (HEO)
6. INFORM Human Rights Documentation Centre
7. Institution for Social Development
8. Law and Society Trust
9. Mannar Women’s Development Federation
10. Movement for Land and Agriculture Reforms
11. Movement for Plantation Peoples’ Land Rights (MPPLR)
12. National Fisheries Solidarity Movement
13. People’s Alliance for Right to Land
14. Progressive women’s Collective
15. Savistri National Women’s Movement
16. Social Institute for Development of Plantation Sector (SIDPS)
17. United Federation of Labour
18. Women’s action for social justice
19. Women’s Action Network
20. Working Women Front

leave a reply