Breaking News

පාරනූතන ජාතියකට ජාතික ගැටලුව විසඳීම

උදය ආර්. තෙන්නකෝන්

“යමක් සිදු විය යුතු ලෙස සිදු වන්නේ නැත. එසේ නො වන්නේ එය අප මනසෙන් පරිභාහිරව සිදු වන මෙහෙයවීම විසිනි. මෙම ප්‍රකාශයම මෙලෙසද සිදු විය හැකි ය. යමක් විය යුතු ලෙස සිදු වේ. එසේ වන්නේ අප මනසත්, මනසින් භාහිරත් සමපාතවීම තුළ දී ය. මෙම ප්‍රකාශ දෙක පුද්ගලයා සහ ඉන් පිටත යනුවෙන් ඇති කුමන හෝ සන්දර්භයකට ගලපා බැලිය හැකි වේ. මෙය අභිලාෂය, බලාපොරොත්තුව, ප්‍රාර්තනාව, සිහිනය ආදී අර්ථවලට ඇතළත් කළ හැකි ය”.

2009 යුදමය පරාජයෙන් පසුව ලංකාව තුළ ක්‍රියාකාරී එල්ටීටී දේශපාලනයේ අවසානය සනිටුහන් කරන්නට විය. ඒ ආකාරයෙන්ම ලංකාවෙන් පිටත රටවල වෙසෙන දෙමළ ජනයා එය එසේ අවසන් කළේ නැත. වෙනම රාජ්‍යය නම් වූ ඊලම අත් හැරීම පිළිබඳ අදහස් වෙනස් නො වීය. ඉතිහාසය විසින් ගොඩ නගා තිබූ ඊලාම් රාජ්‍යයේ භෞතික යථාර්ථය ලංකාව තුළින් ගිළිහුණු නමුත්, බොහෝ දෙමළ ජනයාගේ මනස තුල ගොඩ නගන ලද පාර භෞතික ඉතිහාසය මැකී ගොස් නැත. එ් අනුව උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ අභිලාෂය සම්මත රාජ්‍ය ආකෘතියෙන් වෙනස් වී පාර ජාතික රාජ්‍යයක් බවට පත්ව ඇත (මෙය රුද්‍ර කුමාරගේ පාර ජාතික දෙමළ ඊළම වැනි අර්ථයම නොවේ). එම තත්ත්වය ඇති කරනු ලැබීමට හේතු වී ඇත්තේ ද ජනවාර්ගික ප්‍රශ්නය විසින් සිය භූමිය තුළ දීම හා භූමියෙන් එළියට යෑමට සිදු වූ ජනතාවගේ අනන්‍යතාව පිළිබඳ කාරණය මුල්කොට ගැනීමෙනි.එක් අතකින් මෙම ජනතාවට සන්දර්භයන් දෙකක දී භූමීන් දෙකක් හමු වී ඇත.

1. ලංකාව කියන සන්දර්භය තුළ දීම තමන්ගේ භූමියේ වෙසෙමින් වෙනම හා පිටස්තර මානසිකත්වයක් ඇති වීම.

2. ලාංකාවෙන් පිටත වෙනත් රාජ්‍යයක වෙසෙමින් ජීවත් වීමේ දී, ලංකාව යන රාජ්‍යට තමන්ව මුළුමනින් අන්තර්ග්‍රහන නොවීම තුළ ඇති වන හැඟීම.

මෙම දෙයාකාරය විසින්ම ඇති කරන සහසම්බන්ධයන් තමන්ට අවශ්‍ය යැයි හැඟෙන ජාතිකත්වය සුවිශේෂී වෙනසකට බඳුන්වීම කෑපී පෙනන ලක්ෂණයකි. විශේෂයෙන්ම තමන් උපන් රටෙන් පිටතට පැමිණ ජීවත් වන විවිධ ජනයා ලෝකය පුරා ජීවත් වුවත්, දේශපාලනික හා සංස්කෘතික හේතූන් නිසා සිය භූමියෙන් පිට වීමට බල කරන ලද විවිධ හේතූ ඇත. මේ නිසා පිටමං වන ජනයා අනෙකුත් විදෙස්ගත ජනයාට වඩා වෙනස් වේ. ඔවුන්ව හඳුන්වනු ලබන්නේ “ඩයස්පෝරා” යන නිශ්චිත හැඟවුම්කරණයකිනි.

