මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව ගල් අගුරු විවාදයට සහභාගී වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය. ඒ මත පදනම්ව නඩු පැවරීමට කටයුතු කරන බව ඔහු කීය.
ඔහු ප්‍රකාශ කළේ මෙතෙක් ගල් අගුරු නැව් 462ක් ලංකාවට පැමිණ තිබෙන බවයි. එලෙස ගල් අගුරු ආනයනයේදී සිදු වූ ඇති අඩුපාඩු පිළිබද සොයා බැලීමට කටයුතු කරන බව ඔහු කීය. ඔහු චෝදනා කරන්නේ වත්මන් විපක්ෂය බලයේ සිටියදී ගල් අගුරු ආනයනයේදී වංචා සිදුව ඇති බවත්, ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් එම කරුණු හෙළිදරව් කරන බවත්ය.
ඔහු කුමාර ජයකොඩි අමාත්‍යවරයා පිළිබද විශ්වාසභංග යෝජනාවේදී විවාදයේදී රජය නියෝජනය කරමින් දැක්වූ පළමු පිළිතුරු කතාව තුළ පහත අදහස් දැක්වීය.
‘අපි ලෑස්තියි කරුණු සහිතව සිදු වුණ දේ අනාවරණය කරන්න. මම දැක්කා විපක්ෂයේ ප්‍රධාන කථිකයන් දෙදෙනා ඒ කතා දෙකෙන්ම පේන්නේ නෑ මේ විවාදය හෝමාගම මහජන බැංකුවේ නැන්දම්මාගේ අකවුන්ට් එකෙන් එහාට යයි කියලා. එතැන තමයි තැන.
ගරු කථානායකතුමනි, ගල් අඟුරු ගේන්න ගත්තේ අපේ ආණ්ඩුවෙන් නෙවෙයි. වසර 15ක් තිස්සේ සිද්ධ වෙනවා. විගණකාධිපති වාර්තාවේ සඳහන් වන ආකාරයට ගල් අඟුරු නැව් 462ක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් හැටදාහක්. ඩොලර් මිලියන 4, 5, 6 වටිනාකමක් ගල් අඟුරු නැවක් වටිනවා. ඩොලර් බිලියන දෙකහමාරක් විතර ගල් අඟුරුවලට ගෙවලා තියෙනවා.
දැන් තමයි නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහ තත්ත්ව පාලන ක්‍රියාවලියක් ස්ථාපනය කරන්න කටයුතු කරමින් ඉන්නේ. පහුගිය අවුරුදු 15ම මොකක්ද සිද්ධ වුණේ? මේ විශ්වාසභංගය ගෙනාපු කණ්ඩායම ආණ්ඩු කරපු අවුරුදු 15 තුළදීත් ගල් අඟුරු සැපයුම සිද්ධ වෙලා තියෙනවා. අපට වෙලා තියෙන්නේ ක්‍රියාවලිය ස්ථාපනය කරන එක. 2010-15 කාලසීමාවේ කිසිදු ටෙන්ඩර් ක්‍රියාවලියක් නෑ. සමහර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ වෙලා අතරමැද නතර වෙලා කැබිනට් මණ්ඩල තීන්දුවක් මත කොන්ත්‍රාත් ලබාදීමේ ක්‍රියාවලියක් තමයි පහුගිය අවුරුදු පහේ සිද්ධ වුණේ. අපි කතා කරන ලෝඩ් පෝට් රිපෝට් (Load Port Report) හෝ ඩිස්චාර්ජ් රිපෝට් (Discharge Report) මොකක්වත් අදාළ වුණේ නෑ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය නතර කරලා තමන්ට ඕනෑ අයට දුන්නා නම් කතා කරන්න දෙයක් නෑනේ. මේ ක්‍රියාවලිය කෙතරම් බරපතළයිද කියලා 2010-11 සැපයුමේ ඉඳලා 2014-15 සැපයුම දක්වා වෙච්ච ක්‍රියාවලියෙන් පස්සේ පළවැනි වතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම අධිකරණය කිව්වා SCFR 394/2015 තීන්දුවෙන් කිව්වා අධිකරණයේ හෘදය සාක්ෂිය කම්පනයට පත් කරන මට්ටමේ ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනවා කියලා.
