Breaking News

මාධ්‍ය වාර්තා වලට වැඩිය ඉතාලියේ තත්ත්වය බරපතලයි, La varita su Bergamo බෙර්ගමෝව පිළිබඳ ඇත්ත.

තිමුස් විජිත්

බෙර්ගමෝ රිෆොන්දසියෝන කොමුනිස්ත පක්ෂයේ ලේකම් බෝර්ගෝ දි තෙර්සෝ කොමූනෙ (ප්‍රාදේශිය සභාව) නියෝජිත Francesco Macario මහතා.
බෙර්ගමෝව තුළ සිදුවන දේ පිළිබඳ මාධ්‍ය තුලින් සිදුකරන කතාබහ සත්‍යයෙන් තොර බවයි. මියයන සංඛ්‍යාව මාධ්‍යයෙන් කියන්නේ ඉතා අඩු අගයක් බවත් සත්‍ය අගය ඊට දහගුණයකින් වැඩි බවත් ඔහු පවසයි.

මිලියන එකහමාරක් පමණ ජීවත්වන කොමූන (ප්‍රාදේශීය සභා) 243 කින් සමන්විත මේ කලාපය තුළ සිදුවන ඇත්ත සගවන හෙයින් මේ හෙලිදරව්ව සිදුකරන බවයි.
නෙම්බ්රෝ කොමූනෙ පෙබරවාරි 24 වැනිදා මුලින්ම සිදුවූ මරණ සංඛ්‍යාව 14 ලෙස පවසන විට එදින ඇත්ත ගණන 120 කි. අල්සානෝ ලොම්බාර්දෝ කොමූනෙ පෙබරවාරි 23 වනදා 62 ක් මිය ගිය අතර නිල වශයෙන් ප්‍රකාශ කළේ 9 දෙනෙක් බවයි. සෙරියාතෙ ප්‍රදේශයේ 62 ක් මියයන විට නිල ප්‍රකාශය වූයේ 6 දෙනෙකු යන්නයි . කර්වාජ්ජෝ 50 මියයන විට නිල ප්‍රකාශය වූයේ 2 ක් බවත් දල්මාසියා ප්‍රදේශයේ 70 මිය යන විට නිල වශයෙන් ප්‍රකාශ කළේ 2 බවයි. ඒ අනුව බෙර්ගමෝව ප්‍රදේශය තුළ මේ වන විට මියගිය සංඛ්‍යාව පන්දාහක් දහදාහක් අතර ප්‍රමාණයක් බවයි ඔහු පවසන්නේ.

ඇයි බෙර්ගමෝව ප්‍රදේශයට මෙසේ සිදුවුයේ ඔහු පවසන්නේ මූලිකම හේතුව අවශ්‍ය මොහොතේ එය හඳුනාගෙන ඊට අනුව කටයුතු නොකිරීමයි.

ප්‍රධාන හේතුව

බෙර්ගමෝව යනු කර්මාන්තපුරයකි. නවීන කර්මාන්ත ශාලා වලින් යුත් ඉතා ඉහල ආර්ථික වටිනාකමක් සහිත කලාපයකි. පසුගිය කාලය තුළ විශාල කර්මාන්තශාලා විශේෂයෙන්ම රෙදිපිළි කර්මාන්ත ශාලා ප්‍රමාණයක් ඉන්දියාව හා චීනයට ගෙන යන ලදී. අනෙකුත් කර්මාන්ත ශාලා සඳහා ද බොහෝ යන්ත්‍ර සූත්‍ර ගෙන්වා ඇත්තේ චීනයෙනි. ඒ නිසා චීනය සමඟ ඉතා සමීප ගනුදෙනු සිදුවන ප්‍රදේශයකි. පසුගිය ජනවාරියේ සිට චීන මැනේජර් වරු, තාක්ෂණ නිලධාරීන්, වෙළඳ නියෝජිතයින් මේ සමග විශාල ගනුදෙනු ප්‍රමාණයක නියැලී සිටි බව ඔහු ප්‍රකාශ කරයි. පෙබරවාරි 21 කොරෝනා ආසාදිතයින් හමුවන මොහොත වෙන විට බෙර්ගමෝව ප්‍රදේශයේ එය පැතිරී ගොස් හමාරය. කාගෙන් කාට කොහොම ආවා දැයි නිශ්චිත කර ගැනීමට නොහැකි වීමෙන් මෙය ඉතා වේගයෙන් අවට කලාපයටත් පැතිරී ගිය බවයි ඔහු පවසන්නේ.

