Breaking News

ගල් අඟුරු අර්බුදය නිසා පැය 8ක් 10ක් විදුලිය කපයිද?

ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් ඉදිරියේදී පැය 8 – 10 ක තරම් දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවෙනු ඇති බවට බිය පළවෙමින් තිබේ. අද දිනයේ පැය 3ක් දක්වා විදුලි කප්පාදුව දීර්ඝ විය. එයට හේතු ලෙස සඳහන් වූවේ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන කොටසේ ඇතිවූ හදිසි බිඳවැටීමයි. නමුත් සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන ඇතැම් පිරිස් පවසන්නේ මෙවැනි හේතු ඉදිරිපත් කළත් ඇත්ත හේතුව දැනට පවතින ගල් අඟුරු හිඟය බවයි.

දැනට ඇති ගල්අඟුරු තොග ප්‍රමාණය මෙට්‍රික් ටොන් 245ක් බවත් දිනක අවශ්‍යතාව ටොන් 5 ක් වීම හේතුවෙන් දැනට මෙරට පවතින්නේ දින 50ක ප්‍රමාණවත් ගල්අඟුරු තොග පමණක් බව මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තාවලට අනුව ලබන ඔක්තෝම්බර් 28 වන විට මෙරට ගල්අඟුරු සංචිත අවසන් වේ.

මේ වන විට නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ දැනට ක්‍රියාකාරීව පවතින්නේ එක් ජනන යන්ත්‍රයක් පමණි. ඒ දෙවැනි ජනන යන්ත්‍රය ද මේ වන විට අලුත්වැඩියා තත්ත්වයේ පවතින බැවිනි.

ඔක්තෝම්බර් දෙවැනි සතිය වන විට එම ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා නිමා කර සති දෙකක් පරීක්ෂාවට ලක්කළ යුතුව ඇත. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මෙයට් පෙර පැවසුවේ ගල්අඟුරු තොග නොලැබුණ හොත් එක් ජනන යන්ත්‍රයක් නවතා අලුත්වැඩියා කරන ලද ජනන යන්ත්‍රය පරීක්ෂාවට කළ යුතුව ඇති බවයි.

ජනක රත්නායක මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ, “ඔක්තෝබර් 28 පස්සේ ගල්අඟුරු නැතිවුණොත් බලාගාර තුනම වහන්න වෙනවා. මෙගාවොට් 820ක් විතර නැතිවෙනවා. දෛනික විදුලි ජනනයෙන් 35 – 40% ක් පමණ උත්පාදනය කෙරෙන්නේ නොරොච්චොලෙන්. පැය 8 – 10ක පමණ විදුලි කප්පාදුවකට යන්න වෙනවා අපිට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය අද හෝ හෙට හරි ඇනවුම් නොකළොත්. මේක ඉතා බැරෑරුම් ප්‍රශ්නයක්. අද හෙටම මේ තත්ත්වය වළක්වා ගත යුතුයි.”

සාමාන්‍යයෙන් නොරොච්චෝලේ බලාගාරය සඳහා අනවුම් කරනු ලබන ගල්අඟුරු තොග ගොඩ බෑම සිදුවන්නේ සැප්තැම්බර් සිට අප්‍රේල් අග දක්වා කාලය තුළයි. වාරකන් සමය හා මුහුදේ රළු වීමේ ස්වභාවය අනුව ගල්අඟුරු ගොඩබෑම සඳහා වර්ෂයකට ලැබෙන දින ගණන 185ක් පමණ වෙයි.

ලබන වසර සඳහා ගල්අඟුරු නැව් 38ක් අවශ්‍ය බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙයි. ලබන වසර සඳහා අවශ්‍ය ගල්අඟුරු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.28 කි. දිනකට මෙට්‍රික් ටොන් 10000ක් ගොඩ බෑ හැකිය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ අඛණ්ඩව විදුලි සැපයුම පවත්වාගෙන යාම සඳහා දින 05කට වරක් ගල් අඟුරු නැවක් අනිවාර්යෙන්ම දිවයිනට ළඟා විය යුතු බවයි.

ගල් අඟුරු නැවක් සඳහා ඩොලර් මිලියන 21ක් ගෙවිය යුතු වෙයි. ඒ අනුව දින 5කට වරක් ඩොලර් මිලියන 21 බැගින් ලබන අප්‍රේල් දක්වා අරමුදල් සපයා ගත යුතුව ඇතැයි ද ජනක රත්නායක පැවසීය.

ගල් අඟුරු ටෙන්ඩර් අර්බුදය
මාසයකට ප්‍රථම ගල්අඟුරු සැපයුම සඳහා බ්ලැක් සෑන්ඩ් කොමඩිටීස් ( Black Sand Commodities) නැමති සමාගම තෝරා ගෙන තිබුණි. ලංකා කෝල් සමාගම විසින් නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් එම සැපයුම්කරු තෝරාගෙන තිබේ.

