Breaking News

covid-19  හමුවේ කිසිවෙක්ට උදම් අනන්නට  පුළුවන් කමක් නැහැ

හිල්මි සුපුන් 

කොරෝනා වෛරසයට එරෙහිව සේවය කරන සෞඛ්‍ය සේවකයින්ව  ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා අන්ඩුවේ  ප්‍රමුඛ කාර්යක්  වෙනවා. විශාල වශයෙන් වෛරසය පැතිර ගිහින් තිබෙන රටවල්  මුහුණ දෙන ප්‍රධාන අර්බුදය බවට පත්වී තිබෙන්නේ සෞඛ්‍ය සේවයේ නියුතු පිරිස්  සීග්‍රයෙන් මේ වසංගතය ගොදුරු බවට පත්වීමයි. රෝගීන් සමග සෘජුව ගණුදෙනු කරන පිරිස බවට පත් වන්නේ  මොවුන්. ඔවුන්ගේ ආරක්ෂාව ආරක්ෂිත උපකරණ උපරිමයෙන් සලසා දෙන්න  නොහැකි උනොත් ඉතාලිය බඳු කණගාටුදායක තත්වයකට ශ්‍රී ලංකාවටද මුහුණ දෙන්නට සිද්ධ වෙනවා.

වෛරසය සීඝ්‍රව පැතිරීමක් නොවෙන තත්ත්වයක් යටතේ අපට ජයග්‍රාහී කතා කියමින් ජනතාව අමන්දානන්දයට පත් කරන්නට පුළුවන්, නමුත් යම් විදිහකින් වෛරසය සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කලොත් ඉදිරි දවස් කීපය තුල ඊට මුහුණදීමට ලංකාවට හැකියාව ලැබේද?  අප හමුවේ තිබෙන දැවැන්ත ප්‍රශ්නයක් මේක. මේ සටහන අවදානමට පෙර අවධානය සඳහා තියෙන එකක්.

 ඉතාලිය වෙත අපි මඳක් හැරී බලමු

යුරෝපයේ රටවල් අතර සෞඛ්‍ය සේවා  සතුටුදායක මට්ටමේ තිබුණු රටක් හැටියට ඉතාලි අපිට හඳුන්වා දෙන්න පුළුවන්. සෑම පුද්ගලයකුටම පෞද්ගලික වෛද්‍ය වරයෙක් සියලු පහසුකම් වලින් සම්පූර්ණ වූ රෝහල් පද්ධතියක්, ‍ ප්‍රමාණවත් වෛද්‍යවරුන්  සහ හෙද හෙදියන් ඉතාලියේ  රෝහල් පද්ධතිය තුළ හිටියා. නමුත්  කොරෝනා වෛරසය  නොසිතූ පිම්මක් පනිමින් සීඝ්‍රයෙන් ලොම්බර්දියා  සහ වෙන තෝ ප්‍රාන්තයන් වල පැතිර යද්දී එම ප්‍රාන්තයන් වල තිබුණු රෝහල් පද්ධතියේ  පරිමාව ඉක්මවා රෝගීන් රෝහල් කරා ඇදී එන්න පටන් ගන්නවා. මෙම තත්ත්වය දරාගන්නට නොහැකි තැන අලුතෙන් තාවකාලික පහසුකම් සහිත රෝහල් ඉදි කරනවා වගේම, අවසානයේ බරපතළ ආසාදනයට ලක් නොවෙච්ච රෝගීන්ව ඔවුන්ගේ ම නිවෙස්වල තබා ප්‍රතිකාර  කරන්නට තරම් ඉතාලිය කඩාගෙන වැටෙනවා. ඒ විතරක් නෙවෙයි කාටද ප්‍රමුඛතාව දෙන්නේ කියන ප්‍රශ්නයට ද  වෛද්‍යවරුන් මුහුණ දෙනවා. කෘතිම ස්වසන යන්ත්‍රය සවි කරන්නේ කිනම් වයස පරාසයක අයටද කියා  සිතන්නට වෙනවා.

මේ දියුණු ධනපති රටවල් වලට මොහොතකින් රටක් කුඩුපට්ටම් කරලා මිනිසුන් සමූලඝාතනය කරලා රටක් අත්පත් කරගන්න හැකියාව තිබුණට, මෙවැනි  ව්‍යසනයකදී මිනිසුන් බේරා ගැනීමට  අවශ්‍ය කරන සෞඛ්‍යය සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් නොමැති කමත් හදිසි අවස්ථාවකදී අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ  මිසයිල පද්ධතියෙන් සහ වෙඩි උණ්ඩ ගොඩගසා තබාගෙන ඉන්න ආකාරයෙන් තබා නොගන්නා බවත් මේ කාරණයේ දී අපට පැහැදිලි වෙනවා. අඩුම තරමේ හදිසි මුදල් වෙන් කර ගැනීමකින් අත්‍යවශ්‍ය උපකරණ ගෙන්වාගැනීමේ උනන්දුවක් ද ඉතාලි ආණ්ඩුවට තිබුණේ නැහැ. ප්‍රාන්ත පාලනයන් සහ මහා ආන්ඩුවේ කඹ ඇදිල්ල මිනිස් ජීවිතවලට වැඩිය ඔවුන්ට වටිනාකමක් ගෙන දුන්නා. තවමත් නිශ්චිත වැඩපිළිවෙලක  සිටිමින් ොරෝනා වෛරසය මැඩ පවත්වන්නට ගන්න ක්‍රියාමාර්ගයක් දෘශ්‍යමාන වෙන්නේ නැහැ.

අද මාර්තු මාසෙ 26 වෙනිද ඉතාලියේ නිල වාර්තා වලට අනුව වෛද්‍යවරුන් 36  දෙනෙක් මියගිහින් තියෙනවා. covid-19 ආසාදනය වී සිටින  සෞඛ්‍ය ‌සේවක පිරිස 6205 කි . මෙය මෙතෙක් ආසාදනය වී ඇති පිරිසෙන් සියයට 9% ක ප්‍රතිශතයක්. ඉතාලිය මේ මොහොතේ මුහුණ දෙන දැවැන්තම ප්‍රශ්නය මේක.රෝගීන්ට ඇප උපස්ථාන කිරීමට සිටි වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් මේ වෛරස ගොදුරු බවට පත්වීම.

leave a reply