ඒ නිසා ඒ ටෙන්ඩර් එක 2015 දී බල රහිත කළා. මෙහෙම තමයි පළවැනි වසර පහ ගියේ. ඊළඟට ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ වුණා. ටෙන්ඩර්වලදී සිද්ධ වෙච්ච අක්‍රමිකතාවයන් පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කරුණු සහිතව කියාවි. ඩොලර් මිලියන 1.5ක වංචාවක් ගැන දැනටමත් නඩු කටයුතු සිද්ධ වෙනවා. මේ ප්‍රසම්පාදනය හරි තැනක තිබ්බා. ඒ නිසා තමයි ගල් අඟුරු සැපයුම්කරුවන් 26 දෙනෙක් ලියාපදිංචි කරලා තිබුණා. එයින් 11 දෙනෙක් ටෙන්ඩරයට ඇතුළත් වුණා. දින 21ක් ලබා දුන්නා. ජාතික ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය සහිතව එය දින 28ක් දක්වා දීර්ඝ කළා. මේක මෙට්‍රික් ටොන් මිලියන 1.5ක සැපයුමක්. අවුරුදු තුනකට මෙට්‍රික් ටොන් මිලියන 4.5ක ගනුදෙනුවකට දින 35ක් ඇතුළත ටෙන්ඩර් දුන්නේ. අපි 21ක් දීපු එක 28ක් දක්වා දීර්ඝ කළා. ප්‍රශ්නයක් තිබුණා නම් අභියාචනය කරන්න තිබුණා.
ටෙන්ඩර් නිර්නායකයන් වෙනස් කළේ අපි කියලා බොරුවක් කිව්වා. ඒත් 2023 දී තමයි ඒවා වෙනස් කළේ. අපේ ආණ්ඩුවෙන් නෙවෙයි. ඒ ලක්ෂ පහෙන් ලක්ෂයක් GCV 5900ට වඩා වැඩිවෙන්න ඕනෑ කියලා වෙනස් කළේ 2023 දී. ඒක තමයි අඛණ්ඩව ක්‍රියාත්මක වුණේ. සැපයුම්කරුවන් 26 දෙනෙක් ලියාපදිංචි කරගෙන එයින් 11 දෙනෙක් ටෙන්ඩරයට ආවා. ඒකෙන් තමයි ටෙන්ඩරය කළේ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන චෝදනා එල්ල කරන්න බෑ. කවුරුහරි කියනවා නම් ඇමති මැදිහත් වෙලා සමාගමක් ගෙනාවා කියලා, මම කියනවා ඔප්පු කරන්න. එහෙම ප්‍රශ්නයක් තිබුණා නම් සැපයුම්කරුවන් අභියාචනා කමිටුවට යනවා. කවුරුත් ගියේ නෑ. කලින් තමයි ඇමතිවරුන් මැදිහත් වුණේ. ටෙන්ඩරය කෝල් කරන්න පරක්කු වුණේ කලින් එකේ නැව් පරක්කු වුණ නිසා. ඒවායේ අන්තිම නැව බෑවේ දෙසැම්බර් 08 වැනිදා. ඒවා පරක්කු වුණා.
මෙතැන ගැටලුවක් මතුවෙලා තියෙන්නේ තත්ත්ව පරීක්ෂණය කරන්න ක්‍රමවේදය තමයි ලෝඩ් පෝට් රිපෝට් එක ගන්න එක සහ ඩිස්චාර්ජ් පෝට් රිපෝට් (Discharge Port Report) එක ගන්න එක. දැන් විශ්වාසභංගය ඉදිරිපත් කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හිටපු 2015 ආණ්ඩුව නම් හිටියේ, මේ ප්‍රශ්නය එන්නේ නෑ. අජිත් පෙරේරා රාජ්‍ය ඇමති හිටපු කාලයේදී පෙන්වන්න ගල් අඟුරුවලට මුදල් ගෙවද්දී ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එකට කවදාද ගෙව්වේ කියලා. එතකොට ගෙව්වේ ලෝඩ් පෝට් රිපෝට් එකට විතරයි. ඒ කියන්නේ සැපයුම්කරු තෝරාගත් ලැබ් එක. 2019 වෙනකල් ලෝඩ් පෝට් රිපෝට් එක මොකක්ද? ඒකට ගෙව්වා.
ඒ විදියට නම් අපි වැඩ කරන්නේ, මේ ආපු නැව් 13ටම සල්ලි ගෙවන්න පුළුවන් ප්‍රශ්නයක් නැතිව. මොකද ඒ ඔක්කෝගෙම ලෝඩ් පෝට් රිපෝට් එක පාස්. ප්‍රශ්නයක් මතුවෙන්නට හෙව්වෙත් නෑ. කතා කරන අය ඇමතිකම් කරන කාලේ බැලුවද ගල් අඟුරු බලාගාරවල රිපෝට්? ඒවා මොකක්වත් සැලකිල්ලට අරන් නෑ. අරහෙන් දෙන රිපෝට් එකට සීයට සීයක් බැලුවා.