දෙවන ප්‍රධාන කාරණය ලෙස ඔහු පවසන්නේ පසුගිය කාලය පුරාවටම මහජන සෞඛ්‍යය හකුලමින් වැඩි වැඩියෙන් පුද්ගලීකරණයට අතහිත දෙමින් කටයුතු කළ ප්‍රාදේශීය පාලකයින් මෙයට වගකිව යුතු බවයි. උදාහරණයක් ලෙස මෙම කලාපයේ දක්ෂිනාංශික පාලකයින් සන් ජොවාන්නි බියන්කෝ රෝහල ද පුද්ගලීකරණය කළ යුතු බවට යෝජනා කල බවත් බොහෝ අරගල හේතුවෙන් එය රැක ගැනීමට තමන්ට හැකිවූ බවත් පවසන මොහු අද වනවිට බොහෝ ප්‍රමාණයකට මෙම රෝහල් අස්වැසිල්ලක් වී ඇති බව පවසයි. එනිසා අද වන විට සිදුවන මරණවලට මේ ප්‍රදේශයේ රෝහල් පුද්ගලීකරණයට අතහිත දුන් දේශපාලනය වගකිවයුතු බවට ඔහු චෝදනා කරයි.

ඊළඟ ප්‍රධාන කාරණය ලෙස දක්වන්නේ කර්මාන්තශාලා දිගින් දිගටම විවෘතව තබා ගැනීමයි. ඒ හේතුවෙන් ඒවායෙහි සේවකයින් වෛරසය රැගෙන නිවෙස් වලට හා අවට ප්‍රදේශ වලට යන බවත් තවදුරටත් එය සිදුවන බවයි. අත්‍යවශ්‍ය සේවා හැර අන් සියලු කර්මාන්ත හා සේවා වසා දමන්නට යෝජනා කලත් මේ දක්වා ඔවුන් ඊට සූදානම් නැත. ඊට හේතුව මේ දේශපාලකයින් වැඩිදෙනෙක් කර්මාන්ත ශාලා හිමියන් ද වන හෙයිනි.

වැඩිපුර රෝගීන් හමුවන ප්‍රදේශ පළමු මොහොතේම රතු කලාප ලෙස නම් කරන ලෙසට ඉල්ලා සිටියත් ඒවායෙහි නගරාධිපති වරුන් දෙදෙනාම ලේගා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිතයින් දෙදෙනාම කර්මාන්ත හිමිකරුවන් වන බැවින් එසේ නම් කළ යුතු නැති බවට පවසමින් දිගින් දිගටම කර්මාන්තශාලා විවෘතව තබා ගැනීමෙන් මුළු ප්‍රදේශයටම වියසනය කැඳවන්නට ඔවුන් මුල් වූ බවට චෝදනා කරයි. එසේ මුල් අවස්ථාවේම වසා දැමුණු ප්‍රදේශ මේ වන විට ආරක්ෂිත ප්‍රදේශ වී ඇති හෙයින් එය සනාත වන බව පවසයි.

ඒ විතරක් නොව පසුගිය සති අන්තයක ජනතාව ඒකරාශි වීම වළක්වනවා වෙනුවට බෙර්ගමෝව නගරාධිපති ගෝරි විසින් නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙමින් එම සති අන්තයේ සියලූ කඩසාප්පු, ආපනශාලා විවෘතව තබමින් මිනිසුන්ට රිසිසේ shopping කටයුතු කිරීමට ඉඩ හැරීමෙන් ද තවදුරටත් මෙය පැතිරවීමට ඔවුන් හවුල් වූ බවට ඔහු චෝදනා කරයි. මේ විදිහට වයස අවුරුදු 80 න් ඉහළ සම්පූර්ණ පරම්පරාවක් අතුගා දමන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බවද ප්‍රකාශ කරයි.

එනිසා හදිසි තත්වයන්ට කිසිසේත්ම අදාල නොවන කර්මාන්තශාලා පවා තවදුරටත් විවෘතව තබා ගැනීම ඔවුන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් බව ප්‍රකාශ කරන ඔහු උදාහරණ සපයමින් සමහර ප්ලාස්ටික් කර්මාන්තශාලා, තීන්ත කර්මාන්ත ශාලා පවා විවෘතව තබා තිබෙන බව පවසයි.

මෙය කිසිසේත්ම අවතක්සේරුවට නොගත යුතු කාරණයක් බවත් හොඳින් සියලු දෙනා තේරුම්ගෙන තව තවත් විනාශයක් නොවන්නට කටයුතු කල යුතු බවත් මේ වන විටත් අනෙකුත් කලාප සඳහා බෙර්ගමෝව මූලික වී මෙය පතුරුවා හරිමින් සිටින බවත් වහාම මෙයට පිළියම් යෙදිය යුතු බවත් තවදුරටත් ප්‍රකාශ කරයි.

leave a reply