පවතින වසංගත තත්ත්වය හමුවේ ගතයුතු පියවර පිළිබඳව අදහස් සහ යෝජනා ඉදිරිපත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අගමැතිවරයාවෙත ලිපියක් යොමු කර තිබේ. පහත පළ වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්ගේ අත්සනින් යුතුව අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර තිබෙන ලිපියයි .
මහින්ද රාජපක්ෂ මහතා,
අග‍්‍රාමාත්‍ය කාර්යාලය,
අංක. 58,
ශ‍්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.
අගමැතිතුමනි,
කොරෝනා වසංගතය මැඩලීමේ වැඩපිළිවෙළ සඳහා යෝජනා
කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ලොව පුරා විශාල අර්බුදයක් උද්ගතව තිබෙන අතර මේ මොහොත වනවිට ලෝකයේ රටවල් 192ක ලක්ෂ තුනහමාරක පමණ ජනතාව එම වෛරසය ආසාදිතව, 15,000ක පමණ පිරිසක් මියගොස් ඇත. එය පැතිරෙමින් තිබේ. කොරෝනා වෛරසය තවදුරටත් පැතිරීම වලක්වා ගැනීම සඳහාද මේ වනවිට රෝගයට ගොදුරුවූවන් සුවපත් කිරීම සඳහාද බැ?රුම් මැදිහත්වීමක් අවශ්‍යව තිබෙන අතර ඒ සඳහා රජයේ කාර්යභාරය තීරණාත්මකය. නමුත් මෙම වෛරසය පිළිබඳව කටයුතු කිරීමේදී රජයේ ක‍්‍රියාකාරීත්වය තුළ ප‍්‍රමාදවීම් සහ දුබලතා කිහිපයක් නිරීක්ෂණය කළ හැකිය. ඉදිරි ක‍්‍රියාකාරීත්වයන් වඩා නිවැරදි කිරීම සඳහා එම දුබලතා පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය ඇතුළු හේතු ගණනාවක් නිසා නාම යෝජනා කැඳවීම ඉක්මනින් අවසන් කිරීමේ දේශපාලන උවමනාවක් ආණ්ඩුවට තිබිණි. පාසල් හා විශ්ව විද්‍යාල වසා දැමීම, පොදු විනෝද කටයුතු කෙරෙන ස්ථාන වසා දැමීම වැනි ක‍්‍රියාමාර්ගවලින් පෙනී ගියේ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් කිසිසේත්ම නැති බවයි. මැතිවරණ කොමිසමට බලය ලැබුණු පළමු මොහොතේදී මැතිවරණය කල් දමනු ලැබීමෙන් පෙනී යන්නේද මැතිවරණයක් පැවැත්වීමට සුදුසු තත්වයක් නොපැවති බවයි. නමුත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ මූලිකයන් දිගින් දිගටම මැතිවරණය පවත්වන බව ප‍්‍රකාශ කළේය. මැතිවරණයක් සඳහා සමාජ මනෝභාවය සැකසුවා මිස වසංගත තත්වයට මුහුණ දීම සඳහා එවැනි පූර්ව සූදානමක් කිරීමට කටයුතු කිරීම මග හැරුණේ ආණ්ඩුව මේ දේශපාලන බල න්‍යායපත‍්‍රයට ප‍්‍රමුඛතාව දුන් හෙයිනි. එම කාලය තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම උදෙසා ගත යුතු ක‍්‍රියාමාර්ග රාශියක් නොගැනීම නිසා මේ ප‍්‍රශ්නය වඩා දුරදිග ගිය බව ඔබද පිළිගන්නවා ඇතැයි සිතමු. වසංගතය පැතිරීම වැලැක්වීම සඳහා දින කිහිපයකට දිවයිනම ඇඳිරි නීතිය පැනවීමට රජයේ අවධානය පසුගිය සතිය පුරා යොමුවී තිබුණද ඒ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමක් සිදු නොවීම බරපතළ ප‍්‍රශ්නයකි. කලින් දැනුවත් කිරීමක් කළේනම් ජනතාවට වැඩි පූර්ව සූදානමක සිටිය හැකිව තිබිණි. නමුත් එකවරම මාර්තු 20 දින උදෑසන එදින සවස සිට දින දෙකකට වැඩි කාලයකට දිවයින පුරා ඇඳිරි නීතිය පනවන බව ප‍්‍රකාශයට පත් කළ නිසා තදබදයක් සහ නොසන්සුන්භාවයක් ඇති විය. එදින වෙළඳසැල් සහ පොදු ස්ථානවල අනවශ්‍ය තදබදය විසින් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම වැඩි කරනු ලැබීය. රජය මේ සම්බන්ධයෙන් ජනතාවට පූර්ව සූදානම් වීමේ අවස්ථාව අහිමි කළේ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ ක‍්‍රියාවලිය අවසන් වනතුරු බව පැහැදිලිය. එහිදී රජය කටයුතු කරනු ලැබුවේ ජනතාව වසංගතයෙන් ආරක්ෂා කිරීමේ අරමුණට වඩා දේශපාලන බල න්‍යායපත‍්‍ර ඉදිරියට ගනිමිනි.