යන්තම් 2019න් පස්සේ ඒ ක්‍රමය වෙනස් කළා. මේ විගණන වාර්තාවේම තියෙනවා ඩිස්චාර්ජ් පෝට් වාර්තාව සැලකිල්ලට ගන්න තිබුණත් ඒකත් සිද්ධ වුණේ නෑ, අක්‍රමිකතාවන් සිද්ධ වුණා කියලා. අපි කළේ වාර්තා දෙකම අරන්. ඒ දෙක අතරේ වෙනසක් තියෙනවා. අපි ඒක තමයි හොයන්නේ. අවුරුදු 15ක් තිස්සේ හරියට මේ ක්‍රමය සිද්ධ වුණා නම් අවුරුදු 15ක් යන්නෑ මේ වගේ පරස්පරතා නිරාකරණය කරන්න. හැබැයි ඒක කරලා තිබුණේ නෑ.
දැන් ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. ලෝඩ් පෝට් රිපෝට් එක කිලෝකැලරි 6150ට වඩා වාර්තා වෙද්දී, ඩිස්චාර්ජ් පෝට් වාර්තාව අඩු වෙන්නේ කොහොමද? ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපි උත්තරයක් හොයනවා.
තුන්වැනි කාරණය තමයි මේක පටලවන්න යනවා. මුලින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට තහවුරු කරන්න. දෙවැන්න තත්ත්ව පරීක්ෂණය. තුන්වැන්න සැපයුම හරියට සහතික කරගන්න ඕනෑ.
ගල් අඟුරු සැපයුම් ක්‍රියාවලියේ GCV එක, අලු ප්‍රමාණය, සල්ෆර් ප්‍රමාණය ආදී පිරිවිතරයන්ගේ වෙනසක් විය හැකිව තිබෙන නිසා එයට යම් අය කර ගැනීමක් කරන්නයි කොන්දේසිවලින් දඩ පැනවීමක් කළේ. අපි කළේ පිරිවිතරයන්ගේ වෙනස්කම් තියෙන නිසා ඩොලර් මිලියන 17ක දඩ ගැසීමට කටයුතු කරලා තියෙනවා. අපි පාඩුව අය කර ගන්නවා.
ජනතාවට කියන්න කැමතියි මේ ප්‍රශ්නය නිසා කිසිදු ආකාරයක ජනතාව මත විදුලි බිල් වැඩිවීමක් සිදු වන්නේ නැත. එය කරන්නේ නෑ. දවස් කීපයකදී විදුලි බිල වැඩි කරන්න විදුලි බල මණ්ඩලය වැඩ පටන් ගත්තේ දෙසැම්බර් මැද. වාර්තාව ඉදිරිපත් කළේ පෙබරවාරි 13 වැනිදා.
ගල් අඟුරුවලට යොදලා තියෙන මුදලට වඩා අඩු මුදලක් තමයි ජනනයට දාලා තියෙන්නේ. ගිය අවුරුද්දට වඩා අඩුවෙන් තමයි දෙවැනි කාර්තුවට ගල් අඟුරු ජනන වියදම අඩු කරලා තියෙන්නේ. ඒ මත තමයි විදුලි බිල මේ ගාණට වැඩි කරන්න වුවමනා බව කීවේ. ඩොලර් මිලියන 15ක් අපි රඳවාගෙන ඉන්නවා ගල් අඟුරුවල තාප ජනනය වීම නිසා සිදුවන පාඩුව ජනතාව මත පටවන්නේ නැතිව සමාගම මත පටවන්න අපි කටයුතු කරනවා. ගෙව්වේ නැත්නම් අධිකරණයට යෑමට හෝ උත්සාහ කරනවා. පාඩුව ජනතාව මත පටවන්නේ නෑ. අධිකරණයට යන්නේත් නෑ.
දූෂිත සිස්ටම් එකක් නිවැරදි තැනක පිහිටුවන්න යනකොට, ප්‍රසම්පාදනය හරියට කරනකොට, තත්ත්ව පරීක්ෂණය හරියට කරනකොට තේරුම් ගන්න පුළුවන් කැබිනට් මණ්ඩලයෙන් තමන්ට ඕනෑ සමාගමකට දුන්න හැටි. ඩොලර් දෙසීය ගණනකට ගල් අඟුරු ගත්ත කාල තිබුණා. අපි මේක ප්‍රසම්පාදනයෙන් හරියට කරනවා. තමුන්නාන්සේලා කලින් ගත්ත සමාගම්වලට එතකොට අවස්ථාව ලැබෙන්න පුළුවන්. අපි තත්ත්ව පරීක්ෂාව හරියට කරනවා. අපි කිසිසේත්ම තමුන්නාන්සේලා බලාපොරොත්තු වන ආකාරයට විදුලිය කපන්නේ නෑ. සියලු ප්‍රශ්නවලට මුහුණ දෙන අතරේ විදුලිය අඛණ්ඩව සපයනවා.
උපුටා ගැනීම – වට්නිවුස්