නිදසුනක් ලෙස මැදපෙරදිග සේවයේ නියුතු ජනයාට වඩා දියස්පෝරා ලෙසින් හඳුන්වන ජනයා සමාජ සංස්කෘතික හා දේශපාලනික වශයෙන් වෙනත් වර්ගීකරණයකට අයත් වන්නේ ය. සිය මුල් භූමිය සම්බන්ධයෙන් ඇති කර ඇති ගැටලුවක් නිසා රටින් පිටත ජීවත් වීමට සිදු වීම තුළ ඔවුන් එහෙටත් නැති මෙහෙටත් නැති තත්ත්වයකට පත්වීම නිසා ඔවුන් ස්වකීය අනන්‍යතාව සොයා ගැනීමේ ප්‍රයත්නයන්ගෙන් පසු වෙති. නූතන ලෝක පර්යාවේ ඇති විශාල වෙනස්කම් හේතුවෙන්, භෞතිකය සහ මානසිකත්වය බැඳ තබන සම්බන්ධතාවන් මෙම තත්ත්වය තුල පෙරට වඩා මෙම නව තත්ත්වය විසින් මිනිසාට ලබා දී ඇත. මෙන්න මේ තත්ත්වය අනන්‍යතාවක් අහිමි හෝ ඒ පිළිබඳ ගැටලුවක් ඇති ජනයාට සිය රාජ්‍යය පිළිබඳ කායික මානසික සම්බන්ධය පාර ජාතිකත්වය විසින් අවස්ථාව ලැබී ඇත.

එවැනි වාස්තවික සහ මනෝමූල තත්ත්වයන් ඇති වීම හේතු වී ඇත්තේ ලාංකීය රාජ්‍යය පිළිබඳ ඇති සැක සංකාවන් ය. අති මහත් විනාශයන්ට මුහුණ දීමෙන් සිදු වූ යුද්ධයකින් පසුව පවා, ජනවාර්ගික ගැටලුවට හිමි වූ කිසිවක් නැති අතර, ඒ වෙනුවට සිදු වූයේ වසර තිහක පමණ කාලයක පටන් වෙන් වී තිබුණු භූමිය ප්‍රාග්ධනයට උවමනා පරිදි ගමන් කිරීමට පහසුකම් සැළසීමය. ලංකා රාජ්‍යය විසින් ඊට සුදුසු පරිසරය නිර්මාණය කරමින් අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ දී, ප්‍රමුක වී ඇත්තේ රාජ්‍ය කේන්ද්‍රීය ප්‍රතිපත්ති වෙනුවට විදේශීය ප්‍රාග්ධනයට පහසුකම් සැළසීමක් ලෙසිනි. මේ නිසා ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස සිදු කළ යුද්ධය ප්‍රශ්නයට විසඳුමක් වෙනුවට නව යටත් විජිත ප්‍රාග්ධනයට සහ උපාය මාර්ගික බල දේශපාලනයට මාර්ගය සලසා දීමක් ලෙස පශ්චාත් යුද කාලය පුරා දැකිය හැකි වේ.

