Breaking News

අපේක්ෂා රෝහලේ කිසිදු සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදයක් නැහැ – තවත් කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක්

මහරගම අපේකෂා රෝහල හරහා රට පුරා පැතිරී යන තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙයට හේතුව වී ඇත්තේ මේවනවිටත් රෝහල තුළින් කොවිඩ් ආසාදිත රෝගීන් හමුවී තිබුණත් එය රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට පැතිරීම වැලක්වීමට කිසිදු පියවරක් ගැනීමට රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රමුඛ රෝහල් පාලනාධිකාරිය කටයුතු නොකිරීමයි.

වාර්තා වෙන පරිදි දැනටත් අපේක්ෂා රෝහලේ රෝගියෙකුට, කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට සහ පිරිසිඳු කිරීම් අංශයේ සේවකයෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ. නමුත් රෝහල් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය වසන්ත දිසානායක රෝහල බාර සෞඛ්‍ය පරීක්ෂකවරයාට සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයාට උපදෙස් ලබාදී ඇත්තේ ඒ පිළිබඳව කිසිවෙකුට හෙළිනොකරන ලෙසයි. එසේම රෝහල් අධ්‍යක්ෂකවරයා තම මාධ්‍ය හිතවත්කම් පවිච්චි කරමින් මාධ්‍ය විසින් මෙය වාර්තා කිරීමද අවහිර කර ඇති බව පැවසේ. ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩලය හෝ රෝහල තුළ මතුව ඇති මෙම අවදානම් සහගත තත්ත්වය ගැන දැනුවත් වී නැත.

ඊට අමතරව මෙවැනි අවදානමක් මතුව පැවතියදී පවා රෝහල තුළ කිසිදු සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදයක ක්‍රියාත්මක කිරීමට රෝහල් අධ්‍යක්ෂකවරයා කටයුතු කර නැත. රෝගීන් රෝහල තුලට ඇතුලු කරගැනීමට පෙර ඔවුන් පැමිණි ප්‍රදේශය, රෝග ලක්ෂණ අනුව වර්ග කළ හැකිව තිබුණත් තවමත් ක්‍රියාත්මක වන්නේ රෝහල තුළට ඇතුලු වීමේදී උණ පරික්ෂා කිරීමේ ක්‍රමවේදය පමණි.

දැනට ඇඳිරි නීතිය මධ්‍යයේ වුවද දෛනිකව පැවැත්වෙන සායන සඳහා රෝගීන් විශාල වශයෙන් පැමිණෙමින් සිටින බව පැවසේ. එම සායන පැවැත්වෙන ස්ථානවල සමාජ දුරස්තකරණය පවත්වා ගැනීමේ වැඩපිළිවෙලක් හෝ ක්‍රියාත්මක නොවේ. එසේම රෝහලට පැමිණෙන රෝගීන් අවම කරගැනීම සඳහා මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් හඳුන්වා දී නොමැත. එසේම රෝහල තුළ අධික තදබදයක් පැවතීම , සමහර වාට්ටු සංකීරණවලට නිසි පරිදි වාතාශ්‍රය නොලැබීම සහ වාට්ටු ඉතා අපිරිසිඳු වීම යන කරුණු හේතුවෙන් කොරෝනා රෝගීන් අතර කොවිඩ් පැතිරීමේ අවදානම ඉහළ ගොස් ඇත.

වසංගත කාල පරිච්ඡේදයේ බොහෝ ප්‍රධාන රෝහල් ක්‍රියාත්මක කරන තාවකාලිකව රෝගීන් ළඟම ඇති රෝහලට යොමුකිරිම ඖෂධ තැපැල් මගින් රෝගීනට ලැබීමට සැලැස්වීම වැනි ක්‍රමවේද පවා අපේක්ෂා රෝහලට මෙතෙක් හඳුන්වා දී නැත. පළමු කොරෝනා රැල්ල පැමිණි මොහොතේ කොරෝනා යයි සැක සහිත රෝගීන් වෙන්කර තැබීම සඳහා වාට්ටුවක් වෙන්කර තිබුනද මෙවර එම ක්‍රමය හෝ ක්‍රියාත්මක නොවේ. එයට හේතු ලෙස දක්වා ඇත්තේ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොවීමයි.

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රාජකාරි සඳහා යොදාගන්නා කාර්ය මණ්ඩලය කණ්ඩායම් කර සේවය සඳහා යොදාගන්නා ලෙස නියම කර ඇතත් අපේක්ෂා රෝහල තුළ එය පවා නිසියාකාරව ක්‍රියාත්මක වීමක් සිදු නොවේ. එසේම කාර්ය මණ්ඩලයට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදෙන්නේ ද නැත. රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් ඒ පිළිබඳ විමසීමේදී ඔහු පවසා ඇත්තේ අවශ්‍ය තරම් සෞඛ්‍යාරක්ෂිත උපකරණ ගබඩා කර ඇති බවයි. එහෙත් මෙවැනි අවදානමක් පවතින මොහොතක ඒවා පාවිච්චියට නොගැනීම රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අවදානමේ හෙළීමකි.

අනෙක් අතින් අපේක්ෂා රෝහල පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්නකි. එවැනි රෝගීනට කොවිඩ් වැළඳීමට ඉඩ සැලසීම යනු එම රෝගීන් මරණය වෙත තල්ලු කිරීමකි. එසේම මෙය යම් ප්‍රදේශයක ජනතාවක් පමණක් ප්‍රතිකාර ගැනීමට භාවිතා කරන රෝහලක් නොවේ. මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ලංකාව පුරා රෝගීන් පැමිණේ. පාලනාධිකාරිය මගින් කිසිදු රෝහල තුළ කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හරහා තවතවත් කොවිඩ් රෝගීන් රෝහල තුලට පැමිණීමේ අවදානමක් සහ රෝහල හරහා ලංකාව පුරා රෝගය පැතිරීමේ අවදානමක් මතුවී තිබේ. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළ හරහා මුලු ලංකාව පුරාම ව්‍යප්ත වූ කොවිඩ් පොකුරක් නිර්මාණය වී අවසන්ය. අපේක්ෂා රෝහලද එවැනි ආකාරයේ කොවිඩ් පොකුරක් නිර්මාණය කිරීමේ අද්දර සිටින බව රෝහල් ආරංචි මාර්ග අවධාරණය කර සිටියි.

leave a reply