ගුවන්යානා ලංකාවට පැමිණීම වැළැක්වීම, විදේශගතව සිට ලංකාවට එන ලාංකිකයන් සාමූහිකව නිරෝධායනය කිරීම ආදී ක‍්‍රියාමාර්ග ගැනීම ප‍්‍රමාද වීම එහිදී සැලකිය යුතු කරුණකි. පසුකාලීනව රටවල් බොහොමයක සිට ලංකාවට එන සංචාරකයන් සඳහා සීමා පනවද්දී චීන සංචාරකයන් නිරෝධායන ක‍්‍රියාවලියකට ලක් නොකිරීමද එවැනි අඩුවකි. එමෙන්ම රජය විසින් නිවාඩුවක් ප‍්‍රකාශයට පත්කර තිබියදීත් පෞද්ගලික ආයතන ගණනාවක්, විශේෂයෙන් ඇඟලූම් කම්හල් සිය සේවකයන් සේවයට කැඳවු අතර ඒ හරහා රෝගය පැතිර යාමේ අවදානම ඉහළ එකක් විය. නමුත් එහිදී රජය මැදිහත්වී එය වැළැක්වීමට සහ නීතිමය පියවර ගැනීමට ක‍්‍රියා නොකිරීම රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීමේදී අයහපත් ප‍්‍රවණතාවක් විය.
එමෙන්ම තවත් අර්බුදයක් වුයේ දෛනික ආදායමෙන් ජීවත්වන අවිධිමත් ශ‍්‍රම ක්ෂේත‍්‍රයේ සේවයේ නියුතු ජනතාවගේ පවුල් ලක්ෂ ගණනකට දින කිහිපයක් සඳහා ආහාර ගබඩාකර ගැනීමේ ආර්ථික හැකියාවක් නොතිබීම සහ ඔවුන් සඳහා අත්‍යවශ්‍ය ආහාර සලාකයක් ඇතුළු සමාජ සුභසාධනයක් රජය විසින් ලබා දීමට කටයුතු නොකිරීමයි. රෝගය පැතිරීම වැලැක්වීම සඳහා රජය විසින් මෙවන් පියවරක් ගන්නා විට, ඊට සමාන්තරව කළ යුතුව තිබුණේ එවන් පියවරකින් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් සහනදායී ක‍්‍රියාමාර්ගයක් දියත් කිරීමය.
ලංකාව මෙවන් අත්දැකීමකට මුහුණදුන් අවස්ථා සුලභ නොවන බැවින් ඇතැම් අඩුපාඩු සිදුවීම අපේක්ෂා කළ හැකිය. අපට වැඩි විවේචනයක් ඇත්තේ එවැනි අතපසුවීම් සම්බන්ධයෙන් නොව, දේශපාලන න්‍යායපත‍්‍ර පෙරට ඒම නිසා සිදුවූ අඩුපාඩු සම්බන්ධවය. කෙසේ වෙතත් සියලූ විවේචන තිබියදී කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහාත්, නිරෝධායන ක‍්‍රියාවලිය සඳහාත්, රෝගීන් සුවපත් කිරීමේ ක‍්‍රියාවලිය සඳහාත් උපරිම සහාය දීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානම් බවද දැනුම් දෙමු. ඉදිරි කාලය තුළ මෙතෙක් සිදුවූ අඩුපාඩුද නිවැරදිකර ගනිමින් රෝග පාලන ක‍්‍රියාවලිය සාර්ථකකර ගැනීමට සහ එහිදී ජනතාව මුහුණ දෙන අපහසුතා අවම කිරීමට පහත සඳහන් යෝජනා කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.
