Breaking News

බොරු කියන ප්‍රථමයා නොවී වගකීම් සහගත ප්‍රථමයා වෙමු

ඇතිවී තිබෙන තත්වය හමුවේ විවිධ පුද්ගලයන් විවිධ තොරතුරු සමාජ මාධ්‍ය ජාලා හරහා සමාජගත කරන්න උත්සාහ කරනවා. සමාජ මාධ්‍ය ජාලයට තොරතුරු මුදා හරින ,බෙදාහරින බහුතරයක් දෙනා තමන් විසින් සමාජගත කරන තොරතුරු පිළිබඳව හෝ ඡායාරූපය පිළිබඳව වගකීමක් සහ එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සිතන බවක් පෙනෙන්නට නැහැ. එපමණක්ද නොව අපේ රටේ ප්‍රධාන මාධ්‍ය යැයි කියා ගන්නා සමහර මාධ්‍ය ද මේ වගකීම් විරහිත පුවත් නිර්මාණය කිරීමේ කාර්යයේ පසුගිය දවස්වල යෙදී සිටියා. ඒ වගේම මාධ්‍ය ප්‍රකාශකවරු සහ ඉහළ තනතුරු දරණ වෛද්‍ය සේවයේ නිලධාරීන් සහ දේශපාලකයන් මේ වගකීම් විරහිත තොරතුරු සම්පාදන කොටස්කරුවන් බව අපි දැක්කා.

පහත ඡායාරූප සාක්ෂි ද සමඟ ඉදිරිපත් කරන්නේ එවැනි අසත්‍ය තොරතුරු කීපයක් සමාජගත කළ ආකාරය පිළිබඳව

මාර්තු මාසේ 22 දා Croaziaවේ Zagabria ප්‍රදේශයට අලුයම 5.30 ට පමණ ප්‍රබල භූකම්පන දෙකකට මුහුණ දෙන්න සිදු වුණා. පළමු භූ කම්පනය 5.24 සිදුවූ අතර එය රික්ටර් මාපකයේ සඳහන් වුණේ 5.4 ක් ලෙසයි. ඊට සුළු මොහොතකට පසුව දෙවන භූකම්පනය සිද්ධවෙනව. එය සටහන් වෙන්නේ රික්ටර් මාපකයේ අංශක 4.9 ක් ලෙසයි. මේ ප්‍රබල භූ කම්පන දෙක නිසා Croaziaවේ Zagabria ප්‍රදේශයට දැඩි හානි පමුණුවනවා . මේ අනපේක්ෂිත සිදුවීම් හමුවේ බොහෝ ජනතාව කරකියාගන්න දෙයක් නැතිව අසරණ වුණ අතර එම ප්‍රදේශයේ තිබුණු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ද දැඩි අපහසුතාවයන් වලට පත් වුනා. විශේෂයෙන්ම ප්‍රථම භූ කම්පනයෙන් පසු සුළු භූ කම්පන කීපයක් එම ප්‍රදේශය ඇති වී තියෙනවා. නැවතත් විශාල භූ කම්පනයක් ඇති වෙයි කියලා හිතපු ජනතාව ඉතා ඉක්මනින් නිවෙස්වලින් සහ තමන් හිටපු තැන්වලින් එළියට බැහැල ආරක්ෂාව පතල තියෙනවා.

පහත ඡායාරූප වලින් ඔබ දකින්නේ ගර්භනීය මව්වරුන්, දරුප්‍රසූතිය සිදු කරපු මව්වරුන් තමන්ගේ ඇඳවල් සමඟ හෝ ඔක්සිජන් සේලයින් සමඟ තමන්ගේ දරුවන්වත් වඩාගෙන එළියට බැහැලා ඉන්න දර්ශනයක්. මේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයට මුදාහැර කෙනෙකු සටහන් කර තිබුණේ corona වෛරසයට ගොදුරු වුණු ඉතාලි ජාතිකයන්ව රෝහල්වල තබා ගන්නට ඉඩ නැති නිසා පාරේද දමා තිබෙනවා කියයි.

ඉතාලියේ lombardia ප්‍රාන්තයේ සහ වෙනත් ප්‍රාන්තයන් වල රෝහල් පිරී ඉතිරී යන තරමට රෝගීන් ඉන්නා බව සැබෑවකි. රෝගීන්ව කොරිඩෝ වලද තබා තිබෙන බව සැබෑවකි. රෝහල් ඉදිරිපිට තාවකාලික කූඩාරම් තනා තාවකාලික රෝහල් බවට පරිවර්තනය කරගෙන ඉන්න එකද සැබෑවකි. දැන් දැන් රෝහල්වල ඉඩ නැති නිසා අසාධ්‍ය නොවන රෝගීන්ව තමන්ගේම නිවසේ තබා ප්‍රතිකාර කරන එක ද සැබෑවකි. තොරතුරු එසේ වුවද පුද්ගලයන් තිබෙන නිදහස පාවිච්චි කරමින් වගකීම් විරහිත ලෙස මිනිසුන් භීතියට පත් කිරීම අමන ක්‍රියාවකි.

