භාණ්ඩාගාරයේ මුදල් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ මෙම ගනුදෙනුවේදී HSBC බැංකුව එම ගිණුම් අංකය සැකසහිත බව දෙවරක් අනතුරු අඟවා ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ,
”මුදල් අමාත්‍යාංශය ණය ගෙවීමේදී ඩොලර් මිලියන 2.5ක් මංකොල්ල කෑම ගැන ආණ්ඩුව කියන්නේ මෙය හකරුන්ගේ වැඩක් බව. විපක්ෂය කියන්නේ ආණ්ඩුවේ දේශපාලඥයන් සොරකම් කළ බවට සැකයක් ඇති බව. ආණ්ඩුවේ තර්කය වැරදියි. මෙය අපේ ගිණුමකට අපේ නමින් කෙනෙකු ඇතුළුවී එය අවභාවිතා කිරීමක්, එනම් හැක් කිරීමක් නෙවෙයි. ඒ වගේම විපක්ෂය තවමත් ඔප්පු නොකළ සොරකම් ගැන කියනවා, ඇසට පෙනෙන සත්‍යය වසන් කරනවා. ඔවුන් දෙපාර්ශවයම ව්‍යාජ ඝෝෂාවක් හරහා ඇත්ත ප්‍රශ්න යටපත් කරනවා. ඒ ඔවුන් දෙපාර්ශවයම ඉන්නේ එකම ප්‍රතිපත්තියක නිසා. ඔවුන්ට මේ ක්‍රමය වෙනස් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසාම ක්‍රමය ප්‍රශ්න කරන්නේ නැහැ.
මේ සම්බන්ධයෙන් මහ බැංකුවට සෘජු වගකීමක් තිබෙනවා. මීට පෙර ණය වාරික ගෙවීමේ වගකීම තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට. IMF වැඩසටහනේ කොටසක් ලෙස සම්මත කළ 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනතේ සහ 2024 අංක 33 දරණ රාජ්‍ය ණය කළමනාකරණ පනතේ විධිවිධාන වලට අනුව 2026 ජනවාරි 1 වැනිදා සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සතු එම වගකීම් මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සතුවන බව මහ බැංකුව 2025 දෙසැම්බර් 31 නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පළමු ප්‍රශ්නය මහ බැංකුවේ වගකීම් ක්‍රමයෙන් හකුළුවන තීරණ ගැනීමට IMF යෝජනා කරන විට ප්‍රශ්න කිරීමකින් තොරව සහ ඊට අදාළ යටිතල පහසුකම් – මානව සම්පත් සම්පූර්ණ කිරීමට කාලයක් නොගෙන එය ක්‍රියාත්මක කළේ ඇයි? IMF කියන කියන එකට යර්ස් සර්, යර්ස් මැඩම් කියමින් දනගහන ප්‍රතිපත්තියේ ප්‍රශ්නය දැන් තේරෙනවා නේද? දෙවන ප්‍රශ්නය මෙම මංකොල්ලය සිදුව තිබෙන්නේ 2025 දෙසැම්බරයේ නිසා මහ බැංකුවට මේ පිලිබඳ සෘජු වගකීමක් තිබෙනවා නේද? තුන්වන ප්‍රශ්නය අපට වාර්තා වන අන්දමට මෙම මුදල සංක්‍රමණය කර තිබෙන්නේ මහ බැංකුව සතු ගිණුමකින්. එසේනම් එම මුදල යවන ගිණුම ගැන මහ බැංකුවට වගකීමක් නැද්ද? හතරවන ප්‍රශ්නය HSBC බැංකුව මෙම ගිණුම් අංකය සැක සහිත බව දෙවරක් දැන්වූ බව වාර්තා වෙනවා. එම අනතුරු ඇඟවීම ගණන් නොගත්තේ යි? පස්වන ප්‍රශ්නය, ඒ සියල්ල නැතත් රටෙන් පිටතට විදේශ විනිමය යැවීමේදී එහි අධීක්ෂණ වගකීම තිබෙන්නේ මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවට. විදේශගතව අධ්‍යාපනය ලබන දරුවෙකුගේ ගාස්ත්යු ලෙස ඩොලර් 500ක් යවන දෙමව්පියන් පවා දැඩි අධීක්ෂණයකට ලක් කරන මහ බැංකුව මෙවැනි විශාල ගනුදෙනුවක් නොතකා හරියේ මන්ද? හයවන ප්‍රශ්නය, සියල්ල පසෙකින් තිබියදී මහ බැංකුව ප්‍රධාන බැංකු නියාමන වගකීම සහිත ආයතනය. ඔවුන් ඒ වගකීම ඉටු කර නැහැ. සිදුවූ සියල්ල ගැන මහ බැංකු අධිපතිවරයා පිළිතුරු දිය යුතුයි. මේ ආකාරයට වගකීමෙන් පැන යන්න ඉඩ දෙන්න බෑ.