1. මෙවැනි වසංගතයක් පාලනය කිරීමේදී සෞඛ්‍ය සේවකයන් සතු කාර්යභාරය තීරණාත්මක වන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කිරීම රජය සතු වගකීමක් වේ. මේ වනවිට රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙද-හෙදියන් සහ කනිෂ්ඨ කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් සඳහා අවශ්‍ය ආරක්ෂක ඇඳුම් ඇතුළු ද්‍රව්‍ය වල බරපතළ හිඟයක් ඇත. දැනට ලබාදෙන මුඛ ආවරණ සහ ඇස් ආවරණය කරන පොලිතින් ආවරණ වලද හිඟයක් පවතී. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සේවය සඳහා ප‍්‍රවාහන පහසුකම්වල පවා බරපතළ ගැටළු තිබේ. මේවා සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව වහා තහවුරු කළ යුතුය.
2. මෙවන් වසංගතයකදී රෝගීන් හඳුනා ගැනීම, රෝගය පැතිරීම පාලනය කිරීම සහ සුව කිරීම යන මූලික අදියර තුනෙන් දැනට දුබලතා සහිතව හෝ ක‍්‍රියාත්මක වන්නේ මුල් අදියර දෙක පමණි. රෝගීන් හඳුනා ගැනීමේදී සහ රෝගය පැතිරීම පාලනය කිරීමේදී සිදුව තිබෙන දුබලතා ඉහත සඳහන් කර ඇති අතර ඒවා ඉදිරියේදී නිවැරදිකර ගත යුතුව තිබේ. නමුත් රෝගීන් සුවපත් කිරීමේ අදියර පවතින්නේ දැඩි අවදානමකය. ලංකාවේ සෞඛ්‍ය සේවය සතු සම්පත් ප‍්‍රමාණය ඉතා සීමිත වන අතර එකවර රෝගීන් විශාල ප‍්‍රමාණයක් වාර්තා වුවහොත් ඔවුන් සඳහා දැනට පවතින, වෙන්කළ හුදෙකලා කාමර (ෂිදක්එසදබ ඍදදපි*, ස්වසන ආධාරක (ඪැබඑසක්එදරි* හා දැඩි සත්කාර ඒකක ඇඳන් (ෂක්‍ඹ ඊැාි* ආදී පහසුකම් කිසිසේත් ප‍්‍රමාණවත් නැත. වහාම එම පහසුකම් සම්පූර්ණ කිරීමට පියවර නොගතහොත් ඉදිරියේදී අප දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට නියමිතය. මේ සඳහා නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කළ යුතු අතර එයට ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන වෙන්කර අවශ්‍ය සම්පත් ලබාදිය යුතුය. සෞඛ්‍ය සේවය සඳහා ප‍්‍රමාණවත් පරිදි ප‍්‍රතිපාදන වෙන් නොකිරීම සම්බන්ධයෙන් කාලයක සිට විශාල විවේචනයක් පවතින අතර නිදහස් සෞඛ්‍ය සේවයේ මේ ඉතා දුර්වල මට්ටම එම දිගුකාලීන කප්පාදුවේ අනිවාර්ය ප‍්‍රතිඵලයකි. කොරෝනා වසංගතය හමුවේ පවා මාර්තු 8වැනිදා එක්වූ කැබිනට් මණ්ඩලය සෞඛ්‍ය සේවය සඳහා අමතරව වෙන් කර තිබුණේ රුපියල් මිලියන 500ක ඉතා අඩු මුදලකි. මෙම තත්වය හමුවේ සෞඛ්‍ය ප‍්‍රතිපාදන වහා ඉහළ නැංවිය යුතු අතර සෞඛ්‍ය සේවයේ පහසුකම් පුළුල් කිරීම සඳහා පෞද්ගලික රෝහල් භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව රජය ප‍්‍රතිපත්තිමය තීරණයකට එළඹිය යුතුය. අපගේ යෝජනාව වනුයේ පෞද්ගලික රෝහල්වල ඇති දැඩි සත්කාර ඒකක සහ හුදෙකලා කරන ලද කාමර මුදල් ගෙවීමකින් තොරව කොරෝනා රෝගීන් වෙනුවෙන් භාවිතා කිරීමට පවරා ගත යුතු බවය. එමෙන්ම කොරෝනා වෛරස පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වලින් මුදල් අය කිරීමද අත්හිටුවිය යුතුය.
