17 වැනි දා සාකච්ඡාවක් පිණිස තමා කොළඹ කැඳවා ඇතැයි ලේඛක දීපචෙල්වන් අපට කිව්වේ, 10 වැනි දා ය. මෙය කිසිදු නෛතික කැඳවීමක් හෝ එවැන්නකට සහභාගි වීමේ අවශ්‍යතාවක් නොතිබුණත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පෞද්ගලිකව ලේඛකයා අමතා ඊට සහභාගි වෙන ලෙස ඉල්ලා තිබුණි.
කමිටුවක් හමුවේ විමර්ශනය කර ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැත්නම් රේගුව භාරයේ දැනට රඳවාගෙන සිටින දීපචෙල්වන් ප්‍රදීපන් ලේඛකයාගේ කෘති නිදහස් කරන බව දන්වා තිබු අතර, ඒ ඇසුරෙන් පැන නැගෙන මූලික ගැටලු ගණනාවක් අප විමසා සිටිය ද ඇමැත්තා ඇතුළු පෙර සටන්කාමීන්ද නියෝජනය වන ඊනියා සාහිත්‍ය අනුමණ්ඩල ඒවා කිසිවකට පිළිතුරු දීමට පෙරට ආවේ නැත.
දැන් 17 වැනි දා වූ ඊයේ කිලිනොච්චියේ සිට කැඳවූ දීපචෙල්වන්ට ඒ කැඳවීමේ කිසිදු ප්‍රයෝජනයක් අත්කර නොදී, ආරක්ෂක අමාත්‍යංශය අවසරය මත කෘති නිදහස් කරන බව පවසා පිටත් කර තිබේ. පෞද්ගලිකව අමතා කොළඹ එන්නැයි දැන්වූ ඇමැතිවරයාද සාකච්ඡාව අතරමඟදී බැහැරට ගොස් තිබේ. මෙබඳු ඵලරහිත සාකච්ඡාවකට කිලිනොච්චියේ සිට දීපචෙල්වන් කැඳවූයේ ඇයි දැ යි ඇමැතිවරයා පැහැදිලිකිරීමක් කළ යුතු ය.
ඒ අතර පෙර දී මහා සටන්කාමීන් ලෙස පෙනී සිටි කමල් පෙරේරා වැන්නන් සමාජ මාධ්‍යයේ මේ ගැන ලිවීම ගැනද උරණව අදහස් පළ කළ බව දැනගන්නට ඇත. ඊනියා රොමෑන්ටික් සාහිත්‍ය නියායාචාර්යවරයෙක්ද උදාන වාක්‍යයක් කියා ඇති බව සැලයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශන නිදහස සම්බන්ධ අතීත මැදිහත්වීම් ගැන කියා වෙහෙසන්නට කැමැත්තක් නැත. ශක්තික සත්කුමාර කෙටිකතාවක් නිසා දඟ ගෙහි ලූ වෙලේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් තරම කරගන්නට බැරි තරම් දීන ගතියක් ප්‍රදර්ශනය කළ බැවිනි.
එහෙත් ජාතික ජනබලවේගය ලෙස පෙරමුණකට රොක් වූ ඊනියා ප්‍රගතිශීලි රොත්ත පසුවන ගලේ පැහැරූ බළලුන්ගේ භූමිකාව දුටු විට 20 වැනි සියවසේ සිටි ප්‍රංශ දාර්ශනිකයෙක් වූ ජුලියන් බැන්ඩාගේ බුද්ධිමතුන්ගේ පාවාදීම The Treason of the Intellectuals නම් කෘතිය සිහියට එයි.
මැතිවරණ කෙළියට පෙර සිටම කලාකරුවන් දේශපාලන පක්ෂපාතීත්වය නිසා සිදුවිය හැකි හානිය – විවේචනයේ බලය අහිමිවීම ගැන අපි ඇති තරම් කියා සිටියෙමු.
දැන් සිදුව ඇත්තේ එය නොවේ ද? ඔවුන් එතැනින් නොනැවතී සිය සදචාරාත්මක වගකීම මගහැර දේශපාලන පක්ෂපාතීත්වය තෝරාගෙන තිබේ.
