ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය විසින් විදේශ රටකට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක්, නොදන්නා ගිණුමකට බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස ඇමතිවරයා පවසන්නේ ඒ පිළිබඳ තොරතුරු තමන් සතුව නොමැති බවත් එයට පසුව පිළිතුරු ලබාදිය හැකි බවයි.
කෙසේවෙතත් මෙය සිදුව ඇත්තේ මාර්තු මාසයේ බවත් දැනට මේ සිදුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් පවත්වා නිලධාරීන් කිහිපදෙනකුගේ වැඩ තහනම් කර ඇති බවත් හෙළිව තිබේ . එසේ තිබියදී මෙම සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව මගහැර යන්නේ ඇයිද යන ප්‍රශ්නය ඇතිවේ.
මේ අතර මෙම සිද්ධිය ගැන වහාම පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කරන ලෙස ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය අද (22) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
2025 සැප්තැම්බර් මාසයේදී විදේශ ණය පියවීමක් ලෙස ගෙවීමට නියමිතව තිබූ මෙම මුදල, අදාළ රටට නොව තෙවන පාර්ශවයකට යොමු වී ඇති බවට චෝදනා එල්ල වේ.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිසක් විසින් කතානායකවරයා වෙත යොමු කළ ලිපියක් මගින් මෙම බරපතළ අනාවරණය සිදු කර තිබේ.
එම ලිපියට අනුව, 2025 දෙසැම්බර් මාසයේ සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ රජය විසින් ණය වාරිකයක් ලෙස ගෙවන ලද මෙම ඩොලර් මිලියන 2.5 ක මුදල අදාළ ණය හිමියා වෙත ලැබී නැහැ. නව මුදල් පනත යටතේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත මෙම ගෙවීම් වගකීම පැවරී තිබුණා.
මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් දැනටමත් භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂවරුන් සහ පරිගණක අංශ ප්‍රධානියෙකු ඇතුළු පස් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, අභ්‍යන්තර තාක්ෂණික විමර්ශන කමිටුවක් ද පත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙන්වා දෙන්නේ මෙවැනි මහා පරිමාණ ගෙවීමක් සිදු කිරීමේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ සහ නියෝජ්‍ය ලේකම්වරයාගේ අනුමැතිය අනිවාර්ය බවයි. එම නිසා, එම නිලධාරීන් යටතේම පවතින කමිටුවක් මගින් සිදු කරන විමර්ශනයක විනිවිදභාවය පිළිබඳව ඔහු සැක පළ කරනවා.
රාජ්‍ය මූල්‍ය පිළිබඳ අවසන් වගකීම පාර්ලිමේන්තුව සතු බැවින්, මුදල් අමාත්‍යාංශයෙන් පරිබාහිර ස්වාධීන කණ්ඩායමක් හරහා පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙසයි එම සංවිධානය කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ.
මෙම ලිපියේ පිටපත් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා වෙත සහ විගණකාධිපතිවරයා වෙත ද යොමු කර තිබෙනවා.
ලිපිය පහත දැක්වේ.
2026 අප්‍රේල් 22
ගරු කතානානයකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,
කෝට්ටේ.
ගරු කතානායකතුමනි,
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තිබේදැයි පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලීමයි.
ශ්‍රී ලංකා රජය 2025 සැප්තෑම්බර් මස අග වන විට ඩොලර් මිලියන 22.9 ක ණය මුදලක් ගෙවීමට තිබු රටකට, ණය පියවීමක් ලෙස ඉන් කොටසක් එනම්, ඩොලර් මිලියන 2.5 ක මුදලක්, මහා භාණ්ඩාගාරය විසින් 2005 දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුල විසින් පියවා ඇත. එම මුදල් අදාළ ණයකරු (රට) වෙත නොව, පරිගණක හැකර් කෙනෙකු (හෝ තුන්වන පාර්ශවයකට) වෙත හෝ යොමු කර ඇති බව දැනගන්නට ඇත.
දැන්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ‘තාක්ෂණික විමර්ශන කමිටුවක්’ 2026.03.24 ක් හෝ ඒ ආසන්නයේ පත් කර ඇත. මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු, අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු හා පරිගණක අංශයේ ප්‍රධානියෙකු ගේ වැඩ තහනම් කර ඇත.
ඔබතුමන් දන්නා පරිදි, මෑතක් වන තුරුම විදේශ ණය, වාරික සහ පොලිය නැවත ගෙවීම් කටයුතු සිදු කරනු ලැබූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. නව මුදල් පනත සම්මත වීමෙන් පසුව එම වගකීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරුණි. ඒ අනුව මෙම ගෙවීම සම්බන්ධයෙන් ලේඛන සකස් කර ඇත්තේ ද, ගෙවීම් සිදු කර ඇත්තේ එම ආයතන විසිනි.
ඩොලර් මිලියන 2.5 ක ගෙවීම් සිදු කිරීමට නියෝජ්‍ය භාණ්ඩගාර ලේකම්වරයෙකුට, ගණකාධිකාරිවරියට හා පරිගණ අංශයේ නිලධාරියෙකුට පමණක් හැකියාව නැත. ඒ සඳහා අනිවාර්යයෙන්ම නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් (DST) සහ භාණ්ඩාගාර ලේකම්වරයා ද සම්බන්ධ විය යුතුය.
රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් අවසන් වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුව වෙත ය. දැනට මෙම විමර්ශනය සිදු කරමින් ඇත්තේ ණය ගෙවීම පිළිබඳ අවසන් වගකීම දරණ අතිරේක භාණ්ඩාගාර ලේකම්වරයෙකු යටතේ
ය. ඔහු මෙම විමර්ශනය කරන අතරම තවදුරටත් අදාල දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු මෙහෙයවයි.
මහා භාණ්ඩාගාරය සම්බන්ධයෙන් වන වගකීම දරණ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ද වන බැවින් මේ පිළිබඳව වන විමර්ශනය මුදල් අමාත්‍යාංශ/භාණ්ඩාගාරයෙන් පරිබාහිර කණ්ඩායම් විසින් සිදු කළ යුතුව ඇති බව අපගේ විශ්වාසයයි.
එබැවින්, රාජ්‍ය මුල්‍ය වගකීම දරණ පාර්ලිමේන්තුව විසින් සුදුසු ක්‍රමවේදයක් හරහා මෙම සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙයට විශ්වාසී,
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
සභාපති / ෆී ලෝයර්ස් සංවිධානය
පිටපත්
- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ නායකවරුන්/මහලේකම්වරු
- පාර්ලිමේන්තු මුදල් කාරක සභාව
- විගණකාධිපති, ජාතික විගණන කොමිෂන් සභාව
- පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා – සභාපති, පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කමිටුව