රාජ්‍යයයක් ලෙස රාජ්‍යය හෝ ජාතියක් ලෙස ජාතිය ගොඩ නැගීමේ අභිලාෂය මහජාතිය විසින් නිර්ණය කරන්නා වූ පැරණි අච්චුවේ සිටම සිය ලෝක දැක්ම බවට පත් කර ගැනීම නිසා දෙමළ ජනයාගේ භෞතික අනන්‍යතාව එලියට ගමන් කරමින් එක් අතකින් අර්බුදයටකට ද අනෙත් අතට ප්‍රසාරණයකට ලක් වීම පාර ජාතික රාජ්‍යයක් පිළිබඳ පරිකල්පය දක්වා විපරිවර්තනය වී තිබේ. ඒ අතරතුර ලාංකේය රාජ්‍ය සිය උපාය මාර්ගය කරගත් ඉන්දීයාව අමෙරිකාව සහ චීනය විසින් මෙරටේ සතුව පැවතින්නේ යැයි ස්වාධිපත්‍යයට බල පෑම් කරමින් තමන්ට රිසි හා හැකි පරිදි අත්පත් කරගෙන ඇත.

අනෙක් අතට යුද සමය තුළ සිදු වූ යුක්තිසහගත නොවූ සිදුවීම් පිළිබඳ නිසි පරීක්ෂණයන් පිළිබඳ බලාපොරොත්තු විදෙස්ගත සංවිධානාත්මක දෙමළ ප්‍රජාව අත්හැර නොමැත. රටින් පිටත වෙසෙන දෙමළ ජනයා සුවිශේෂී ජන කණ්ඩායමක් බවට පත්ව සිය උපන් භූමිය හා නිරන්තර සබඳියාවකින් තම ඥාතීන් හා දේපල සමග ආර්ථිකමය දායකත්වයක් දැක්වීම රටක් ලෙසත්, සිය වාස භූමිය ලෙසත් ගත්විට සුවිශේෂී තත්ත්වයක් බවට පත්ව ඇත.

දේශපාලනික අර්ථයෙන් තීරණාත්මක ලෙස වෙනම රාජ්‍යය යන විසඳුමකට හෝ ක්‍රියාකාරීත්වයකට ලංකාව තුළ විභවයක් ‍නැති යථාර්ථයක් තුල එම අදහස භෞතික වශයෙන් වෙනස් වී ඇත. එයට පෙරමුණු ගත හැකි හා උර දිය හැකි නායකත්වයක් හෝ ඊට පහසු යථාර්ථයක් ද නැත. අනෙක් අතට යුද්ධය විසින් අහිමි විශාල ජනයාගේ විභව ශක්තිය පශ්චාත් යුද සමයේ වෙසෙන සමාජය තුළ දැකිය නො හැකි ය. එසේම යුද වැදීමෙන් ලබා ගත හැකි ජයග්‍රහණයක් පිළිබඳ සිහිනයක් පැවතීමට ද හේතු තිබිය නො හැකි ය. හේතුව යුද්ධයේ කුරිරු බව අත් විඳි සමාජයකට නැවත ලේ වැගීරීමකට ගමන් කිරීමට කැමැත්තක් තිබීම ව්‍යාධියක් වනු නොවනුමානය. මේ නිසා කාලයත් සමඟ ලංකාව තුළ සහ පිටත පැවැතියා වූ සහ පවතින්නා වූ විවිධ ගතිකයන් හේතුකොට ගෙන එල්ටීටීඊ යන අනන්‍යතාව ද විපරිවර්තනයකට ලක්ව ඇතැයි සිතීම නිවැරදි ය. එහෙත් ඔවුන් වෙනම ජාතියක් යන හැඟීම කුමන තත්ත්වයන් යටතේ වුවද සිතින් අතහැර දැමීමට තරම් සංහිඳියාවක් හෝ විකල්ප විශ්වාසයන්ගේ විභවයක් දක්නට නැත. මේ නිසා රටක් තුළ රටක් අහිමි කොටසක් යන අනන්‍යතාව පමණක් වර්ධනය වෙමින් පවතී. එය ඇතුළත ජාතිය වෙනුවට පිටත ජාතිය ගොඩ නැගීම යන්න පාරභෞතික යථාර්ථයක් වී ඇත. ඒ සඳහා ඔවුන් සංස්කෘති හා ආර්ථික වශයෙන් ශක්තිමත් ජන වර්ගයක් බවට පත් වී ඇතැත්, දේශපාලනික දර්ශනයේ ඇති ක්‍රමවත් බව නො මැතිකම හැරුණු විට, පාර ජාතික රාජ්‍යයකට අවශ්‍ය කොන්දිසී සපුරමින් සිටී.