අනෙක් ප්‍රශ්නය ලංකාවේ රාජ්‍ය ආයතන වල සයිබර් ආරක්ෂණය පිලිබඳ ප්‍රශ්නය. මුදල් අමාත්‍යංශයේ විද්‍යුත් ලිපින සඳහා භාවිතා කරන්නේ Microsoft Exchange Server නම් සේවා පද්ධතිය. දැනට භාවිතා කරන මෘදුකාංග වසර අටක් පැරණියි. අදාළ සමාගම මීට වසර පහකට පෙර, එනම් 2020 ඔක්තෝබර් සිට මෙම මෘදුකාංගය යාවත්කල් කිරීම නතර කළා. 2025 ඔක්තෝබර් සිට එහි ආරක්ෂක සේවාවන් යාවත්කල් කිරීම නතර කළා. ඉන් පසුව කිසිම ආරක්ෂණයක් නැහැ. වසර ගණනාවක් තිස්සේ එම ආරක්ෂණය නොතකා හැර තිබෙනවා. රාජ්‍ය ආයතන වල වැඩකටයුතු සිදු වන්නේ ඔය ආකාරයට තමයි. රාජ්‍ය භාණ්ඩාගාරයේ සයිබර් ආරක්ෂණ පද්ධතිය වසර ගණනක් තිස්සේ යථාවත් නොකරන පාලකයන් කියනවා සමස්ත ජනතාවගේම ජෛවමිතික දත්ත රජයට දෙන්නලු, ඒවා ආරක්ෂා කරන්නම්ලු. අපි ජනතාවට කියනවා විශ්වාස කරන්නත් එපා, දත්ත දෙන්නත් එපා. අත්‍යවශ්‍ය දේ පවා නොකර ඩිජිටල්කරණය ගැන නන්දොඩවන මේ ය විශ්වාස කරන්නම එපා. වරක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට ඇවිත් ජනාධිපතිවරයා කිව්වා, ජෛවමිතික දත්ත හැකරුන්ට ගන්න බෑ කියලා. ඩිජිටල් බුද්ධිමතෙක් වන හාන්ස් විජේසුරිය විශ්වාස කරන්න, එයාව විශ්වාස කරන්න බැරිනම් මාව විශ්වාස කරන්න කියලා ජනාධිපතිතුමා කිව්වා. මේ සිද්ධියෙන් පෙනෙන්නේ දෙදෙනාම විශ්වාස කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි අන්තිම මරීමෝඩ වැඩක් රජය කළා. 2025 නොවැම්බරයේදී අපේ පද්ධති වලට සයිබර් ආරක්ෂණය නෑ කියලා මුදල් අමාත්‍යංශයේ ලන්සු ලේඛනයක ලියලා ප්‍රසිද්ධ කළා. ඔක්තෝබර් දොර කැඩුනා, නොවැම්බර් දොර කැඩිලා කියලා රජයම අඬබෙර ගැහුවා, දෙසැම්බර් හොරු පැන්නා, අප්‍රේල් වෙනතුරු හොරු පැනපු බව සැඟවුවා. වැඩේ පැහැදිලියි.
මේ ප්‍රශ්න වලට විසඳුම් ඕන. දිගුකාලීන විසඳුම් වගේම කෙටිකාලීන විසඳුම් ඕන. ආණ්ඩුවේ අය බලය ගන්න කලින් මොන ප්‍රශ්නය කිව්වත් කිව්වේ ආණ්ඩු මාරු කළාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා. ගෙවුණු වසර දෙකක අත්දැකීම තුළ අපට පෙනෙනවා ආණ්ඩු මාරු කළාට ප්‍රශ්න විසඳෙන්නේ නෑ කියලා. දැන් විපක්ෂයේ අය කියනවා ඇමති මාරු කලොත්, ලේකම් මාරු කලොත්, ඉහල තට්ටුව ඉල්ලා අස්වුනොත් ප්‍රශ්නය විසඳෙයි කියලා. ඒකත් අත්දැකීමෙන් වටහා ගන්න ඉන්න එපා. මොලේ පාවිච්චි කරමු. ආණ්ඩුව හොරාගේ අම්මාගෙන් පේන අහන්නේ නැතිව වෝහාරික සයිබර් විගණනයක් කළ යුතුයි. ජනතාවට එය විවෘත කළ යුතුයි. මේ ක්‍රමවේද නිවැරදි කිරීමට මැදිහත් විය යුතුයි.”