3. කොරෝනා රෝගීන් අපරාධකරුවන් ලෙස හැගෙන පරිදි ඔවුන් ඇල්ලීමේ ඔත්තු සේවා මෙහෙයුම් ආදිය මාධ්‍ය වාර්තා කළ ආකාරයෙන් කොරෝනා රෝගය සහ රෝගීන් සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි ආකල්ප ගොඩ නැගී ඇති අතර එම අනවශ්‍ය පරිමාණයේ බියට සමාන්තරව දැඩි වගකීම් විරහිත ස්වභාවයක්ද සමාජයේ පවතී. සමස්ත සමාජයක් පිළිබඳ වගකීමක් භාර නොගෙන ආත්මකේන්ද්‍රීයව තීරණ ගන්නා තත්වයක් සමාජයේ ඇතිවීම එකවර සිදුවූවක් නොව කාලයක් තිස්සේ සමාජය ශික්ෂණය කරනු ලැබූ ආකාරයේ ප‍්‍රතිඵලයකි. මේ තත්වය හමුවේ කොරෝනා මැඩලීමේ ක‍්‍රියාන්විතය ප‍්‍රජා සහභාගී එකක් කර ගැනීම සහ මහජන අධ්‍යාපන වැඩසටහනක් දියත් කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවය, පවුල් සෞඛ්‍ය සේවය, ක්ෂේත‍්‍ර වෛද්‍ය නිලධාරී සේවය ඇතුළු ප‍්‍රජා සෞඛ්‍ය සේවා ජාලය සක‍්‍රියව දායක කරගත යුතුය.
4. මාර්තු 16 වැනිදා සිට නිවාඩු ප‍්‍රකාශ කරන ලද අතර මාර්තු 20 සිට සුළු විරාම සහිතව වුවත් අඛණ්ඩව ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වේ. මේ තත්වය හමුවේ බොහෝ දෙනාගේ දෛනික ආර්ථික කටයුතු බිඳ වැටී තිබෙන අතර වැඩිම පීඩාවට පත්ව ඇත්තේ දෛනික කුලීකරුවන්, වතු කම්කරුවන්, මෑන්පවර් කම්කරුවන්, ස්වයං රැුකියා නියුක්තිකයන්, කුඩා කර්මාන්තකරුවන්, සුළු පරිමාණ වෙළෙන්දන් ආදී අවිධිමත් ශ‍්‍රම ක්ෂේත‍්‍රයේ නියුතු පිරිස් ප‍්‍රමුඛ ජනතාවයි. ධීවරයන්, සංචාරක කර්මාන්තයේ නියුතු වුවන් ආදී ප‍්‍රජාවන්ද බරපතල ජීවන අවදානමකට ලක්ව සිටී. ඔවුන්ට සිය පවුල් සඳහා දෛනික ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම පවා අපහසු වී ඇති අතර මෙය හදිසි ආපදා තත්වයක් ලෙස සලකා එම පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර සලාකයක් ඇතුළු සහනයක් ලබා දිය යුතු බව අපගේ යෝජනාවයි. ජනතාවගේ ණය වාරික සහ ලීසිං වාරික සම්බන්ධයෙන් රජය ලබාදීමට අපේක්ෂා කරන සහනය මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය මැදිහත්වීමක් වන අතර එය සැබවින් යථාර්ථයක් කිරීම සඳහා මූල්‍ය සමාගම් සමග අඛණ්ඩ ක‍්‍රියාවලියක් අවශ්‍ය වනු ඇත. රාජ්‍ය ආයතන මගින් ලබාදෙන විදුලිය, ජලය ආදී පහසුකම් සඳහා බිල් ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, විසන්ධි කිරීම් කාලයක් යනතුරු අත්හිටුවීම ආදිය සුභවාදී ප‍්‍රවේශයක් වන අතර එය දුරකථන සහ අන්තර්ජාල පහසුකම් දක්වාද පුළුල් කළයුතු බවට යෝජනා කරමු.