දෙමළ ජනයාගේ සිත සහ හදවත මුල් වූ ආත්ම මූලික ඩී ෆැක්ටෝ රාජ්‍ය හිමිකර ගැනීමට හැකි දේශපාලන නායකත්වයක් හෝ ක්‍රියාමාර්ගයක් තවමත් හරි හැටි නැති වුවත්, ඒ සඳහා බල කෙරෙන හේතූන් සිංහල රාජ්‍යය විසින් සහ එය හා සම්බන්ධ දෙමළ දේශපාලනය විසින් සපුරමින් සිටී. ස්වකීය ගැටලුවට පැරණි අර්ථයෙන් පවා පිළිගැනීමක් වෙනුවට දකුණෙන් උතුරු නැගෙනහිර කාදනය කරගැනීමේ දෘෂ්ටිවාදය විසින්, දෙමළ ජනයාගේ අනන්‍යතා අභිලාෂය බොඳ කර දමා ඇත. ඔවුන්ගේ අභිලාෂය රටක අභිලාෂය බවට පත්කරලීමට අවම හෝ විසඳුමක් ලබා දීමට දකුණේ පාලනය කල්පනා කිරීම යන්න නැවත නැවත රැවටවීමක් යන්න සිතීම ඔවුන්ට අනුව මෙන්ම යුක්තිය හා ධර්මය අනුව සාධාරණ වේ. මේ නිසා ඔවුන් වෙනම ජාතියක් ලෙස රාජ්‍ය තුළම හුදකලා වී ඇති සංස්කෘතික සත්වයින් වී සිටී.

එසේම පශ්චාත් යටත් විජිත පාලන කාලය තුල මිලිටරිමය වශයෙන් හෝ පැවැති භෞතික යථාර්ථය 2009 අවසන් කළ යුද්ධයට සිය පාර භෞතික රාජ්‍යය විනාශ කර දැමීමට හැකියාවක් ලැබී නැති අතර ලංකාව රාජ්‍යයක් ලෙස ඓතිහාසික මූල හේතුවට හා ඉන් පැන නැගී ඇති දෙමළ ජනයාගේ අපේක්ෂාවන්ට ලංවීමට දකුණේ සිංහල රාජ්‍යයේ පශ්චාත් යුද කාලයට ඇතුළු වීමකට කිසිදු ආණ්ඩුවකට හැකි වී නැත. ඒ වෙනුවට ප්‍රශ්නය සරළ කර ගනිමින් ස්වෝත්තමවාදී සිංහල ආධිපත්‍යයේ සිට ‍දෙමළ ජනයා නිර්ණය කිරීම මිස වෙනත් දේශපාලනික හා මානූෂීය දෘෂ්ටියක් හෙලීමට සමත්කමක් දක්වා නැත.

2024 ජනාධිපතිවරණය ඊට කදිම නිදසුනක් ඉදිරිපත් කරමින් ලංකා සිතියමට වෙනස් වර්ණයක් දෙන්නට විය. එය සිදු වූයේ සම්මත ලෝකයම පිළිගන්නා ප්‍රාජතන්ත්‍රීය සර්වජන ඡන්ද බලය විසිනි. සුළු ජාතිය ලෙසින් වර්ග කරනු ලබන උතුරු හා නැගෙනහිර දෙමළ ජනයාට අමතරව මුස්ලිම් ජනයාත් අනූපූරක වාර්ගිකත්වයක් සලකුණු කරයි. නමුත් එම තත්ත්වය නොවැම්බර් මහවැතිවරණය තුළින් පෙර නොවූ විරූ වෙනසකට මුළු ලංකාවම යටත් වී, ජාතික ජනබලවේග දේශපාලන කණ්ඩායමට හැකි විය. මෙවැන්නක් සිදු වූයේ කෙසේදැයි යන ගණන් හැදීම ජාතික ජනබලවේගයට පවා සිතා ගත නො හැකි වීම කහිප ආකාරායකට තේරුම් ගත හැකි වේ.

