මා මිත්‍ර සදුන් ප්‍රියන්කර විතානගේ කරන ලද ආරාධනාවකට අනුව ප්‍රථම වරට ෆාදර් චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය නැරඹූ මා චිත්‍රපටය පිළිබද මාගේ අදහස මුහුණු පොත හරහා පළ කරනු ලැබුවා. ඉන්පසු ෆාදර් චිත්‍රපටය අති සාර්ථක හවුස් ෆුල් දර්ශන නොකඩවා කරගෙන යන අතරතුරේ මා මිත්‍ර ප්‍රියනාත් විදානපතිරණ සමගින් යළිදු වතාවක් ගොස් ෆාදර් චිත්‍රපටය නැරඹුවේ එය දෙපාරක් වුව නැඹිමට හැකි චිත්‍රපටයක් වූ නිසාවෙනි. දෙවනි වර එය නැරඹීමෙන් පසු ඇති වූ මේ කළකිරීම ලියනවාදෝ නැද්දෝ යන දෙගිඩියාවෙන් සිටි මා දින කිහිපයක ඇවෑමෙන් පසු ඒ පිළිබදව මෙලෙස ලිවීමට අදහස් කළෙමි.
අප ෆාදර් බැලුවේ රාත්‍රි 10 දර්ශන වාරයයි. සිනමාව හැදෑරූ සහ තවමත් හදාරමින් සිටින, සිනමාවේ නිර්මාණාත්මක කාර්යයට තරමක දායකත්වයක් තිර රචනය ආශ්‍රයෙන් ලබා දෙන මා හට එදින තිබු එකම ප්‍රිති ප්‍රමෝදය ෆාදර් චිත්‍රපටයේ එම දර්ශනයද හවුස් ෆුල් වී තිබීමයි. එසේම මේ සටහන ලියන්නට පෙළඹෙන ඒ කළකිරුණු සිතුවිල්ලද එම ෆුුල් හවුස් වු ප්‍රෙක්ෂකාගාරයම වීමද අභාග්‍ය සම්පන්න කරුණකි.
මේ සටහන ෆාදර් චිත්‍රපටය ගැන නෙමේ. එය බලන්නට පැමිණි ප්‍රෙක්ෂකාගාරය ගැනයි. නිර්මාණයකට ප්‍රෙක්ෂකාගාරයක් අත්‍යාවශ්‍යමය. එසේ නොවුන තැන එම නිර්මාණයේ ප්‍රකාශනය සමාජය වෙත ගළා යාම අවම කරවයි. එදින නම් එම ප්‍රේක්ෂකාගාරය පිරී ඉතිරි සිටියත් ඔවුන් චිත්‍රපටය කෙරෙහි දැක් වූ ප්‍රතිචාරයන් නම් සමාජයක් ලෙසින් අප සැම යළි යළිත් සිතිය යුුතුම එවා වේ.
රාත්‍රි 10 දර්ශනය නිසා වැඩිමනක් සිටියේ තරුණ පිරිමින්ය. වැඩිහිටි පිරිමි සහ කාන්තාවන්ද තරමක් සිටියහ. ෆාදර් චිත්‍රපටයේ භාෂාවෙන්ම කිව්වොත් තරුණ කැළය.
චිත්‍රපටය ආරම්භ දර්ශනයක ඩෙස්මන්ගේ පෙම්වතිය ලෙසින් රංගනයේ යෙදෙන ශිල්පිණිය ෆුට් සයිකලය පැදගෙන එයි. චිත්‍රපටයට අනුව ඒ 1976 වසරයි. මේ යුගය යනු භූමිතෙල් රෙදි යාර භාගය ලබා දුන් යුගයයි. එකල කාන්තාවන් ගවුම් මැසුවේ සහ ඇන්දේ දණහිසෙන් උඩටයි. (එකල කාන්තා විලාසිතා සහිත පිංතූර සොයා බලන්න). චිත්‍රපටයේ තරුණිය සයිකලය පැදගෙන එන විට ඇගේ කොට මිණි ගවුම සුළගට උඩ යයි. එවිට ඇය තම කලවය නොපෙන අයුරින් එය අතින් සකසා ගනු ලබයි.
මා අවට සිටි ඒ තරුණ කැළ ප්‍රෙක්ෂකාගාරයේ සිනහව සහ හූ මිටි තැබීම සිනමා ශාලාවම දෙදරවයි. නිරාවරණය වූ කාන්තාවකගේ කලවයක් ඒ පිරිමි ප්‍රෙක්ෂකාගාරය ඒ තරම් සසළ කිරීම ගැන අප දෙවරක් නොසිතිය යුතුද?