මේ ඊනියා ප්‍රගතිශීලී සාහිත්‍ය ප්‍රතිරූපකයන්ට කිව යුතුව ඇත්තේ, “හරි කලකිරීමයි” වැනි ව්‍යාජ සොටු කතා පැවසීමෙන් තොරව ඍජු ස්ථාවරයක් ගැනීමට කාලය පැමිණ ඇති බවයි.Positional SHIFT හෙවත් ස්ථානගතවීම සම්බන්ධයෙන් දිනයක ඔබගේ ක්‍රියාමාර්ග ගැන සංවාද ඇති වනු ඇත.
කිසිවක් සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට ඍජු ප්‍රතිපත්තියක් ඇත්තේ නැත. වාමවාදී හැව ආරක්ෂා කරගනිමින් නවලිබරල්වාදී මාවතේ උඩපැන පැන දුවද්දී, නවලිබරලුන් මුහුණ දුන්නාට වඩා ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුව තිබේ. මන්දයත් නව ලිබරල්වාදයට අනුව කටයුතු කළ උන්ට ආරක්ෂා කරගන්නට වෙස් මුහුණක් නොතිබූ බැවිනි.
කෘතියක් ජනගතවීමට පෙරම එය ආරක්ෂක තර්ජනයක් ලෙස හංවඩු ගැසීම ප්‍රකාශනයේ නිදහස බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි. මෙයට පෙර අප අත්දැක්කේ කෘතියක් ජනගත වූ පසු යම් යම් වාරණ පැනවීමට උත්සාහ දැරීමයි.
දීපචෙල්වන් දෙමළ ලේඛකයෙක් ලෙස සිය ප්‍රකාශනය විදාරණය කරන කලාපය අපි දනිමු. මේ වාරණය හුදු ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොව දෙමළ ජනයා මත පතිත කරන මහජාතික ජාතිවාදයේ ද කොටසකි. ලබ්බෙන් හරි ගහන්න යැ යි කියූ පක්ෂයකින් දෙමළ ජනයාට සාධාරණයද අපේක්ෂා කළ අය වෙත අපට ඇත්තේ සෝපහාසී සිනාවකි.
කෙසේ වෙතත්, දෙමළ ජන කෘති වාරණය පිටුපස “සාමූහික මතකය” (Collective Memory) වනසා දැමීමේ අරමුණ තිබෙන බව අවධාරණය කළ යුතු ය. අප පසුගිය කාලයේ දිගින් දිගටම ඉස්මතු කළ දෙයක් වූයේ මේ සාමූහික මතකය සාහිත්‍ය හරහා ගෙන ඒමේ අවශ්‍යතාවයි. එනිසා මෙය හුදෙක් කෘති තහනමක් ලෙස අප සිතන්නේ නැත.
එසේ ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මගින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කර තිබෙන අතර, රේගුව හෝ ආරක්ෂක අමාත්‍යංශය විසින් එය උල්ලංඝනය කරන්නේ කෙසේ ද? ජාතික ජනබලවේග රජය විසින් එය උල්ලංඝනය කරන්නේ කෙසේ ද?
නැවත නැවතත් කිව යුත්තේ, මෙය දීපචෙල්වන්ට හදිසියේ මතු වූ තත්වයක් නොවේ. දෙමළ ජනයාගේ ලේඛකයන් ගැන සෑමවිමට චරපුරුෂ සේවය පවත්වාගෙන යන තත්වයක් මෙරට තිබේ. දීපචෙල්වන් කෘති රචනය අතරතුරදී ද ත්‍රස්ත විමර්ශන අංශවල තාඩන පීඩනවලට ලක් වූ බව අපි දනිමු. ජාතික ජනබලවේග රජය යටතේ ද එය නතර වී නැත.
සදාචාරාත්මක වගකීමද කෙළ පිඩක් සේ ඉවත දැමූ ඊනියා බුද්ධිමත් – කලාකාර පිරිස ඊට පාවඩ එළති.
පෙර පැවති වර්ගවාදී රෙජිමයන් ගෙන ගිය ආරක්ෂක පිළිවෙත් ඒ ආකාරයටම ජාතික ජනබලවේග රජයද ගෙන යන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
දැන් ප්‍රකාශනයේ නිදහස මත්තේ ලැගගෙන ඇත්තේ රතු කුරුල්ලෙකි. සකලාකාර ප්‍රකාශන වාරණයන්ට එරෙහිව සටන් කරමු. දෙමළ ජනයාගේ සාමූහික මතකය වනසා දැමීමේ වෑයමට තිත තබමු!
සඳුන් ප්‍රියංකර විතානගේ






