සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව 2026 අති විශේෂ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශනය අද (29) සිට ආරම්භ කරන බවද එම කොමිෂන් සභාව සඳහන් කර ඇත.
ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් 2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සදහා විදුලි ජනනයට අදාළ සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම 2026 අප්‍රේල් 27 වන දින ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.
මෙම පිරිවැය ඇස්තමේන්තුව පදනම් කරගෙන ක්‍රියාවට නැගීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපදේශනයක් පැවත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාල උපදේශන පත්‍රිකාවේ පහත සඳහන් කරුණු අඩංගු කර ඇත.
- රුපියල් බිලියන 15ක රජයේ සහනාධාරය මැයි 10 සිට විදුලි පාරිභෝගිකයින්ට ලබා දීම
- ගෘහස්ත සහ ආගමික සිද්ධස්ථාන ඇතුළු විදුලි පාරිභෝගිකයින් සියයට 95කට රජයේ සහනාධාරය මත ගාස්තු ඉහල නොදැමීමට නිර්දේශ
- පොදු කාර්ය, රාජ්‍ය ආයතන හා සංචාරක හෝටල් යන කාණ්ඩවල මාසික පරිභෝජනය ඒකක 180ට වඩා අඩු අනු කාණ්ඩ සදහා ද ගාස්තුව ඉහළ නොදැමීමට නිර්දේශ
- කර්මාන්ත අංශයේ පළමු අනුකාණ්ඩය සදහාද විදුලි ගාස්තු ඉහල නොදැමීමට නිර්දේශ
- ගල් අගුරු තත්වය හේතුවෙන් සිදුවන අතිරික්ත පිරිවැය විදුලි ගාස්තු වලට ඇතුළත් නොකිරීම තවදුරටත් තහුවරු කිරීමේ පියවර
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළයාම හේතුවෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට රුපියල් බිලියන 38ක හිඟයක් ඇතිවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇස්තමේන්තු කර තිබේ.
මෙම හිඟය තුළ ගල්අඟුරු තත්ත්වය හේතුවෙන් විදුලි ජනනය සඳහා බලපෑ අතිරේක වියදම් අඩංගු කර නොමැති බව වාර්තා කර තිබේ.
සමස්ත හිගයෙන් රුපියල් බිලියන 15ක් සහනාධාර වශයෙන් ලබා දීමේ රජයේ තීරණය මහ භාණ්ඩාගාරය විසින් කොමිෂන් සභාව වෙත දැනටමත් දන්වා ඇත.
නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම ඉදිරිපත් කළ විදුලි ජනන පිරිවැය ඇස්තමේන්තු සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව විසින් සකස්කළ විදුලි ගාස්තු සංශෝධන උපදේශන පත්‍රිකාව අද (29) දින ප්‍රකාශයට පත්කෙර්.
මෙම වසරේ මාර්තු අවසානයේ විදුලි ගාස්තු වැඩිකරන විට ආණ්ඩුව පැවසුවේ එය අප්‍රේල් සිට ජූනි දක්වා බවයි. දැන් නැවතත් විදුලි ගාස්තු ඉහළ දැමීමක් සඳහා යෝජනා ඉදිරිපත් වී තිබේ. මේ අනුව පෙනී යන්නේ වසරේ සෑම කාර්තුවකම විදුලි බිල ඉහළ දැමීමක් සිදුවිය හැකි බවයි. මෙහි ප්‍රමුඛ ප්‍රශ්නය වී ඇත්තේ පිරිවැය ගැලපුම් ක්‍රමයක් බව කියමින් විදුලි බල මණ්ඩලයේ පාඩුව අවම කරගැනීමට ගාස්තු වැඩිකිරීමයි. මෙම ක්‍රමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ක්‍රියාත්මක වන්නකි.