ඒ විතරක් නෙවෙයි මේ ඡායාරූප උපුටා දක්වමින් ලංකාදීප පුවත්පතද වගකීම් විරහිත ලෙස මෙම පුවත වාර්තා කර තිබුණා. පසුදා එය අත් වැරදීමක් යැයි ප්‍රකාශ කර තිබුණා. ලෝකයම කතා කරපු Croaziaවේ භූකම්පන සහ ජයාරූප, ලොකුයි කියල කියා ගන්න මේ මාධ්‍ය ආයතන නොදැන සිටීම බරපතළ ප්‍රශ්නයකි.


පහත පළවන්නේ තවත් එවන් වගකීම් විරහිතව බෙදාහරින ඡායාරූප කීපයකි

කොරෝනා වෛරසය නිසා ඉතාලියේ දිනකට හය හත් සියයක් මැරෙන එක පසුගිය සතිය පුරාවටම සිද්ධ වෙච්ච දෙයක්. ඉතාලිය තුළ නිවැරදි තොරතුරු සමාජගත නොකර වසන් කරනවා කියන කතාව ද තිබෙන බව අපි දනිමු. අද දවසේ අප ඉදිරිපත් කළ (මාධ්‍ය වාර්තා වලට වැඩිය ඉතාලියේ තත්ත්වය බරපතලයි, La varita su Bergamo බෙර්ගමෝව පිළිබඳ ඇත්ත….) මේ පුවතින් ඒ පිළිබඳව කරුණු හෙළිදරව් කර තිබේ.

බෝට්ටු මගින් සරණාගතයන් ඉතාලියට ඒම සාමාන්‍ය සිරිතක්. සමහර අවස්ථාවලදී කුඩා කණ්ඩායම් එන අතර. තවත් අවස්ථාවල දී විශාල බෝට්ටුවල බෝට්ටුවලට දරාගන්නට බැරි තරම් පිරිස් එන බව වාර්තා වෙනවා. 2013 වර්ෂයේ මෙවැනි අවාසනාවන්ත සිදු වීමක් සිද්ධ වෙනවා. සාමාන්‍ය ප්‍රමාණය බෝට්ටුවක බෝට්ටුවට දරාගන්න බැරි තරම් වූ අප්‍රිකානු සංක්‍රමණිකයන් පිරිසක් ඉතාලියට ඇතුල් වෙන්න උත්සාහ කරන අතරතුරේ ඉතාලි මුහුදු තීරයේ දී ඒ බෝට්ටුව මුහුදුබත් වී 368 ක් ජීවිතක්ෂයට පත්වෙනවා. ඒ සිදුවීමෙන් පුංචි පිරිසක් තමයි ජීවිතය ගලවා ගන්නේ.

මේ පහත ඡායාරූපවල තිබෙන්නේ එදා මුහුදුබත් වූ බෝට්ටුවේ සිටි අප්‍රිකානු ජනතාවගේ මෘත දේහයන්, මේ ඡායාරූප සමඟින් තවත් එක් ඡායාරූපයක් සැරිසරනව එහි තිබෙනවා සුදු පාට පෙට්ටි හතරක් හෝ පහක් එතන තියෙනවා කුඩා පෙට්ටි දෙකකුත් , ඒ සුදු පෙට්ටිවල දමා තිබෙන්නේ කුඩා දරුවන් සහ ගර්භනීය මව්වරුන්ව.

මේ ඡායාරූප ද විවිධ පුද්ගලයන් විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බෙදා හරිමින් තිබෙනවා, කොරෝනා වෛරසයහේතුවෙන් මිය ගිය අයගේ අවසන් කටයුතු කියලා. මේ ඡායාරූප වලට ද මේ මොහොතේ ලබාදී තිබෙන අර්ථකථනය නිවැරදි නොවේ.


24 වැනිදා මෙසිනා නගරයේ රෝහලක කොරෝනා වෛරස ආසාදිත ශ්‍රී ලාංකිකයෙක් මිය ගිය පුවතක් ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් වලත් මාධ්‍ය වලත් පළ කර තිබුණා. එදින එම නගරයේ කොරෝනා වෛරසය නිසා මියගිය පුද්ගලයෙක් පිළිබඳව පුවතක් පළ වී තිබුණත් එය ශ්‍රී ලාංකිකයෙක් යැයි සඳහන් කර තිබුනේ නැහැ . අප කළ විමසීමකදී ද එවැනි සිදුවීමක් පිළිබඳ වාර්තාවක් වාර්තා වුණේ නැහැ.

ඉතාලි ජාතිකයන් දහස්ගණනක් කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින් ඊට ගොදුරු නොවේ යැයි අපට කිව නොහැකියි. ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙක් මිය යෑමට ඇති ඉඩකඩ නැතැයි ද අපට කිව නොහැකියි. නමුත් තොරතුරු වාර්තා කිරීමේදී ප්‍රරථමයා වෙනවට වඩා නිවැරදි තොරතුරු ප්‍රථමයෙන් වාර්තා කළ මාධ්‍ය ආයතනය වෙන එක හොඳයයි සිතමු .

සමාජ මාධ්‍ය ජාලය පරිහරණය කරන ඔබගේන් සමාජය බලාපොරොත්තු වෙන්නේ වැරදි තොරතුරු ඉක්මනින් ලබා ගැනීම නොවෙයි. නිවැරදි තොරතුරු විශ්වාසනීයව ලබාගැනීමයි. ඒනිසා අපි කවුරුත් වගකීම් සහගත වෙමු.

leave a reply