1. ජාතික ජනබලවේගය විසින් දකුණේ ලද ජනාධිපතිවරණ ජයග්‍රහනය උතුරු නැගෙනහිරට පරාවර්තනයක් සිදු වීම

2. දකුණේ මෙන්ම උතුරේ සාම්ප්‍රධායික දේශපාලනය “දැන් තිත තිබිය යුතුයි” යන සාමූහික විඥාඥාණය වර්ධනය වීම

3. සංහිඳියාව වින්දිතයාගෙන් පටන් ගැනීම

4. උපාය මාර්ගික භාහිර පාර්ශවයන්ගේ මැදිහත්වීම

ඉහත උපකල්පනයන් හරි හෝ වෙනස් වුව ද, ලංකා ඉතිහාසයේ 2024 වර්ෂය එක් කඩඉම් රේඛාවක් ලකුණු කමින් පවසන සත්‍යයක් ඇත. එනම් ජාතීන්ගේ ගැටලුවට විසඳුමක් සොයා ගැනීම සඳහා දී ඇති අවස්ථාවක් යන සංඥාව ය. තව දුරටත් ඒ වෙනුවෙන් ක්‍රිඩා කිරීමට කාලයක් හා අවකාශයක් ලබා දී නැත. නමුත් එයට වංගු ගැසීමට ද අවස්ථාවක් ලැබී නැති බව රාජ්‍ය පාලනයට සිහිපත් කිරීමකි. එය උතුරු හා නැගෙනහිරට පමණක් නොව ප්‍රශ්නයේ සාධාරණත්වය සහ යුක්තිය වතුකර දෙමළ ජනයා වෙතට ද ගමන් කර ජාතීන්ගේ ගැටලුව යන පොදු ගැටලුවට ඇතුළත් වී ඇත. වතුකර දෙමළ ජනයාගේ ගැටලුව උතුර හා සමානව නමුත් වෙනත් අර්ථයෙන් ප්‍රශ්නය “භහීර්ජන්‍ය” කරමිනි. උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ප්‍රශ්නය පාර ජාතික ප්‍රශ්නයක් ලෙස ගෝලීය සන්දර්භයකට පැමිණීමේ දී, වතුකර දෙමළ ජනයාගේ ප්‍රශ්නය ඉන්දියානුකරණය වී තිබීම නොවැලැක්විය හැකි කාරණයක් බවට ඔඩු දුවමින් ඇත. ලාංකීය රාජ්‍ය “ලාංකීය රාජ්‍යය” ලෙස ගොඩ නගා ගනිමින් ජාතීන්ගේ ප්‍රශ්නයට හෘදයාංගව ආමාන්ත්‍රණය කිරීමට අපොහොසත් වීම යනු සමස්ථ භූමියම එකට ලබන දඬුවමක් වනු ඇත.

