Breaking News

හෙට ලංකාවේ ජනතාවද කසකස්තානයේ ජනතාව මෙන් ආණ්ඩුවට එරෙහිව පාරට බැසිය යුතුයි.

සමන්සිරි හේරත්

ඉන්ධන සහ ගෑස් මිල ඉහල දැමීම හේතු කරගෙන මීට දින කිහිපයකට ඉහත දී කසකස්ථානයේ ජනතාව ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් ආරම්භ කරනු ලැබුවා. විරෝධතාවය මර්දනය කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග හමුවේ කුපිත වූ ජනතාව එම විරෝධතාවය ආණ්ඩුවට එරෙහි ප්‍රචණ්ඩ විරෝධතාවයක් දක්වා ඉදිරියට ගෙන යන්නට සමත් වී සිටිනවා. කසකස්ථාන ජනතාව පාරට බසින්නට හේතු වූයේ අධික ලෙස ඉහළ දැමූ ඉන්ධන සහ ගෑස් මිල පමණක්ම නොවෙයි ක්‍රමානුකූලව වර්ධනය වෙමින් පැවති දුප්පත්කම , සමාජ අසමානතාවය සහ දුෂණය පිළිබඳව කැකෑරෙමින් තිබුණු වෛරය ද මීට එකතු වී ආණ්ඩුවට එරෙහි කෝලාහලයක් බවට පත්වී තිබේ.

කසකස්තානයේ ප්‍රචණ්ඩ විරෝධතා ආරම්භයේ සිට අද දක්වා එරට ජනාධිපති තුන් වරක් ජාතිය අමතා තිබේ. තුන්වන වතාවට අද ජාතිය ඇමතූ ජනාධිපතිවරයා වීරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා සන්සුන් නොවන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගෙන ජනතා අරගලය මැඩ පවත්වන බවට ප්‍රකාශ කර තිබෙන අතර කසකස්තාන රාජ්‍ය නායකයාට අනුව Kassym-Jomart Tokayev, නගරය අල්ලා ගත් ජනතාව “කොල්ලකරුවන් සහ ත්‍රස්තවාදීන්”ය .

එමෙන්ම තුන්වන වරට ජාතිය අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිට්න්නේ එළඹෙන ජනවාරි 11 වන දින පාර්ලිමේන්තුව අමතා කරන කතාවකදී ප්‍රතිසංස්කරණ සැලැස්මක් එළිදක්වන්න තමන් බලාපොරොත්තුවෙන් සිටින හෙයින් කලකෝලහල කිරීමෙන් වළකින ලෙසයි.

අල්මාටි හි ගිනිගත් පරිපාලන ගොඩනැගිල්ලක්.

කසකස්තානයේ මහජන විරෝධතා ආරම්භ වුයේ Zhanaozen සහ Aktau හිදී වූ අතර, පසුව විරෝධතා Almaty ඇතුළු අනෙකුත් නගරවලට පැතිර ගියෝය.එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ගැටුම්වලින් විරෝධතාකරුවන් 26 දෙනෙකු මෙන්ම පොලිස් සහ ආරක්ෂක අංශවල පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම පුද්ගලයන් 3,800 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බවද පැවසිය .

දිනපතා ජනතාව වෙත එල්ල කරන ආණ්ඩුවේ පීඩනයට එරෙහිව රටේ ජනතාව විරෝධය පෑම “විදේශීය පුහුණුව ලත් කල්ලි ආක්‍රමණයක්” ලෙස හැඳින්වූ ජනාධිපති Kassym-Jomart Tokayev ඉක්මනින්ම CSTO සාමූහික ආරක්ෂක කවුන්සිලයෙන් ආධාර උපකාර ඉල්ලා ජනතාව මර්දනය කිරීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කර ගත්තේය. ජනාධිපති වරයාගේ මෙම ක්‍රියාව හමුවේ ජනතාවගේ කෝපය දෙගුණ තෙගුණ වී විනාශකාරී මාවතකට ගමන් කිරීමට හේතුවිය. CSTO ඒකාබද්ධ සාම සාධක හමුදාව අයත් වන රටවල් වන්නේ රුසියාව, බෙලරුසියාව, ආර්මේනියාව, ටජිකිස්තානය සහ කිර්ගිස්තානයයි.

කෙසේ වෙතත් වර්තමාන කසකස්තාන ජනතා නැගිටීම හමුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවට ද ශ්‍රී ලංකා ජනතාවට ද පණිවිඩයක් ලැබෙමින් පවතී. අද ලංකාවේ වර්තමාන ආණ්ඩුව රටේ ජනතාව පීඩාවට පත් කරමින් සියලුම රටේ සම්පත් විකුණා ගෙන එදිනෙදා ජීවිතය ගත කරන බේබද්දෙක් ගේ තත්ත්වයට පත්වී ඇත. ඒ අනුව දිනපතා බඩු මිල ඉහළ යෑම බඩු හිග වීම සහ පෝලිං නිර්මාණය වෙමින් පවතී. තව නොබෝ දිනකින් ලංකාවේ ජනතාවගේ ද ඉවසීමේ සීමාව ඉක්මවා යන්නට නියමිතව තිබේ. කසකස්තානය ජනතාව පාරට බැස ආණ්ඩුවට එරෙහිව කරන මේ අරගලය හරියාකාරව මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ මොහොතේ බලය හොබවන පිරිස තේරුම් නොගත්තොත් ඉතාම මෑත දී මෙම අත්දැකීමට ඔවුන්ට මුහුණ දෙන්නට සිද්ධ වනු ඇත.

පවතින තත්වය හමුවේ රටේ ජනතාවටද මේ ජීවන තත්ත්වයට වඩා උසස් ජීවන තත්ත්වයක් අත්‍යවශ්‍ය වේ නම් අරගල කිරීමෙන් තොරව ලබා ගැනීමට නොහැකි බව සනාථ වෙමින් පවතී. ඒ අනුව ජීවිතය වෙනුවෙන්, ජීවත් වීම වෙනුවෙන්, අනාගතය වෙනුවෙන්, මේ තක්කඩි පාලනයට එරෙහි අරගලයක් දියත් කිරීමට ලංකාවේ ජනතාව පාරට බැසීම අනිවාර්ය වී තිබේ.

සමන්සිරි හේරත්

 

leave a reply