ඔවුන් ලංසුව ඉදිරිපත් කර ඇත්තේ නැව් ගාස්තුව සමග ටොන් එකක් සඳහා මිල අමෙරිකානු ඩොලර් 328 ක් ලෙස දක්වමිනි. අඩුම ලංසුව එම සමාගම ඉදිරිපත් කර ඇති අතර මාස 06ක ණය පදනම මත ගල්අඟුරු සැපයීමට බ්ලැක් සෑන්ඩ් සාමගම එකඟ වී තිබූ බව ජනක රත්නායක සඳහන් කළේය. ටෙන්ඩර් අනුව ගල්අඟුරු සපයන්නා විසින් අනිවාර්යෙන් මාස 6ක ණය පදනම මත ගල්අඟුරු සැපයිය යුතුය. ඊට සැපයුම්කරු එඟක වී ඇත.

කෙසේවෙතත් මේ සඳහා ලංසු ඉදිරිපත් කළ තවත් සමාගමක් මීට මැදිහත් වීමත් සමග මෙය අර්බුදයක් බවට පත්විය. ඒ අනුව මෙය නීතිමය කටයුත්තක් දක්වා දුරදිග ගොස් තිබේ.

ජනක රත්නායක කියා සිටියේ, “අපි අද හරි හෙට හරි අපි ගිය අවුරුද්දේ ටෙන්ඩර් කරපු ඒ ගල්අඟුරු තොග ගත්තේ නැත්නම් අපිට ගල් අඟුරු ගන්න අපහසු වෙනවා. මාස 06ක ණය පහසුකම නැතිව ගිහින් තියෙනනවා. අලුත්ම ගෙවීම් කොන්දේසි අනුව අපිට එල්.සී අරින්න බැහැ. ලෝකේ කිසිම බැංකුවක් ලංකාව වෙනුවෙන් එල්.සී අරින්නේ නැහැ. අලුත්ම පේමන්ට් කොන්දේසිය තමා, 30%ක් කලින් ගෙවන්න ඕනේ ඇනවුම්කරන වෙලාවේ. ඉතිරි 70%ක් තොග බාන්න කලින්. අපි දැන් තෙල් ගෙන්නන්නේ රීලෝඩ් ක්‍රමය වගේ. අපි 100% දැන් මුදල්ගෙවා ගල් අඟුරු මිලදී ගන්න සිදුවෙලා තියෙනවා. අපි සල්ලි දුන්නමා තමා තොග දෙන්නේ. මාස 6 ක ණය කාල සීමාව නැති වෙලා තියෙනවා. මේක හරිම ව්‍යාකූල හරිම අසාධාරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා.”

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා වසරකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 610කි. නව ක්‍රමවේදය යටතේ ගල් අඟුරු මිලදී ගැනීම සඳහා දැන් අත්තිකාරම් මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත් ඔහු පැවසීය.

ජනක රත්නායක පැවසුවේ “එක නැවක වටිනාකම ඩොලර් මිලියන 21. ඩොලර් මිලියන 6ක් අත්තිකාරම් ගෙවිය යුතුයි. නැව එන්නේ දින 25කින්. ඉතිරි ඩොලර් මිලියන 15 ගල්අඟුරු ගොඩබෑමට පෙර ගෙවිය යුතුයි. ඔක්තෝබර් 20ට කලින් අනිවාර්යෙන්ම ඩොලර් මිලියන 21ක් තියෙන්න ඕනේ. හැම දින 05කට සැරයක්ම අපි ගල්අඟුරු තොගයක් ඇනවුම්කළ යුතුයි. දින 05කට සැරයක් අත්තිකාරම් ගෙවිය යුතුයි. දින 5කට සැරයක් අපි ඉතිරි ප්‍රමාණය ගෙවන් ඕනේ. දින 5කට සැරයක් ඩොලර් මිලියන 21 සෙවිය යුතුයි.”

“මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ මාස 6ක ණය පදනම අහිමි වීමයි. ඒකට පාර්ශව කිහිපයක් මැදිහත් වෙලා, මේ තත්ත්වය අති වෙලා, ව්‍යාකූල කරලා. රටම අඳුරේ තබා ගැනීමේ අඩියක තමා අපි ඉන්නේ.” ඔහු කියා සිටියේය.

ජනක රත්නායක පැවසුවේ “දිනකට පැය 8ක් 10ක් අනිවාර්යෙන් කපන්න වෙනවා.” යනුවෙනි.

BBC වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙනි

leave a reply