5. මෙම වෛරසය පැතිරීම අවම කිරීම සඳහා එක ස්ථානයක වැඩිපුර පිරිස් එක්රැුස් වීම වැළැක්වීම ප‍්‍රමුඛ කර්තව්‍යයක් වන අතර නිවාඩු ප‍්‍රකාශ කර ඇති දිනවල පවා සේවකයන්ගේ නිවාඩු අවලංගුකර බලහත්කාරයෙන් සේවයේ යොදවන ඇතැම් පෞද්ගලික ආයතන එම ක‍්‍රියාවලියට ඇති බරපතළ අභියෝගයකි. විශේෂයෙන් ඇතැම් ඇඟලූම් කම්හල් නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේද පවා රහිතව කම්කරුවන් සේවයේ යොදවමින් සිටී. එම ආයතන සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන වැඩකරන ජනතාවගේ සෞඛ්‍ය අයිතිය සුරැුකීමට මැදිහත් වනා ලෙස අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. එමෙන්ම ඇතැම් ආයතනවල කම්කරුවන්ගේ මාසික ආදායම සමන්විත වන්නේ මූලික වැටුපෙ සහ දීමනා වල එකතුවක් ලෙසිනි. ඇතැම් ආයතනවල මූලික වැටුප ඉතා කුඩා එකක් වන අතර දීමනා ලැබීමෙන් තොරව ජීවිකාව පවත්වාගෙන යාම පවා අපහසුය. එනිසා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබා දීමේදී ඔවුන්ගේ මාසික වැටුප් විශාල ලෙස අඩු නොවන ආකාරයෙන් ලබාදීම සඳහා කම්කරු කොමසාරිස්වරයාගේ සහ අදාළ වගකිව යුතු අංශවල මැදිහත්වීමක් කරන ලෙසද අපි යෝජනා කරමු.
6. ලංකාවේ ශ‍්‍රම බලකායෙන් සැලකිය යුතු කොටසක් විදේශගතව සේවය කරන අතර විදේශගත ලාංකික ශ‍්‍රමිකයන්ගේ පේ‍්‍රෂණ ප‍්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගයකි. ලෝකය පුරා මේ වෛරසය වසංගතයක් ලෙස පැතිර යන මේ මොහොතේ ලොව පුරා විවිධ රටවල වෙසෙන ලාංකික ශ‍්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් එම රටවල ලංකාවේ තානාපති කාර්යාල සහ රාජතාන්ත‍්‍රික කාර්ය මණ්ඩල කාර්යක්ෂමව යොදාගත යුතුය. පොදුවේ යුරෝපා රටවල සහ රෝගය පැතිරෙන අනෙකුත් රටවල තානාපති කාර්යාල කරන මැදිහත්වීම කිසිසේත් ප‍්‍රමාණවත් නැත. විශේෂයෙන් වැඩිම ශ‍්‍රමිකයන් සංඛ්‍යාවක් සේවය කරන මැදපෙරදිග රටවල තානාපති කාර්යාල කරන මැදිහත්වීම ඉතාම දුර්වලය. ඩුබායි, කටාර්, ලෙබනන්, ඕමාන්, ජෝර්දානය ආදී මැදපෙරදිග රටවල වේගයෙන් කොරෝනා වෛරසය පැතිරෙන බවද සැලකු විට එම රටවල ලාංකික ශ‍්‍රමිකයන්, විශේෂයෙන් ගෘහ සේවිකාවන් ලෙස සේවය කරන ස්ත‍්‍රී ශ‍්‍රමිකයන් සම්බන්ධ වැඩි මැදිහත්වීමක් කළ යුතුව තිබේ. ඒ සඳහා තානාපති සේවයේ හදිසි ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙසද අපි යෝජනා කරමු.
උක්ත ක්ෂේත‍්‍රවල යෝජනාවලට අමතරව තවත් අවධානය යොමු කළ යුතු ක්ෂේත‍්‍ර ගණනාවක් ඇතත්, මේ සම්බන්ධයෙන් ප‍්‍රමුඛ අවශ්‍යතාවක් ඇති බව අපගේ විශ්වාසය වන අතර මෙහි දක්වා ඇති ගැටළු, අභියෝග සහ යෝජනා සම්බන්ධ ඔබ ප‍්‍රමුඛ ආණ්ඩුවේ අවධානය අපේක්ෂා කරමු. මේ යෝජනා සම්බන්ධව රජය පාර්ශවයෙන් ඉක්මන් ප‍්‍රතිචාරයක්ද අපේක්ෂා කරමු.
ස්තුතියි.
මෙයට
කුමාර් ගුණරත්නම්
ප‍්‍රධාන ලේකම්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2020 මාර්තු 24