Breaking News

ව්‍යවස්ථාවට උඩින් මහා සංඝයා, ගෝඨාභය ව්‍යවස්ථාවට වෙට්ටු දාන්න මහා සංඝයා යොදාගන්නවාද?

පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට උභතෝකෝටික තත්ත්වයකට පත් නොකළ යුතු බවත්, පරණ පාර්ලිමේන්තුව නොකැඳවීම මහා සංඝරත්නයේ ඒකමතික තීරණය බවත් මහා සංඝරත්නය පවසා ඇතැයි වාර්තා වේ.

පැවති පාර්ලිමේන්තුව රටේ වත්මන් මූල්‍ය අර්බුදයට වගකිවයුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ පවසා තිබේ.

කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කිරීමෙන් පසු සංඝයා වහන්සේලා මේ බව ප්‍රකාශ කර තිබේ.

තමාට විශිෂ්ට ජනවරමක් දෙමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේ දී ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිවරයා අභිනව පාර්ලිමේන්තුවක් කැඳවීම විනා පැරණි පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව නොමැති බව ද පෙන්වා දුන් බව පැවසේ.

සෑම මසකම තුන්වැනි සතියේ සිකුරාදා මහා සංඝරත්නය හමුවීමට තමා අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවැරයා ඒ සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නයට ඇරයුම් කර ඇතැයි වාර්තා වේ. ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් රුවන්වැලි සෑය අභියසදී මෙන්ම ජනාධිපති ධූරයේ වැඩභාරගනිමින් තමා ප්‍රකාශ කළ පරිදි මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ මගපෙන්වීම ඉතසිතින් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

සමස්ත මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට හිමිවන බව මෙහිදී අදහස් දැක්වූ ත්‍රෛනිකායික නායක හිමිවරු සඳහන් කර ඇත.

මේ මොහොතේ ආණ්ඩුව සැරසෙමින් සිටින්නේ දැනට මතුව ඇති ව්‍යවස්ථා අර්බුදය විසඳා ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලා ප්‍රයෝජනයට ගැනීමයි. එය ආණ්ඩුවට දෙපැත්තකින් වාසියක් සලසයි. එක් පැත්තකින් පරණ පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බවට භික්ෂූන් හරහා සාමාන්‍ය ජනතාව අතර මතයක් ගොඩ නගා ඉක්මණින් මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනතා කැමැත්ත කෘතිම ලෙස සකස් කර ගැනීමයි. අනෙක් අතින් මැතිවරණයක් පැවැත්විය නොහැකි වුවද විධායකයේ බලය පමණක් පවිච්චි කරමින් රට පාලනය කිරීම සඳහා ජනතා මතය හැසිරවීමට භික්ෂූන් යොදා ගැනීමයි. ආණ්ඩුව බලයට පත්වීමට පෙර සහ පසු කාලයේ තමන්ට අවශ්‍ය දේශපාලන මතය ප්‍රචලිත කිරීම සඳහා භික්ෂූන් යොදාගනු දැකිය හැකි විය. අර්බුදයක් මතුව ඇති මේ මොහොතෙක් ආණ්ඩුව කරමින් සිටින්නේ තමන්ට පක්ෂපාති භික්ෂූන් ගෙන්වා තමන්ට අවශ්‍ය මතය සමාජ ගත කිරීමට උත්සාහ කිරීමයි. ඒ අනුව මෙය හොරාගෙ අම්මාගෙන් පේන ඇහීමක් වැනි දෙයකි.

leave a reply