ලංකාව ආර්ථිකමය වශයෙන් හතර ගතෙන් ඇද වැටී ඇති අවස්ථාවක පසු වුවත්, ජාතීන්ගේ ගැටලුව නැවත අධිනිශ්චය වී ඇත්තේ අතීතය හොල්මන් කර පුනර්ජනනය කරන පන්දමකින් ගෙන එන ආලෝකයක් ලෙස ය. ඔවුන්ට ඔවුන්ගේ ප්‍රශ්නයක් ලෙස සලකා ඔවුන්ට විසඳුම් ලබා ගැනීමට ඇති අවස්ථාවක් වෙනුවට, ඔවුන්ගේ ප්‍රශ්නය අපේ ප්‍රශ්නයක් බවට පත්කර ගනිමින් නිර්ණය කිරීම බරපතල ස්වෝත්තම දේශපාලනික අභ්‍යාසයකි. දකුණේ බලය හොබවන සිංහල රාජ්‍යය දෙමළ ජනයාගේ ප්‍රශ්නය හඳුනා ගන්නා විදිහ එයට විසඳුම් හොයන මාදිලියක් දකින්නට නැත.

ඉන්දු ලංකා ගිවිසුම් ප්‍රකාරව පලාත් සභා ඔස්සේ මෙතෙක් භාවිතයට ගෙන ඇති විසඳුම උතුරු නැගෙනහිර පමණක් නොව සිංහල ජනයා ජීවත් වන පලාත්වලට පවා වැඩක් නැති සහ අතාර්තික අර්ථයන් ඇති බව දකුණේ පලාත් නියෝජනය කරන්නන්ගේ ද අදහස වී ඇත. බලය බෙදා හැරීම නම් වූ අදහස එම ව්‍යවස්ථාපිතය තුළ ඒ අයුරින් පිළිබිඹු වන්නේ නම්, ප්‍රශ්නයට විසඳුමක් ලැබීමට තරම් ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක බවක් මෙතෙක් ඉතිහාසය තුළ එයට හිමි වන්නට ඉඩ තිබිණි. නමුත් එය ප්‍රශ්නයෙන් ගැලවීමට ඇති වේදනා නාශකයක් වුවත් ජනතා අභිලාෂයන් තෘප්තිමත් කිරීමට නො හැකි බව විවාධිත ය.

මේ නිසා ජනවාර්ගික ප්‍රශ්නය නමින් හැඳුන් වූ වාර්ගික අනන්‍යතා හා ජන අභිලාෂයන්ගේ ගැටලුව දැන භූමියෙන් පිටතට පැන ඇත. ප්‍රශ්නයේ පැරණි ස්වභාවය වෙනස් වී ඇත. ජනතා අභිලාශයන් සහ අනන්‍යතාව යනු කුමක්ද යන්න පාර ජාතිකත්වය පසු කරමින් පාර නූතනත්වය දක්වා ගමන් කරමින් ඇත. අනාගතය වසර පහකට වඩා පරම්පරාවන්ගේ යහ පැවැත්ම සහ තිරසාරත්වය වෙත ණැන නුවන පහළ කර ගත යුතු දැක්මක් අවශ්‍යව ඇති සන්ධීස්ථානයකි. එම මොහොත මිනිසුන් ලෙස, ලාංකිකයන් ලෙස ලබා ගත යුතු මොහොතකි. ජනතාවගේ කොටස සිදු කොට හමාර ය. එසේ නම් දැන් ඇත්තේ බලයට පත් ආණ්ඩුවේ කොටස යැයි කීම සත්‍යයෙන් අඩකි. සම්පූර්ණ වීමට සර්වත්‍රමය එක් විය යුතු ය. එම එකතුව සිදුකිරීමේ පහසුකම් සපයන්නාගේ කර්තව්‍යය හිමිව ඇත්තේ බලයට පත් ආණ්ඩුවටය. ආණ්ඩුව කාගේද යන ප්‍රශ්නය නො ඇසිය හැකි මඟකට යොමු වීම මඟ සොයා ගත හැකි වීමත්, එයට ඇතුළු වීමත් යුගයේ වැඩකි. ඉතිං

අතීතයේ සියලු ක්ෂතීන් දුරු කර ගැනීමේ සංහිඳියාවකට පැමිණීමේ කාර්යයට කොන්දේසි නැත. එහෙත් සංහිඳක් තැනීම හා එහි ආත්මය ඇත්තේ අප සතුවම ය.

 

leave a reply