තවත් දර්ශනයක වෙල්ලා සමගින් යන අනෙකා මුදලට යහන්ගතවන කාන්තාවක් සමගින් නිදි යහනේ සිටියදි ඩෙස්මන් පැමිණ වෙඩි තබා ඔහුව ඝාතනය කරයි. තම ශරීරය මත රැදී සිටින මිනිසා වෙඩි කා මැරී වැටෙද්දි ඒ ලෙයින් තමාව නැහැවී යද්දී එම කාන්තාව තබන ඒ විලාපය……?
මා අවට සිටි ඒ තරුණ කැළ ප්‍රෙක්ෂකාරයට නම් ඒ තරම් ආතල් සීන් එකක් නිල් චිත්‍රපටයක වත් නැතිවා සේය. ඔවුන් සිනාසෙයි. ආාා. ගායි. හූඋ… ගායි.
තමා අසලම මිනිසෙකු මැරී සිටිද්දි විලාප දෙන ගැහැණියක් දෙස බලා සිනාසෙන ප්‍රෙක්ෂකාගාරයක්?
1983 කළු ජූලිය, මෙම චිත්‍රපටයේ තවත් එක් සුවිශේෂි අවස්ථාවක්. එහිදි ඥානේ ඇතුළු මැර පිරිස දෙමළ මිනිසුන් සොය සොයා ඔවුන්ට පහර දෙයි. ඔවුන්ගේ රං භාණ්ඩ ඇතුළු දේපල කොල්ලකයි. එවිට කුඩා දරුවන් ඇතුළු දෙමළ කාන්තාවන් විලාප තනමින් දිවි ගළවා ගැනුමට හතර අතේ දිවයයි. එසේ යන්නේ කඩවුලේ කඩවුලේ කියමිනි. එහි දෙමළ අරුත දෙයියනේ අනේ දෙවියනේ වැනි තේරුමකි.
භාෂාව අපට නුහුරු වන්නට හැකියි. මදකට කම් නැතැයි කියමු. බහුතරයක් 1983 දැන් අමතක කර ඇත. නැති නම් තමන්ගේ වයසටත් වඩා ඒ ම්ලේච්ඡ සිදුවීම වයස්ගත නිසාවෙන් එය නොදන්නවාද විය හැක. එයත් මදකට කම් නැතැයි කියමු. නමුත් චිත්‍රපටයකට හෝ එවැනි ම්ලේච්ඡ සිදුවිමක් ඉදිරිපත් වන විට කඩුවුලේ කියා කෑ ගසනා විට, පහර කා මැරී මැටෙන මිනිසුන් දකිනා විට සිනාසෙන ප්‍රෙක්ෂකාගාරයක්?
මෙවැනි හිරි හැර මැද ෆාදර් චිත්‍රපටය දෙවනි වරටත් නැරඹු මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ මා අසලම සිටි ඒ තරුණ ගැටව් තිදෙනා චිත්‍රපට ශාලාවේ හිදගෙන ඇතැම් දර්ශන ෆෝන් එකෙන් යලි වීඩියෝ කරමින් එතැන චිත්‍රපට අධ්‍යක්ෂකගේ භූමිකාව කරන්නට ගිය විටයි. අරම ගනිං බං මෙහෙම ගනිං බං කියමින් එතැන එකම කාල ගොට්ටියයි. කරන්නට දෙයක් නැත මට කලිං මා මිතුරා ප්‍රියනාත් ඉස්සර විය. ඉතාම හොදින් අනේ මල්ලියේ කට පියාගෙන ෆිල්ම් එක බලපං කියා පැවැසුවේය. අපේ වසනාවකට උං කියන දේ අහන හොද කොල්ලෝය නැතිනං අප තාමත් එතැන වලියේය.
ඇත්තෙන්ම මේ ගත වෙන්නේ මෙරට සිනමාවේ ස්වර්ණම යුගයයි. එයට ස්වර්ණ වන්නත් ලෝකඩ වන්නත් මග පාදන්නේ මෙරට ප්‍රෙක්ෂකාගාරයයි. ඉතිං චිත්‍රපට සහ අනෙකුත් නිර්මාණවලට ප්‍රේක්ෂකයෝ හෙවත් රසවතුන් අත්‍යාවශ්‍යයි. එහෙත් ප්‍රෙක්ෂකාගාරය පුළුල් වන තරමටම ඔවුන්ගේ රසවින්දනයේ සංයමයත් පුළුල් වන්නේ නම් කොයි තරම් අපුරුද? අවසාන වශයෙන් මට කීමට ඇත්තේද ෆාදර් චිත්‍රපටයේ ඒ ජනප්‍රිය වදනයි. කෙළියා නේද තරුණ කැළ ?
නිලංක ඇලෙක්සැන්ඩර්
2026 ජනවාරි 29






